සිනා කතා | සිළුමිණ

සිනා කතා

දිව්‍ය පුත්‍රයෙක් ද?

“උඹ ඊයේ කිව්වා නේද උඹේ මිනිහට උඹ සලකන්නෙ හරියට දෙවි කෙනෙකුට වගෙයි කියල.” පාසල ඇරෙන්නට ආසන්න වෙද්දී පාසල් ගේට්ටුව වෙත පැමිණි චාන්දනී එහි රැඳී සිටි අනෝමා දෙස බලා ඇසුවේ සාවඥ ස්වරයකිනි.

“ඔව්... කිව්වා තමයි. ඉතින් ඇයි උඹ නිකන් පල් එකට වගෙ ඒක මගෙන් තකහනියක් මේ අද මතක් කරන්නෙ?” අනෝමා ඇසුවේ මැඬගත් කෝපයෙනි.

“නෑ, මං ඊයෙ හවස දැක්කා අර හන්දියේ බාර් එකේ ඉඳලා උඹේ දිව්‍ය පුත්‍රයා වැනි වැනී එළියට බැහැලා විසි වෙවී පාර දිගේ ගිහින් කාණුවක බුදියගෙන ඉන්නවා ඒකයි.” චාන්දනී පිළිතුරු දුන්නේ කට ඇද කරමිනි.

එයා තමයි ගෑනි!

“බලන්ඩකො කල්‍යාණි අර අම්මණ්ඩිගෙ හැටි! හරියට පිටි මුට්ටයක් වගෙ. උරහිස් දෙකේ ඉඳලා දණහිස් කිට්ටුවට යනකං ඇඟපත වංගෙඩියක් වගෙ... ඒ වංගෙඩිය වටේ අර සාරිය ඔතාගෙන තියෙන තැන බලන්ඩකො. ඒ මදිවට සාරිය හොඳටෝම කොටයි. හරියට සිදාදිය නුහුරු තුත්තුකුඩියේ අම්මණ්ඩි කෙනෙක් වගෙ ඇයි වදේ දැන් මේ පළාත්වල හැම පඳුරක් ගානෙම බියුටි සැලුන් තියෙද්දි එයයිට බැරිවුණාද ඒ වගෙ තැනකට ගිහින් ඇඳගෙන එන්ඩ.” විවාහ මංගල්‍යය පැවැත්වෙමින් තිබූ ශාලාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවී සිය සැමියා සමඟ ශාලාව තුළට ගමන් කරමින් සිටි ස්ත්‍රිය දෙස බලා අනෝමා තමා ළඟ සිටි තම හිතවතියක සමඟ කියවන්නට ගත්තේ පරළ වූවාක් මෙනි. අනෝමා ඉඟි කළ දෙස බැලු කල්‍යාණි, තම මිතුරිය දෙස බලා මෙසේ කීවේ සමච්චල් සිනාවක් පාමිනි.

“ඇයි අනේ, අහවල් දේකට ද එයා අමුතුවෙන් ඔය බියුටි සැලුන් හොයාගෙන යන්නේ. ලෙවල් කීපයකම උපාධි තියෙනවයි කියල බෝඩ් ගහගෙන ඔය හන්දිය කිට්ටුව සැලුන් එකක් දාගෙන ඉන්නෙ ඔය අම්මණ්ඩිනෙ.”

කීයක් කියල කිව්වොත් සතුටු ද?

අලුතින් ඇරැඹුණු මූල්‍ය ආයතනයක් සඳහා මූල්‍ය කළමනාකරුවකු බඳවා ගැනීම පිණිස පැවැති සම්මුඛ පරීක්ෂණයකට සිරිල්. නලින් සහ මනෝ පෙනී සිටියහ. සම්මුඛ පරීක්ෂණය සඳහා තිදෙනාම එකට කැඳවූ එහි සභාපතිවරයා එහි වූ බෝඩ් ලෑල්ලක 2 + 2 යනුවෙන් ලිවීය.

“ 2 + 2 ඔබට පුළුවන් ද මේකෙ අගය කීයද කියල හරියටම කියන්න.” සිරිල් දෙසට ඇඟිල්ලක් දිගු කරමින් සභාපතිවරයා ඇසීය. “4 යි.” සිරිල් වහා පිළිතුරු දුන්නේ ය.

“හොඳයි, ඔයා කියන්න බලන්න.” සභාපතිවරයා එවර ඇඟිල්ල දිගු කළේ නලින් වෙත ය. “4 යි සර්.” නලින් වහා නැගිට ආචාරශීලීව කීවේ ය.

“එහෙනං ඔබත් කියන්න බලන්න.” අවසානයේ සභාපතිවරයා මනෝ දෙසට ඇඟිල්ල දිගු කර කීවේ ය.

“2 යි, 2 යි එකතු කළාම කීයක් කියල කිව්වොත් ද සර් සතුටු වෙන්නෙ?” මනෝ පෙරළා විමසීය.

“හොඳයි දැන් ඔය දෙන්නට යන්න පුළුවන්. අපි මිස්ටර් මනෝව අපේ මූල්‍ය කළමනාකාර තනතුරට තෝරා ගත්තා.” සභාපතිවරයා සිරිල් සහ නලින් දෙස බලා කීවේය.

බලු මණ්ඩලය

“දැන් ඔය සත්ත්ව අවිහිංසා සංගම් පිහිටුවාගෙන, එක එක විකාර කරන එක විලාසිතාවක් වෙලානෙ. මම දැක්කා අපෙ ගුණපාලත් ඒ වගෙ බලු මණ්ඩලයක් පිහිටුවා ගත්තයි කියල පත්තරේ දැන්වීමක් හිටන් දාලා තියෙනවා.” නාඔටුන්න කීවේ අවන්හලේ කොනක වාඩිවී අඩියක් ගසමින් සිටියදීය.

“යකෝ උඹ වල්ගෙ පාගාගෙන. ඒක බලු මණ්ඩලයක් නෙමෙයි. කලාව වෙනුවෙන් පිහිටුවා ගත්ත බල මණ්ඩලයක්.” සෙනෙවිරත්න වහා කීවේ ය.

එහෙමනං කමක් නැහැ

“යකෝ! මෙතන දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කියල තොපි දන්නවා නේද? ගින්නක් ඇතිවුණොත් එහෙම ස්ටෝරුවේ වැඩ කරන මිනිස්සු ඔක්කොමත් මැරිලා, පැක්ටරියත් අළු වෙලා යයි. මම අද තොපි දෙන්නවම රස්සාවෙන් දොට්ට දානවා.” රතිඤ්ඤා කම්හල අයිති ජෙරමියස් මුදලාලි හදිසියේම කම්හල් ගේට්ටුවෙන් ඇතුළු වෙද්දී මුර කුටියේ සිටි ප්‍රේමදාස සහ සිරිපාල සිගරට් උරමින් සිටිනවා දැක ගිගිරුවේය.

“නෑ මුදලාලි, ස්ටොරුවේ ඔක්කොම කට්ටිය වැඩ ඉවර කරලා ගෙදර ගියා. දැන් ඇතුළේ ඉන්නෙ මුදලාලිගෙ නෝනා මහත්තයා විතරයි.” සිගරට් කොටය වහා ඉවත දැමු ප්‍රේමදාස බයාදු ලෙස කීවේය.

“එහෙම ද? එහෙමනං ඉතින් ඔය සිගරට් එකක් බිව්වට අහවල් දෙයක් වෙනවයැ.” යනුවෙන් ඔහු කීවේ ආපසු ගේට්ටුවෙන් පිටවෙමිනි. 

Comments