
සිරිමෙවන් ලේකම්වරයා, මන්ත්‍රිවරයා දෙස බලා සිටියේ ඉවසීම පුරුදු කරගන්නට මෙනි. මන්ත්‍රිවරයා නිහඬව ලිපි ගොනු පෙරළමිනි. එහි අවසානයක් නැතුවා වැනිය. කුමන හේතුවක් නිසාදැයි තවමත් නිවැරැදිව වටහා ගැනීමට නොහැකි වුවද මන්ත්‍රිවරයා අතීතය සමඟ විසඳාගත නොහැකි දීර්ඝ පටලැවිල්ලකය. ඒ පටලැවිල්ල වර්තමානය වෙත කඩා පනින්නට සූදානම්ව ඇතැයි හැඟිමෙන් මිදෙන්නට ලේකම්වරයා ද අසමත්ය.
විසි අවුරුද්දකට ළං වූ ලේකම් රැකියාවෙන් සමුගෙන විවේක සුවයෙන් පසු වන්නැයි දරුවන් දෙදෙනා වරින් වර තමාගෙන් ඉල්ලා සිටීම ද මේ දිනවල ඔහුට තරමක කරදරයක්ව ඇත.
“තමුන්නාන්සෙ කොහොමද මාව දාලා යන්නෙ? මැරෙන්නෙත් මං ළඟ තමා.”
දරුවන්ගේ ඉල්ලීම මන්ත්‍රිවරයාට කී විට මන්ත්‍රිවරයා තමාගේ විශ්වාසවන්ත භාවය එසේ අගය කිරීම ලේකම්වරයා සතුටට පත් කරවන්නක් විය. එවන් විශ්වාසයක් බිඳලීම පහසු නැත.
මේ මොහොතේ මන්ත්‍රිවරයා කුමන සිතුවිල්ලක හෝ හුදකලා වී නිතැතින් සිදු වන්නක් සේ ලිපිගොනු අතගෑම ගැන ප්‍රශ්න කිරීමේ හැකියාවක් ලේකම්වරයාට නැත.
සෙසු නිලධාරීන් මෙන් ම තමා ද ඔහු ගේ තීරණය අවසාන තීරණය සේ පිළිගැනීමට බැඳී සිටී. ඉඳහිට දිනක මන්ත්‍රිවරයා අතීත සංචාරයක් සඳහා තමා ද සහභාගී කරවා ගන්නේ සිත් කලබලයක් තුනී කර ගැනීමට මෙනි. එවිට ලේකම්වරයා හිතවත් සමීප මිතුරෙකුගේ භූමිකාවට අවතීර්ණ වෙයි.
ලේකම්වරයාගේ කල්පනාකාරී දයාර්ද්‍ර බැල්ම තමා වෙත යොමුව තිබෙනු නරේන්ද්‍ර දුටුවේ නැත.
“සිරිමෙවන් මහත්තයා.”
බොහෝ වේලාවකට පසු නරේන්ද්‍ර සිතුවිලි සිහිනයෙන් අවදි විය. ලේකම්වරයා තමා වෙත යොමු වූ දෙනෙතින් දැහැනකට සමවැදී සිටිනු ඔහු දෙනෙත ගැටිනි.
“මොනවද කල්පනා කළේ?”
“සර් වැඩක් නිසා කතා කරනකන් හිටියා.”
“ම්හ්.. ඔයාට මතකද ඔයාගෙ යාළුවා?”
“මගෙ යාළුවා? කවුද?”
“අර ගෑනු මනුස්සයා. මතකද එයා?”
“සර් කවුරු ගැනද ඔය කියන්නෙ?”
“මොකක්ද සිරිමෙවන්? මං කියන්නෙ ප්‍රියදෝණි ගැන.”
නරේන්ද්‍ර කීවේ කරදරකාරී හඬකිනි.
“ආ. හරි. හරි. මගෙ යාළුවා නේන්නම්.”
සිරිමෙවන් කීවේ හාස්‍යයෙනි. ඔහුගේ කල්පනා රැහැනේ පැටලී සිටින්නට ඇත්තේ ප්‍රියදෝණි මහමායා විය හැක.
“මතකද එයා ඒ කාලෙ නිතර ම කියනවා ජාතිවාදී ප්‍රශ්නවලට හොඳම උත්තරේ මිනිස් ජනපද කියලා. බහු වාර්ගික විවාහවලින් බැඳිලා මිනිස් ජනපදවල පදිංචි වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් අනුබල දෙන්න ඕන කියන අදහසනෙ එයාට තිබුණේ.”
“ඔව් සර් මතකයි. සර් එයාට විහිළු කළා විවාහය පෞද්ගලිකයි. ආණ්ඩුක්‍රම නීතියකින් විවාහය රාමු ගත කරන්නවත් පාලනය කරන්නවත් බැහැ කියලා.”
“ඔව් මං ඒ අදහස හෑල්ලු කළා. නමුත් අද රුක්නාද් මන්ත්‍රිවරයා ඇවිත් ඉන්නෙ ඒ වගේ යෝජනාවක් අරන්. සාකච්ඡාවකට මං කැමති වුණා. මට පුළුවන් මේ අදහස පක්ෂ භේදයක් නැතිව ඉහළ දේශපාලනඥයන්ටත් ඉදිරිපත් කරන්න. හැබැයි එයා ප්‍රියදෝණි තරම් ඉස්සරහට ගිහින් නැහැ. දේශපාලනඥයෙක් නිසා පෞද්ගලිකව එයාට යන්න පුළුවන් උපරිම සීමාවට ගිහින්. එයා අපෙන් උදව් ඉල්ලන්නෙ ඒ සීමා මායිම් වුණත් යහපත් විදිහට කඩා දාලා මිනිස්සු විදිහට තව ඉස්සරහට යන්න.”
“රුක්නාද් මන්ත්‍රිතුමා මොනවද කියන්නෙ? සර්?”
රුක්නාද් අරුණාචලම් මන්ත්‍රිවරයාට අවශ්‍ය වාර්ගික ගැටුම්වල දේශපාලන ස්වරූපය මෙන් ම ජනතා ස්වරූපයත් යම් මනුස්සකමක් සහ ශිෂ්ටභාවයක් තුළ රැඳවීමටය.
එය උතුරෙන් පටන් ගැනීමේ යෝජනාව නේෂන් වෛද්‍යවරයාගේය.
දකුණ බොහෝ කාලයක සිට උතුරට මිත්‍රත්වයේ සහෝදරත්වයේ දෝත දිගුකරමින් සිටී. උතුරේ සමහර දේශපාලනඥයින් මේ මිතුරුකමට සහෝදරකමට එරෙහිව වැට කඩුලු බඳින්නේ ඔවුන්ගේ බලය තහවුරු කර ගෙන එම බලය තම පරම්පරාවන්ගේ උරුමයක් ලෙස රඳවා ගැනීමට නොවේ යැයි හෘදසාක්ෂියට එකඟව ඔවුන්ට කිව හැකිද?
“සිරිමෙවන් මේ රටේ සිද්ධවෙන දේවල් දිහා අපිට වැඩිය හොඳට රුක්නාද්ලා බලාගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නෙ. නේෂන් දොස්තර කියනවා රුක්නාද් මන්ත්‍රි කිව්වලු දකුණේ පෙර පාසල්වලත් දැන් සිංහල දෙමළ සමගිය ගැන වැඩසටහන් ක්‍රියාත්මකයි කියලා. තනිකරම සිංහල ළමයි ඉන්න පෙර පාසල්වල ඒ පුංචි සිංහල කෙල්ලන්ව කොල්ලන්ව දෙමළ විදිහට අන්දවලා වේදිකාවට ගේන්නෙ උතුරට හොඳ පණිවිඩයක් දෙන්න හිතාගෙනම වෙන්නත් පුළුවන්. ඒත් නිරායාසයෙන් ම හොඳ පණිවිඩයක් මතු වෙනවා. අපි උතුරට කැමතියි. යාළුවෙන්න කැමතියි. උතුරේ ඇඳුමට පැලැඳුමට කෑමට බීමට අපි කැමතියි. එන්න අපි ඔබේ යාළුවො කියන්න වගේ ගැඹුරු කතාවක් පෙර පාසල්වලින් මතු වෙනවා.
සිරිමෙවන් ලේකම්වරයා කල්පනා කරන්නට විය. ඔහුගේ දියණියගේ බාල පුත්‍රයා පෙරපාසල් දරුවෙකි. වර්ෂාවසාන විවිධ ප්‍රසංගයේදී ඔහු වේදිකාවට ගොඩ වුණේ දකුණේ සුප්‍රසිද්ධ කාන්තා චරිතයන්ව සිටිනා තේ දලු කඩනා ලෙච්චමීගේ කරදරකාර යහළුවාගේ වෙස්ගෙනය.
මුනුපුරාගේ රඟපෑම බොහෝ සාර්ථක විය. පැමිණ සිටි විශේෂ ආරාධිතයෙක් ලෙච්චමීටත් ඔහුටත් රුපියල් දාහක විශේෂ ත්‍යාගයක් ද තිළිණ කළේ යළිත් වරක් රංගනය ඉදිරිපත් කරන්නැයි ඉල්ලමිනි. මුනුපුරා ආරාධිතයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ තවත් නැටුම් ඇතැයි පවසමිනි. ලෙච්චමී ද ඔහුට එකඟ වූවාය.
“ඇයි පුතා අර මාමාට ලෙච්චමීගේ නැටුම පෙන්නුවෙ නැත්තෙ?”
පසුව ඔහු මුනුපුරාගෙන් ඇසුවේය.
“ටීචර් අපිට කියලා තියෙන්නෙ කොයි දේ වුණත් එක සැරේම හොඳට කරන්න ඕන කියලා. හැමෝම මහ හයියෙන් අත්පුඩි ගැහුවෙ නංගියි මායි හොඳට නැටුව හින්දනෙ. ඒ ඇති.”
සිරිමෙවන් මුනුපුරා හා තර්කයට ගියේ නැත. ළදරු අධ්‍යාපනය තුළින් රටක අනාගතය සකස් කළ හැකි බව අධ්‍යාපන විශේෂඥයින් පවසන්නේ ආවාට ගියාට නොවේ. දරුවෝ වැටහෙන නුවණැත්තෝ වෙති.
රුක්නාද් ජාතියට නොව රටටත් පොදු ජනතාවටත් ආදරය කිරීමෙහිලා ජනතාව අවදි කිරීමට ගන්නා උත්සාහය මල්ඵල දරන්නේ තවත් දසක ගණනාවක් ගත වූ තැන විය හැක. එහෙත් ඔහුගේ උත්සාහය පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවල සටහන්ව පවතිනු ඇත. අනාගත දේශපාලනඥයින් ඒ දෙසට තම අවධානය යොමු කරන වාතාවරණයක් අනිවාර්යයෙන් ම ඇතිවීමට පුළුවන.
“මට සමාවෙන්න සර් අපි හීන ලෝකවල.”
සිරිමෙවන් ලේකම්වරයා කීවේ කල්පනාවෙනි.
“රුක්නාද් මන්ත්‍රිතුමාගෙ බෙල්ල ගහලා යන වැඩක් සර් මේ...”
“බෙල්ල ගහලා ගියා නොගියා දකුණෙන් නෙමේ සැබෑ සංහිඳියාවේ හඬ මතුවෙන්න ඕන උතුරෙන්. සිංහල මිනිස්සු සාමයට කැමතියි. ඒක තමා ඇත්ත කතාව. හැබැයි අපේ ම අය අපිව ම නින්දාවට නිග්‍රහයට ම්ලේච්ඡත්වයට ඇදලා දානවා. කොහොම වුණත් සිරිමෙවන් මහත්තයා හීනෙන් හරි සාමයෙන් සමාදානයෙන් ආදරයෙන් මොහොතක්වත් ඉන්න ලැබෙනවට මං කැමතියි. සාමකාමී සිහින ලෝකෙ මේ කටුක දුෂ්ට සමාජයට වැඩිය හොඳයි කියලයි මට හිතෙන්නෙ.”
“යුද්ධ නම් හැමදාමත් තිබුණා. දැනුත් තියෙනවා. හෙටත් තියෙයි.”
“සිහිනවල තත්වයත් ඒක තමා. නමුත් මිනිහා මිනිහෙක් විදිහට හරියට ම අවදි වෙන දවසක් ඒවි.”
ලේකම්වරයාගේ ජංගම දුරකථනය ඇමතුම් සංඥ නාද පතුරුවන්නට විය.
‘හරි හරි අපි මේ එනවා... මන්ත්‍රිතුමා.”
ඇමතුම රුක්නාද්ගෙන්ය.
“සර් රුක්නාද් මන්ත්‍රිතුමා.”
“යමු. යමු.”
රළු නොවූ උදෑසන හිරු කිරණ තුරු අතරින් පෙරී විත් පෘථිවි පහස සොයමිනි. ඉන් නිර්මිත සෙවණැලි අඳුරු වුවද මුදු සිසිලක් පරිසරයට මුදා හැරීමේ උත්සාහයක යෙදී සිටී.
නරේන්ද්‍ර කාර්යාලයේ සිට නිවෙසට යෑමට දෙපස කුඩා මල් පිපි පඳුරු සහිත පටු මාවතට පය තැබුවා පමණි.
“මන්ත්‍රී සර්. මන්ත්‍රි සර්”
සුපුරුදු හඬක් පාර දෙසින් ඇසෙන්නට විය. නරේන්ද්‍ර එස වූ පය ආපසු ගෙන පාර දෙසට නෙත් හෙළුවේය.
“පුණ්‍යවන්ත යාචකයා.”
සිරිමෙවන් ලේකම්වරයා හෙමිහිට කීවේ උදෑසනම මේ මොන කරච්චලයක්දැයි සිතමිනි.
“පව්. එන්න කියන්න. නෑ නෑ මං යන්නම්.”
නරේන්ද්‍ර පුණ්‍යවන්ත යාචකයා වෙත ගියේ කාරුණික සිනාවක් පිරි මුහුණිනි. ඔහු අසූ හැවිරිදි මහල්ලෙකි. පෙර පොහොසත්ව සිට දැන් දිළින්දෙක්ව සිටී. නගරයේ තෝරා ගත් ගෙවල් කිහිපයකට මසකට දෙවරක් යන ඔහු නො ඉල්ලා ලැබෙන මුදලට තුති පුදා නිරෝගි සුව පතා ආපසු යයි.
“කොහොමද සීයා?”
“හොඳින් ඉන්නවා. මන්ත්‍රී සර්ට කොහොමද?”
“මාත් හොඳින්. ගිය මාසෙ මේ පැත්තෙ ආවෙ නැහැ නේද?”
“මන්ත්‍රි සර් ලංකාවෙ නැහැ කියලා නෝනා මහත්තැන් කෙනෙක් කිව්වනෙ.”
“මං ලංකාවෙ නොඉඳ කොහෙ යන්නද?”
පුණ්‍යවන්ත යාචකයා මන්ත්‍රී සර් ගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැත. අහංකාරකම් පාන්නේ මැති ඇමති අගමැති ජනාධිපති නොව ඔවුන් වටා සිටින අය යැයි පුණ්‍යවන්ත යාචකයා ද සිතයි. ඔවුන් අමනාප කර ගැනීම නයාට ගසා පොල්ල කඩා ගැනීමකි.
නරේන්ද්‍ර සිදුවීමක මුල අග දැන ගනු රිසියෙන් ලේකම්වරයා වෙතට හැරුණේය. තම මාසික වැටුපෙන් ප්‍රමාණවත් මුදලක් මෙවන් යාචකයින් උදෙසා වැය කරන බ ව ලේකම්වරයා නොදන්නවා නොවේ.
“පාර්ලිමේන්තුවෙ ඉන්න අපිත් නම්බුකාර පුණ්‍යවන්ත යාචකයො වගේ ලෝකය පුරා යනවනෙ ආධාර උපකාර ඉල්ල ඉල්ලා. ඒකෙ ලජ්ජාව අපියි දන්නෙ. මේ අසරණ මිනිස්සුත් අපි වගේ තමා. නෑ නෑ අපිත් ඒ ගොල්ලො වගේ. ඒක නිසා කරුණාකරලා මේ වගකීම අර නෝනටයි මේ මහත්තයටයි පවරන්නෙ නැතුව සිරිමෙවන් මහත්තයා බාරගන්න ඕන. මං කියලා තියෙන්නෙ එහෙමනෙ.”
නරේන්ද්‍ර කීවේ කෝපයෙනි. මිනිසුන් අසරණයයි හැම විටම සිතන මන්ත්‍රිවරයා තුළ මිනිසුන් පිළිබඳ ඇති ගැඹුරු කරුණාව ව්‍යාජයක් නොවේ. ලේකම්වරයා එය දනී. කවුරුන් හෝ ස්ත්‍රියක විසින් මේ භූමියේදී මන්ත්‍රිවරයාගේ මනුෂ්‍ය දයාව ලිහිල්ව සිතා පුණ්‍යවන්ත යාචකයා පලවා හැර ඇත.
“සර් මං මේ ගැන හොයලා බලන්නම්. මොකක් හරි අතපසුවීමක් වෙලා.”
පුණ්‍යවන්ත යාචකයා මන්ත්‍රි සර්ටත් ලේකම් වරයාටත් සවන් දුන්නේ පුදුමයෙනි. එතුමා කියන්නේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් වන එතුමා ද පුණ්‍යවන්ත යාචකයෙකු බවය. එතුමා පමණක් නොව පාර්ලිමේන්තුවේ නියෝජිත සර්ලා සියලු දෙනා ම පුණ්‍යවන්ත යාචකයන් යැයි එතුමා පවසන දේ පිළිගැනීමට නුපුළුවන. එහෙත් එතුමා සත්‍ය මිස අසත්‍ය කතා නොකියන්නෙක් ලෙස ගමේ ගොඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධය.
පුණ්‍යවන්ත යාචකයා විසඳාගත නොහැකි ගැටලුවකට පැටලී කල්පනා කරන්නට විය.