දිය පොදක් ඉල්ලා අහසට වැඳ වැටෙන ගල්ගමුව වැසියෝ | Page 2 | සිළුමිණ

දිය පොදක් ඉල්ලා අහසට වැඳ වැටෙන ගල්ගමුව වැසියෝ

* වතුර ගෙන ඒමට කිලෝමීටර් ගානක් පයින්
* වන සතුන් වතුර සොයා නිවෙස්වලට
* ගල්ගමුව ආපදා කළමනාකරණ කාර්යාලයෙන් ජනතාවට උපකාර
* කුරුණෑගල දිස්ත්‍රික්කයේත් පවුල් 33032 ක් ජලය නැතිව අවතැන් 
* ගල්ගමුව ගොවිජන සේවා බල ප්‍රදේශයේ වැව් 180න් 160ක් ම හිඳිලා
* ජලය සොයා සර්පයන් නිවෙස් වදින්න පටන් අරන්

අන් කවරදාකවත් නොවූ ලෙස නියඟය එන්න එන්නම දරුණුවන සෙයකි. ඊයේ පෙරේදා සිට ඉඳහිට වැස්සක් දෙකක් ඇද හැළුණත් නියම වැස්සක ලකුණු පේනතෙක් මානයකවත් නැත. බැලූ බැලූ අත දිස්වන්නේ සුදු වලාවනුත් වේගයෙන් හමා යන සුළඟත් ප්‍රචණ්ඩවී පොළෝ තලය ගිනියම් කරනා හිරුත් පමණි. වැව් සිඳී වැව් පතුල් ඉරි තළා යෑමට පටන් ගෙනය. මෙතෙක් ගිනියම්ව තිබූ ඇතැම් ප්‍රදේශවල පොළොව තෙමා ගෙන වැහි පොදක් වැටුණද බොහොමයක් ප්‍රදේශවලට තවමත් හරිහමන් වැස්සක් වැටී නැත්තේය. වයඹ පළාතේ බොහෝ ගම්මාන නියං රකුසා නිසා දුකට පත් වෙද්දී ගල්ගමුවේ ජනතාවද ඒ අඩහැරයට එක්ව සිටිති. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 62 පුරාම ගම්මු නියඟය නිසා දුකට පත්ව සිටිති.

නියඟයෙන් පීඩා විඳින මේ ගම්මුන්ගේ දේව කන්නලව් අසා වැසි දෙවියන් කරබාගෙන සිටිනවා පමණකි. බීමට ජලය නොමැතිව සැතපුම් ගණන් දුර ගෙවා යන මේ ජනතාවගේ යටි පතුල් පවා බොරලු පොළොවට රත් වී ගෙවී යමින් ඇති සැටියකි. ඔවුන්ට සිදුව ඇත්තේ තද අව් රශ්මිය නොබලාම දිය පොදක් සොයා පා පැදි, යතුරු පැදි, අත්ට්‍රැක්ටර් හා ලොරි රථවලින් පවා කිලෝමීටර් ගණන් දුර යෑමටය. මෙවර ගල්ගමුවේ ගොවීන්ගේ යල් කන්නය පවා හිත් පිත් නැති නියං රකුසාට බිලිවී හමාරය. ගල්ගමුවේ කුඩා හා මහ වැව් 180 කි. ඉන් මේ වන විටත් 160 ක්ම සිඳී අවසානය. අනෙක් වැව් විස්සෙහිද ජලය ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රමාණයකි. ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉකුත් කන්නවල කළ වගා වැඩි ප්‍රමාණයක් විනාශ වී ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ගම්වල ළිං අමුණු ඇළ දොළ සියල්ල සිඳී යෑම නිසා ජලය නොමැතිව සතුන් නිවෙස් කරා ඇදීම හමුවේ ගල්ගමුවේ ඇතැම් ප්‍රදේශවලට වන සත්ත්ව බියක් ද මතුව ඇත්තේය. ගම්වල ඇති දැඩි කරන ගවයන් හා සුනඛයන් ඉතිරිව ඇති පුංචි දිය කඩිති සොයා ගොස් ඒවායේ ගිලී සිටින්නේ අව් රශ්මිය දරා ගත නොහැකිවය.

ගල්ගමුවේ තත්ත්වය මෙසේ වෙද්දී බොහෝ දෙනා අප සමඟ අදහස් දැක්වූයේ ජල හිඟකම නිසා ඔවුන් පත්ව ඇති අසරණ තත්ත්වය කියා පාන්නටය.

මී ඔය ව්‍යාපාරයට අයත් පාළුකඩවල වැව ගල්ගමුව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාශයට අයත්ය. වෙනදා මේ වැව යටතේ අක්කර දහස් ගණනක් වගා කැරිණි. නමුත් අද වන විට වැවෙහි ජලය ක්‍රමයෙන් අඩු‍ වෙමින් යද්දී එම වැවෙන් සිය ජල අවශ්‍යතා ඉටු කර ගත් බොහෝ දෙනෙක් යන එන මං නොමැති තත්ත්වයට පත්ව සිටිති.

‘‘අපේ ගමේ ඔක්කොම පවුල් 270ක් විතර ඉන්නවා. ඒ සියලුම දෙනා මේ වැව තමා පාවිච්චි කරන්නේ. පානීය ජලය හැරුණාම අනික් හැම දේටම අපි වතුර ගන්නෙ මේ වැවෙන්. බොන්න වතුර ගේන්නෙ ගමේ පන්සල ළඟ ළිඳෙන්. ඒත් දැන් ඒ ළිඳෙත් වතුර එන්න එන්නම අඩු වෙලා. පාන්දර 3 ට 4 ට විතර ගියොත් අමාරුවෙන් වතුර කළගෙඩියක් වගේ පුරවා ගන්න පුළුවන්. ඒ තරමටම දැන් වතුර හිඟ වෙලා තියෙන්නෙ.” තමන් මුහුණ පා ඇති මෙම දුෂ්කරතා ගැන පාළුකඩවල, ජාගම ප්‍රදේශයේ පදිංචි එම්. එස්. මොහිදින් මහතා පැවසීය.

එම ගමේම පදිංචි ඒ. බී. මංචනායක මහතා ද අප හා අදහස් දැක්වීය.

‘‘වැවේ තයෙන වතුර ටික වුණත් වගා කටයුතුවලට ලබා දෙන්නෙ නැතුව වැවේ ඉතිරි කරමු කියලා අපි තීරණය කළේ මිනිස්සු තවත් අසරණ වෙන නිසා. ධීවර කටයුතු කරන අයටත් දැන් අපහසුතාවකට මුහුණ දෙන්න වෙලා තියනවා. මේ පැත්තෙ තියෙන පානීය ජලයත් කිවුල් ගතියෙන් යුක්ත නිසා මිනිස්සුන්ට වතුර ගන්න තැනකුත් නෑ. තව ටික දවසක් යද්දි මේ වැවේ වතුර නාන්න තියා වෙන කාර්යයක් සඳහාවත් යොදා ගන්න බැරි තරමට අපිරිසුදු වෙනවා. ඒ වගේම තමා අපට දැන් කන්න දෙකක් වගා කරන්න ලැබුණෙ නෑ. ඒ නිසා ඉදිරියේදී අපිට විශාල ගැටලුවකට මුහුණ දෙන්නත් සිදු වේවි.”

අද වන විට මේ ගම්වල මිනිස්සු ගමේ ඉතිරිව ඇති දිය බිඳ ප්‍රවේශම් කරන්නේ රත්තරං මෙනි. ඇතැමුනට දැන් මේ ජල ප්‍රශ්නයෙන් විඳින පීඩාව දරා ගත නොහැකි තරම්ය. පවතින දැඩි නියං තත්ත්වය නිසා ප්‍රදේශය පුරාම ඇත්තේ වියළි බවකි. ආසාවකට උදලු තලයක් ගසන්නට බැරි තරමට පොළොව වියළීම නිසා ගොඩ වගා කටයුතු ද මෙවර ගල්ගමුව වැසියන්ට අහිමිව ගොස් තිබේ. වැසි බලාපොරොත්තුවෙන් හේන් කොටා පුලුස්සා නිමකොට ඔවුහූ බලා සිටිති. එපමණක් නොව හැකි පමණින් හෝ වී ඇටයක් ගන්නට සිතා වගා කළ කුඹුරුද කේඩෑවී සම්පූර්ණයෙන්ම මැරී ගොසිනි.

ඩී. එම්. තිලකරත්න මහතා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 48 නොච්චිය ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවෙකි.

‘‘අද වෙද්දී අපේ කුඹුරු ටික මැරිලා ගිහිල්ලා. හේන් වගා කළා. ඒත් වැඩක් වුණේ නෑ. පායන පෑවිල්ලට වැව්වල තියෙන වතුර ටිකත් හිඳිලා යද්දී අපේ වගාවන්ට වතුර නෑ. මේ ගමේ පවුල් 320 ක් විතර ඉන්නවා. ඒ හැමෝම වතුර ප්‍රශ්නයෙන් ගොඩක් පීඩා විඳිනවා. අද වෙද්දී මේ පළාතේ තියන මහවැව, අඹගහගම වැව, ගල්කන්ද වැව, දික්වැව, දෙඹටගහ වැව කියන වැව් 05ක්ම හිඳිලා. මිනිස්සුන්ට නාන්න වෙලා තියෙන්නෙ මඩ වතුර. හරක් එළුවො ජලය බොන්න වැවට බහිනවා. වෙනදා වැව් ඉවුරෙ ඉඳලා වතුර බීලා ගිය ඒ සත්තු වෙලාවකට වැවට බැහැලම ඉන්නවා. එතකොට වැව හොඳටම මඩ වෙනවා. ඒ වතුර තමා මිනිස්සු නාන්නෙ. වැව්වල වතුර ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. විශාල වැව් සම්පූර්ණයෙන්ම හිඳිලා. පොඩි ඉඩ ප්‍රමාණයක විතරයි වතුර ටිකක් තියෙන්නෙ. මේ විදිහට තව මාසයක් ගියොත් අපිට වතුර නැතුව මැරෙන්න තමා සිද්ද වෙන්නෙ”

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ගල්ගමුවේ පමණක් නොව වයඹ පළාතේ බොහෝ ප්‍රදේශවල ගොවිතැන් කටයුතු අඩාළ වී තිබේ.

මේ වාතාවරණය පිළිබඳ ගල්ගමුව ගොවිජන සේවා කාර්යාලයේ විධායක නිලධාරී ඒ. ඒ. ඩී. ඩබ්. එස්. ප්‍රදීප් මහතා ද අප හා අදහස් දැක්වීය. ‘‘මේ කන්නයේදීත් ගිය වසරේදි වගේම විශාල ජල ගැටලුවකට ගොවියාට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මහවැලි කලාපය හැරුණාම ඉතිරි කිසිදු කලාපයක වගාවක් සිදු වන්නේ නෑ. කුඩා වැව් විශාල ප්‍රමාණයක් සිඳීමේ අවදානමට ලක් වෙලා ති‍ෙයනවා. ජලය තියෙන්නෙ වැව් 20කට වගේ ආසන්න ප්‍රමාණයක විතරයි. 2017 වසරේ යල් කන්නයේ නිසි ලෙස වී වගාවක් සිදු වෙලා නෑ. කොහොම වුණත් මේ කන්නයේදී වැසි නොලැබුණොත් ආයේ ගොවීන්ට වී ටිකක් ගෙට ගන්න වෙන්නෙ 2018 අවුරුද්දෙ. ඒ වෙනකල් වී නෑ කියන්නේ මිනිස්සු ආර්ථික වශයෙන් තවත් අපහසුතාවට පත්වෙනවා. නමුත් ජල ගැටලුවත් එක්ක අපිට හැකි අයුරින් ගොවියාට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ගල්ගමුව ගොවිජන සේවා බල ප්‍රදේශයට ග්‍රාම නිලධාරී වසම් 49ක් අයත් වන අතර ඒවායින් ගොවිතැන් කටයුතු සුළු වශයෙන් හෝ සිදුවෙමින් පවතින්නේ ග්‍රාම නිලධාරී වසම් 04 ක පමණකි. කුලී වැඩක් කරගනිමින් හෝ ජීවිකාව ගෙවා ගන්නට මහ පොළොව සමඟ පොර බැදූ ඇතැම් මිනිසුන්ට අද අත්ව ඇත්තේ අත් දෙක බැඳගෙන නිවෙසට වී බලා හිඳින්නටය. නියං රකුසා එරෙහි වූයේ මෙවන් දුක්බරව දුක්විඳින මිනිසුන්ගේ ජීවිතවලටය.

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හපුකුඹුර ගම්මානය හුදෙක්ම පාරම්පරික වළං කර්මාන්තයේ නියැළෙන පිරිසකගෙන් සමන්විත වූවකි. වළං නිපදවීමෙන් සිය එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගන්නා මොවුන් මේ වනවිට මුහුණ පා ඇත්තේ විශාල ජල ගැටලුවකට. මොවුන් මේ වෙද්දී පසුවන්නේ ජලය නොමැතිකමින් අඩපණ වූ සිය වළං කර්මාන්තය විනාශ වීමේ දුක දරාගත නොහැකිවය.

ජලය නැතිකම නිසා සිය කර්මාන්තයට කණ කොකා හඩා ඇති අයුරු ඔවුන් අප සමඟ කියා සිටියේ ඉතාම දුක්බරවය.

ජේ. ඒ. ආනන්ද ජයකොඩි මහතා වසර තිහක පමණ කාලයක සිට වළං කර්මාන්තයේ නියැළී සිටින්නෙකි.

‘‘මේවා අපි ඉස්සර ඉඳන් කරගෙන එන කර්මාන්ත. ගමේ කෙළවරේ තියෙන වැවෙන් අවසර අරන් පස් කපලා ට්‍රැක්ටර් ලෝඩ් එකක් රුපියල් 1500කට විතර ගෙනාවාම එක ලෝඩ් එකක් මාසෙකට විතර ඇති. ඒත් දැන් වතුර නැති නිසා හදන වළං ප්‍රමාණය අඩු වෙලා. ඇත්තටම කීවොත් මැටි ටික අනාගෙන වළං දෙකක් හදද්දි අනපු මැටි ටික වේළෙනවා. ඒ තරමට අවුවත් සැරයි. ඒ නිසා අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ එසේ මෙසේ ප්‍රශ්නයකට නෙමේ.”

එසේම එම ගම්මානයේ ජීවත්වන ජේ. ඒ. රමණි මහත්මිය පැවසූයේ මෙවැන්නකි.

‘‘මේ ගමේ පවුල් 83 ක් විතර ඉන්නවා. අපේ ප්‍රධාන ආදයම් මාර්ගය තමා මැටි වළං කර්මාන්තය. දැනට ටික දවසකට කලින් නල මාර්ගවලින් අපි ජලය ලබා ගත්තා. ඒත් දැන් එහෙම ලබා ගන්නත් ජලය නෑ. වැවේ වතුර ටිකක් තියනවා. මේ ගමේ හැම කෙනාම වගේ වතුර ටික සපයා ගන්නෙ ඒ වැවෙන්. නාන්නෙත් වැවෙන්. මෙහෙම යද්දි අපිට වතුර නැතිවෙන දවස වැඩි ඈතක නෙමේ. එදාට අපි මොනවද කරන්නෙ කියලා අපිට හිතාගන්න බෑ.”

මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1038ක් මේ වන විට දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ගල්ගමුව ආපදා කළමනාකරණ ඒකකය අප හාපැවසීය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාම පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින පුද්ගල සංඛ්‍යාව 3650ක් බවට එම ඒකකය ගණන් බලා තිබේ.

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 14 කම පානීය ජල ගැටලුව අධිකව පවතින අතර මේ වන විට එම වසම්වල ජනතාව සඳහා බවුසර් දෙකක් යොදා ගනිමින් පානීය ජලය සැපයීමට ගල්ගමුව ආපදා කළමණාකරන කාර්යාලයේ නිලධාරීහූ දැඩි ප්‍රයත්නයක් දරති. ඒ අනුව මහ ගල්ගමුව, දිවුල්ලෑව, මැදවච්චිය, බුදුරුවකන්ද, ඉහළ පලුකන්දෑව, කලුවරගස්වැව, කුරුන්දන්කුලම, කල්ලංචිය, මොන්නන්කුලම, ඉහලගම, ගනේදිවුල්වැව, කුරුන්දෑව, කොහොමන්කුලම, හා පාලුකඩවල වසම්වල පදිංචි පවුල් සඳහා ජල පහසුකම් ලබා දීමට මේවන විට කටයුතු කරමින් සිටින බව ආපදා කළමණාකාරණ ඒකකයේ නිලධාරී ජේ. එම්. උපාලි ජයසිංහ මහතා පැවසීය. එසේම මුළු කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම නියඟයෙන් පීඩා විදින පවුල් සංඛ්‍යාව 33032 ක් බව අප කළ සොයා බැලීමකදී හෙළි විය.

මෙවන් තත්ත්වයකදී මිනිසුන් පමණක් නොව සතා සර්පයා පවා බීමට ජල පොදක් නොමැතිව පිපාසයෙන් පීඩිතව සිටිති. ඒ නිසාම ගල්ගමුවේ බොහෝ ප්‍රදේශවල නිවෙස්වලට රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේත් සතා සිවුපාවෝ ඇදෙති. මේ නිසා ගල්ගමුවේ ඇතැම් ප්‍රදේශ සර්ප බියෙන්ද පීඩාවට පත්ව තිබේ.

ගල්ගමුව රෝහලද ජල ගැටලුව නිසා තරමක් ගිලන් වූ ස්වභාවයක් දක්නට ලැබේ. කාලයක් තිස්සේ විවෘත නොකර කල් මරමින් තිබූ ගල්ගමුව මූලික රෝහල ඉකුත් 20 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් විවෘත වූවද එහි ජල ගැටලුවට නම් නිශ්චිත විසඳුමක් තවමත් ලැබි නැතැයි වාර්තා වේ. මේ නිසා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජල අවශ්‍යතා පවා ඉටු කිරීමට නොහැකිව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ නිසාම ගල්ගමුව මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණෙන රෝගීන් බොහෝ දෙනා පිටස්තර රෝහල්වලට මාරු කර යැවීමට පවා රෝහල් කාර්ය මණ්ඩලයට සිදුව තිබේ.

අදවන විට මුළු ගල්ගමුවම නියං රකුසාගේ ග්‍රහණයට හසුව ඇති අතර සිඳී ගිය වැව් දෙගොඩතලා යමින් පිරී ඉතිරී යන්නට වැසි වසිනාතුරු ගල්ගමුවේ ජනතාව අහස් කුස දෙන බලාගෙන හූල්ලති.



ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන් 

 

Comments