
ජැක් චීනයේ ක්සිආන්හි ටෙරාකොටා රණශූරයන් සහිත කෞතුකාගාරයේ සේවය කරන පුරාවිද්‍යා මහාචාර්යවරයෙකි. තරුණ ඉන්දීය මහාචාර්යවරියක වූ අෂ්මිතා සේවය කරන්නේ රාජස්ථානයේ ජාතික කෞතුකාගාරයේය. ජැක් හා අෂ්මිතා එක්වන්නේ මෝගල් සමයේ ඉන්දියාවෙන් ටිබෙටයට පැහැරගෙන ගිය පුරාවස්තූන් සොයන්නටය. නවීන තාක්ෂණය යොදාගන්නා ජැක් හා අෂ්මිතා ඇතුළු කණ්ඩායම සොයා ගන්නේ ඒවා මිදුණු වැවක් පත්ලේ සඟවා ඇති බවයි.
ඒවා ගොඩ ගන්නට උත්සාහ දරන ඔවුනට බාධා එල්ල වන්නේ රැන්ඩෝල්ගෙනි. ඉපැරැණි වස්තුන් ඔවුන්ගෙන් පැහැර ගන්නා ඔහු ඔවුන් අයිස් මිදුණු ගුහාවක සිරකර පලා යයි. ජැක් ඇතුළු පිරිසට නියත වන්නේ මරණයයි. ජැක්ගේ කණ්ඩායමේ සිටින ජෝන්ස් පුරාවිද්‍යාඥයකුට වඩා ජාවාරම්කරුවෙකි. දියමන්ති එබ්බ වූ ඉපැරැණි කලා නිර්මාණයක් සොරාගෙන ඔහු ද පලා යයි. අයිස් ගුහාවෙන් පිටතට ඒමට ජැක් හා අෂ්මිතා ඇතුළු පිරිස සමත් වන්නේ රහස් දොරටුවක් හරහාය.
දෙසතියකට පසු දියමන්ති එබ්බ වූ ඉපැරැණි කලා නිර්මාණය ඩුබායිහි වෙන්දේසියකින් මතු වෙයි. ධනවත් මිතුරකු හා එහි යන ජැක් උත්සාහ දරන්නේ එය මිලට ගන්නටය. එහෙත් රැන්ඩෝල් සහ පිරිස එහි කඩා වැදී එය පැහැරගෙන පලා යයි. ජැක් හා අෂ්මිතා ඔවුන් ලුහු බැඳ යති. අතරමඟදී කලා කෘතිය රැන්ඩෝල් වෙතින් පැහැරගන්නා අෂ්මිතා අතුරුදන් වෙයි. ජැක් දැනගන්නේ අෂ්මිතා පුරාවිද්‍යා මහාචාර්යවරියක නොව මගධයේ රාජකීය පවුලක සාමාජිකාවක බවයි.
ජැක් ඇය සොයාගෙන ගිය විට ඇය පවසන්නේ ‘ශිවගේ ඇස’ යනුවෙන් හැඳින්වෙන එම කලා නිර්මාණය තම පවුලට අයත් ධන නිධානයක් රහසේ ගබඩා කර ඇති තැන විවෘත කරගන්නට තිබෙන යතුර බවය. වැරැදි පුද්ගලයන් අතට යා නොදී නිධානය පවුලේ භාරයට ගන්නට තමාට උපකාර කරන්නැයි අෂ්මිතා ජැක්ගෙන් ඉල්ලා සිටියි.
ඔවුහු පැරැණි කෝවිලක් වෙත ගමන් කරති. නැවතත් රැන්ඩෝල්ගේ ප්‍රහාර එල්ල වෙයි. ජැක් එහිදී සටන් වදින්නේ කුංෆු සටන් කලාව උපයෝගී කරගනිමිනි. එමෙන් ඔහු යෝග ව්‍යායාමයන්හි අංග ද සටනට උපයෝගී කරගනියි. මගධයේ රාජකීය පවුලේ සාමාජිකාව අෂ්මිතාට පාරම්පරික උරුමය රැකගන්නට ඉඩ ලැබේවි ද?
ස්ටැන්ලි ටොන්ග්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘කුංෆු යෝගා’ චීන - ඉන්දීය හවුල් නිෂ්පාදනයකි. පසුගිය ජනවාරි 28 දා චීනයේ තිරගත වූ මෙම චිත්‍රපටය පෙබරවාරි 3 දා සිට ඉන්දියාවේ හා ලොව අනෙක් රටවල තිරගත වෙයි.
ප්‍රකට නළු ජැකී චෑන් ජැක් ලෙස රඟන මෙහි අෂ්මිතාගේ චරිතයට පණ දෙන්නේ බොලිවුඩ් නිළි ඩිෂා පටානිය. අරීෆ් රහ්මන්, සැන්ග් යික්සින්ග්, ජෛන් කුමාර, වෙන් ජියැන්ග් ආදි චීන හා ඉන්දීය නළු නිළියෝ රැසක් මෙහි රඟති.
චීනයේ බෙයිජිං, ඉන්දියාවේ රාජස්ථාන් මෙන්ම ඩුබායිහි සහ අයිස්ලන්තයේ ද චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වී තිබේ. ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ආසියාකරයේ ඇත්තේ හොඳ ඉල්ලුමකි. එහෙයින්මදෝ ‘කුංෆු යෝගා’ සිංගප්පූරුවේදී තිරගත වූ පළමු දිනයේම උපයා ඇති ආදායම ඩොලර් ලක්ෂ 18.5 කි.