තිස්ස - ලෙස්ටර් සබඳතාවෙන් සිනමාවට ලැබුණු දායාද බොහෝය | Page 3 | සිළුමිණ

තිස්ස - ලෙස්ටර් සබඳතාවෙන් සිනමාවට ලැබුණු දායාද බොහෝය

• තිස්ස අබේසේකර නම් සාහිත්‍යධරයා පිළිබඳ ඔබගේ හැඟීම කෙබඳු ද?

තිස්ස සාහිත්‍යධරයකු වශයෙන් එතරම් විශාල ප්‍රමාණයක් නවකතා, කෙටිකතා, කවි ලියපු කෙනෙක් නෙවෙයි. නමුත් ඔහු ලියූ සීමිත සාහිත්‍ය කෘති ප්‍රමාණය මම අගය කරනව. ඔහු වැඩිපුර ලිව්වේ ඉංග්‍රීසියෙන්. ඒ වගේ ම ‘අයාලේ ගිය සිතක සටහන්’ වැනි සිංහල කෘති ද තියෙනව‍. ඒව අගය කළ හැකි මට්ටමේ කෘතීන් කියල මට හැ‍ඟෙනව. නමුත් තිස්සගෙ වටිනාකම රඳා පවතින්නෙ එතැන නෙවෙයි. සිංහල සිනමාව සිංහල සාහිත්‍යයෙන් පෝෂණය කිරීමට ඔහු ගත් උත්සාහය මත තමයි ඔහුගේ සම්පූර්ණම වටිනාකම රඳා පවතින්නෙ.‍ තිස්සට සිංහල සාහිත්‍ය ගැන වගේ ම විශ්ව සාහිත්‍යය පිළිබඳ ඉතා ‍ඉහළ දැනුමක් තිබුණා. මම හිතන්නෙ නැහැ එහෙම පුළුල් සාහිත්‍යමය දැනුමක් සිංහල සිනමාවෙ කිසිම නිර්මාණකරුවකුට තිබුණ කියල. ඔහු ඒ දැනුමෙන් ප්‍රයෝජනය ලබාගත්තා.‍ ඒ නිසා තමයි තිස්ස සිංහල සිනමාවෙහි පහළ වුණු පුළුල් දැක්මක් සහිත පුද්ගලයකු බවට පත්වෙන්නේ. ඔහුට පුළුවන් වුණා ඕනෑම කෘතියකට යම් සාමාජීය මානයක් එකතු කරන්න.‍ එය සිංහල සිනමාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙන් මඟ හැරුණු දෙයක්.

උදාහරණයක් වශයෙන් ‘ගම්පෙරළිය’ චිත්‍රපටය ගන්න. එහිදී ලෙස්ටර් අතින් සිදුවෙලා තියෙන්නෙ ඒ සාහිත්‍ය කෘතියෙහි හරය සිනමාවට නැඟීම නෙමෙයි; එහි එන ප්‍රේම වෘත්තාන්තය සිනමාවට නගන්න. ‘ගම්පෙරළිය’ නවකතාවෙ එන සමාජීය අර්ථකථනය චිත්‍රපටයේදී ගිල ගිල ගිහින් තියෙනවා. ඒ සමාජීය මානය චිත්‍රපටයෙ නැති නිසා එහි ප්‍රේම කතාවට ප්‍රධාන තැනක් හිමිවෙනවා. නමුත් මිනිස්සු ‘ගම්පෙරළිය’ නවකතාව කියවල තියෙන හින්ද ඒ පූර්ව දැනුම මත චිත්‍රපටය විග්‍රහ කරනවා. එය රස විඳිනවා. ලෙස්ටර් අතින් ඒ සාමාජීය මානය (Social Dimension) ගිලිහී යන්න හේතුව තමයි ඔහුට සිංහල සාහිත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිවීම. ලෙස්ටර්ට තිබුණෙ නැති ඒ ලක්ෂණය ඉතා ගැඹුරින් තිස්සට තිබුණා. ඒ නිසා ඔහුට සාහිත්‍ය හරහා නිර්මාණයෙන් සමාජීය මානය ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා.

‘නිධානය’ චිත්‍රපටය ගන්න. ඇත්තටම ‘නිධානය’ කෙටිකතාව කියන්නෙ කුතුහලයක් තියෙන කෙටිකතාවක් වුණත් සාර්ථක කෙටිකතාවක් නෙමෙයි. එය ඉතා සරල කතාවක්. චිත්‍රපටය නිර්මාණය කරන කොට ඒ පිටපත හරහා තිස්ස එයට අලුත් මානයක් එක් කරනවා. එම සමාජීය මානය කෘතියකට ඉතා වැදගත්. එහෙම හපන්කමක් තිස්සට කරන්න පුළුවන් වුණේ ඔහු පැරණි සාහිත්‍ය හා වත්මන් සාහිත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුක්තව සිටි නිසයි. ඒ වගේ ම ඔහුට දේශපාලන පසුබිමක් ද තිබුණා‍. සම සමාජ පක්ෂය හරහා ඒ දැනුම ඔහුට ලැබෙනවා. නමුත් ඔහු අනුකාරකවාදී සම සමාජ පාක්ෂිකයෙක් වුණේ නැහැ. ඔහු වැඩ කළේ තරමක ස්වාධීනතාවකින්. ඒ නිසා තිස්ස කිසිදු මොහොතක අනුකාරකවාදී අදහස් චිත්‍රපටයට රැගෙන ආවෙ නැහැ. තිස්සගෙ සෑම චිත්‍රපටයක් පිටුපසම තියෙන්නෙ සාහිත්‍යය පරිශීලනයෙන් ‍ඔහු ලබාගත් පරිචය. ඔහු සතු සාහිත්‍යමය පරිචය රූපයෙන් විදහා දැක්වීමට ඔහු හැමවිටම උත්සාහ ගත්තා. එය සාර්ථක වුණා.

• තිස්ස කතාවට මුල් තැන දෙන සිනමාකරුවෙක්...

ඔහු හැම තිස්සෙම කියපු දෙයක් තමයි හොඳ චිත්‍රපටයක් කරන්න නම් හොඳ කතාවක් තිබිය යුතුයි කියලා. ඒ නිසා එතරම් සාර්ථක නොවුණු සාහිත්‍ය කෘති කිහිපයකට ඔහු අතින් නව වටිනාකමක් ලැබුණා. නවකතාව හා සිංහල සාහිත්‍යය අතර තියෙන සම්බන්ධතාව වගේ ම සාහිත්‍යයත් සමාජයත් අතර තියෙන සම්බන්ධතාව ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. නවකතාව කියන්නෙ මූලික වශයෙන් සමාජ ඓතිහාසික නිර්මාණයක්. ඒ ගැන තිස්සට හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා තමයි ඔහු අසාර්ථක නවකතාවකින් පවා චිත්‍රපටයක් නිර්මාණය කරන කොට එහි තිර රචන‍ෙය්දී එයට සමාජීය පසුබිමක් නිර්මාණය කරන්නෙ‍. සමාජීය පසුබිමක් නැත්නම් එය නිර්මාණයක් වෙන්නෙ නැහැ කියන අදහස ඔහු දැරුවා. ඒ නිසා ඕනෑම සාහිත්‍ය කෘතියක් සිනමාවට නැඟීමේදී එහි තිර රචනයට තිස්ස ඒ සමාජීය මානය ඇතුළු කිරීමට උත්සාහ කළා.

• ‍ඔබගේ ‘කරුමක්කාරයෝ’ නවකතාව සිනමාවට නැඟීමේදී තිස්ස ඒ අදහස සාර්ථකව සාර්ථක ලෙස ජය ගත්තේ ද?

එතැනදී ඔහු එතරම් සාර්ථක වුණේ නැහැ කියල මම හිතන්නේ. ඔහු මූලික වශයෙන් අවධානය යොමු කරන්නෙ එහි තිබෙන ප්‍රේම කතාවට. ඒ නිසා ‘කරුමක්කාරයෝ’ නවකතාව ඇතුළත විද්‍යමාන වන ආර්ථික, සාමාජික, සංස්කෘතික බලවේග ඒ චිත්‍රපටයේ පෙරට එන්නෙ නැහැ. ඒ නිසා තමයි එය අසාර්ථක වෙන්නේ. ‘කරුමක්කාරයෝ’ නවකතාවෙ මූලික වශයෙන් කියැවෙන්නෙ වෙනස්වන සමාජ, ආර්ථික බලවේගයන් ඇතුළත වෙනස් වන ගැමි ජීවිතයක කථා ප්‍රවෘත්තියයි. නමුත් ඒ චිත්‍රය නියමාකාර වශයෙන් ඔහුට අහුවුණේ නැහැ. ඔහු අවධානය යොමු කළේ එහි අන්තෝ ජටා පක්ෂයට පමණයි. බහි ජටා පක්ෂයට ඔහුගේ අවධානය එතරම් ‍ෙයාමු වුණේ නැහැ. නමුත් නවකතාවෙදි බහි ජටා පක්ෂයට ඉතා විශාල වටිනාකමක් ලබාදෙනවා.

• නමුත් සිනමාව කියන්නෙ අධ්‍යක්ෂකවරයාගෙ කලාවක්...

එය හරි. අධ්‍යක්ෂවරයාට අයිතිය තියෙනවා. තමන්ගෙ නිර්මාණය තමන්ට අවශ්‍ය විදියට බිහි කරගන්න. ඒ වගේ ම නවකතාව කියන්නෙ එක් මාධ්‍යයක්. සිනමාව කියන්නෙ තවත් මාධ්‍යයක්. නමුත් නවකතාවක් චිත්‍රපටයට නඟනවා නම් ඒ කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන. ‘ගම්පෙරළිය’ නියම වශයෙන් අවබෝධ කරගන්න නම් එහි තියෙන සමාජ, දේශපාලන කතාව ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව එය කරන්න බැහැ. දක්ෂකම තමයි නවකතාවෙහි එන පුළුල් අරුත සිනමා මාධ්‍යයට හැරවීමේදී අධ්‍යක්ෂවරයා දක්වන සමත්කම‍. නවකතා ශෛලියට චිත්‍රපටයක් ඉදිරිපත් කරන්න බැහැනෙ. නමුත් චිත්‍රපටය සමාජ කතාන්දරයක් වෙන්න ඕන. අන්න එතැනදි තමයි අධ්‍යක්ෂකවරයාගෙ සමාජීය ගනුදෙනුව වැදගත් වෙන්නේ. ඒ හරහා තමයි සමාජීය මානය කෘතියකට ඇතුළුවෙන්නෙ. “කරුමක්කාරයෝ” චිත්‍රපටයේ තිස්සට එය එතරම් අවශ්‍යව තිබූ බවක් පෙනෙන්න නැහැ. එහෙත් ඔහු පසුකාලීනව ඒ තත්වය ජයගත්තා.

• ඒ කියන්නෙ ‘විරාගය’...

ඔව්. ඇත්තටම කියනව නම් ‘විරාගය’ ආරම්භ කරන මොහොතෙ ඉඳන්ම මමත් රංග වික්‍රමසිංහත් තිස්ස සමඟ ඉතා ළඟින් සිටිය. අපි හැම තිස්සෙම තිස්සට උපදෙස් දුන්නේ එහි ඇති ගැඹුර වටහා ගන්න කියලා. ඒ නිසා තිස්ස නිරන්තරයෙන් ම ඒ සම්බන්ධව අප සමඟ සාකච්ඡා කළා. එතැනදි තිස්සට පුළුවන් වුණා ‘විරාගය’ නවකතාවෙහි හමුනොවන සමාජීය මානයක් චිත්‍රපටයට එකතු කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යක්ෂවරයකු වශයෙන් තිස්ස ‘විරාගය’ චිත්‍රපටයට අලුතින් යම් යම් දේ එකතු කළා. ඒ හැම දෙයකින් ඒ චිත්‍රපටය සුදු ප්‍රේමකතාවක් ඉක්මවා ගිය සමාජීය තලයක නිර්මාණය වුණා. එතැනදි තිස්ස සියයට සියයක් ම සාර්ථක වුණා කියල කියන්න පුළුවන්. ‘විරාගය’ වගේ නවකතාවක් සිනමාවට නැඟීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. එය ඉතා අපහසු හා නිර්මාණාත්මක වශයෙන් බැරෑරුම් කාර්ය භාරයක්. ඒ සඳහා සිනමා මාධ්‍ය මෙන් ම නවකතා මාධ්‍ය පිළිබඳව ද දැනුමක් තිබිය යුතුයි. එහෙම නැත්නම් එවැනි කෘතියක් රූප මාධ්‍යයට පෙරළන්න බැහැ. තිස්සට ඒ මාධ්‍ය දෙක පිළිබඳවම ඉතා ගැඹුරු දැනුමක් තිබුණා. ‘විරාගය’ චිත්‍රපටය තිස්සගෙ හොඳම චිත්‍රපටය වුණා විතරක් නෙමෙයි; සිංහල සිනමාවෙහි බිහිවූ උසස් ම චිත්‍රපට කිහිපය අතරට ද එක් වෙනව. හැබැයි තිස්ස ‘කරුමක්කාරයෝ’ කළා වගෙ ‘විරාගය’ කළා නම් එවැනි වටිනාකමක් ලබාගන්න බැරි වෙනවා. තිස්සගෙ ‘‍මහගෙදර’ චිත්‍රපටයත් මම නරඹල තියෙනවා‍. නමුත් මගේ වැඩි අවධානය යොමු වෙන්නෙ ‘කරුමක්කාරයෝ’ හා ‘විරාගය’ යන චිත්‍රපට දෙකට පමණයි.

• තිස්ස අබේසේකර හා ලෙස්ටර් ජේම්ස් පීරිස් අතර තිබූ සම්බන්ධතාව ඔබ දකින්නේ කෙසේද?

මොන මොන අඩුපාඩු තිබුණත් ලෙස්ටර් තමයි අපේ මහා සිනමාකරුවා. ඊට පස්සේ ඉන්නෙ තිස්ස අබේසේකර. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව නිසා සිංහල සිනමාවට ලැබුණු දායාද අතිවිශාලයි. ලෙස්ටර් ළඟ නොතිබුණු දෙයක් තිස්ස ළඟ තිබුණා. තිස්ස ළඟ නොතිබුණු දෙයක් ලෙස්ටර් ළඟ තිබුණා. ඒ නිසා ඒ සුසංයෝගය ඉතා වැඩදායකයි‍. ලෙස්ටර් නිසා තිස්ස පෝෂණය වුණා. අනිත් අතට තිස්ස නිසා ලෙස්ටර් පෝෂණය වුණා. තිස්ස හා ලෙස්ටර් සම්බන්ධ වුණු චිත්‍රපට දිහා බලන්න. ඒ හැම එකකම ඒ තත්ත්වය පැහැදිලිව පෙනෙන්න තියෙනවා. තිස්සගෙ හා ලෙස්ටර්ගෙ සිනමා දැනුම ඉතාම පුළුල්. හැබැයි වර්තමානයේ මෙන් කොටින් ම ආවඩන චිත්‍රපට ඔවුන් අතින් නිර්මාණය වුණේ නැහැ. මම සිංහල චිත්‍රපට බලන්න දැන් යන්නෙ නැහැ. මොකද ගිහිල්ල බලන්න දෙයක් නැහැ. ඔන්න ඔය වෙලාවට තමයි තිස්ස වගේ පුද්ගලයකුගෙ වටිනාකම තේරෙන්නේ. ඒ කාලෙ සමහර චිත්‍රපට බලල මම විචාර කිහිපයකුත් ලිව්වා. දැන් නම් එහෙම ලියන්නවත් සිනමාවක් නැහැ. සමහරු අහන්න පුළුවන් චිත්‍රපට බලන්නෙ නැතුව එහෙම කියන්නෙ කොහොමද? කියලා.‍ සිනමාව රස විඳින්න ප්‍රේක්ෂකයාට යම් පෙලඹවීමක් තියෙන්න ඕන. ඒ පෙලඹවීම සඳහා උසස් සිනමා නිර්මාණ බිහිවෙන්න ඕන. එහෙම පෙලඹවීමත් අද නිර්මාණවල දක්නට නැහැ. ඒව ඔක්කොම වගේ විසූක දස්සන.‍

• තිස්ස හා ඔබ අතර තිබ‍ූ සම්බන්ධය කෙසේද?

ඉතා හොඳ සම්බන්ධතාවක් තිබුණා. තිස්ස හොඳ රසිකයෙක්. ඔහුත් එක්ක ඕනෑම දෙයක් හුවමාරු කරගන්න හැකියාව තිබුණා. සිංහල වගේ ම ඔහුගෙ ඉංග්‍රීසි භාෂා දැනුමත් ඉතා විශිෂ්ටයි. නමුත් එවැනි පිරිස් අද හොයා ගන්න නැහැ. ඔහුට යම් දෙයක ගැඹුර ඉතා හොඳින් දැනුණා. එය අපිත් එක්ක බොහෝ වෙලාවට සාකච්ඡා කළා. සමහර විට අපි නොයෙක් නොයෙක් දේ පිළිබඳව තම තමන්ගෙ අදහස් ඉතා විවෘතව ප්‍රකාශ ක‍ළා. ඔහු හොඳ සංගීත රසිකයෙක් වුණාට සංගීතය සම්බන්ධයෙන් ඔහු සමඟ මා එකඟ නොවුණු අවස්ථා තියෙනවා‍. ඔහුට කවදාවත් අපේ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට වුවමනාවක් තිබුණෙ නැහැ. ඒ සමාජ, සංස්කෘතික ප්‍රවාහය සමඟ ඔහු බැඳී සිටියා. සිනමාවෙන් එය විදග්ධ ලෙස ප්‍රක්ෂේපණය කළා. එවැනි විශිෂ්ටයෙක් අපේ සිනමාවේ නැතිවීම අපිට ඉතා විශාල පාඩුවක්.

• ඒ පාඩුව මකාගන්න අපට විදියක් නැද්ද?

මම හිතන්නෙ නැහැ. අද තියෙන්නෙ වල් වැදුණු සමාජයක්. එතැන සාහිත්‍යය නැහැ, සංගීතය නැහැ, සිනමාව නැහැ, වේදිකාව නැහැ. මේක අනික් පැත්තට හරවන්න ලෙහෙසි වෙන්නෙත් නැහැ. මේකට මූලික හේතුව තමයි සමාජයේ උත්තර සංවාදයක් නොමැතිවීම. තිස්ස බිහිවුණු යුගයෙ ඒ සංවාදය ‍රටේ තිබුණා. ඒ හරහා සමාජය පෝෂණය වුණා. අද තියෙන්නෙ අනුකාරක වාදී සාහිත්‍යයක්. අනුකාරකවාදී සිනමාවක්. එවැනි දේ වලින් අපේකම ලෝකෙට විදහා දක්වන්න බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය වළපල්ලට දාල අපට නිර්මාණ කරන්න බැහැ. නමුත් අද සිදුවෙන්නෙ එයයි. ඒ නිසා තමයි තිස්ස වගේ කෙනෙක් බිහිවෙන්නෙ නැත‍්තෙ. තිස්ස කියන්නෙ මේ රටේ බිහිවෙච්ච හුදු සිනමාකරුවකු පමණක් නොවෙයි. ඔහුට අපේ සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒක අමතක කරල ඔහු කවදාවත් කිසි දෙයක් කරන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා තමයි තිස්ස අද අප අතර නැති වුණත් ඔහු ගැන ආඩම්බරයෙන් අපට කතා කරන්න පුළුවන් වෙන්නෙ. තිස්ස මේ පොළොවෙ පය ගහල ජීවත්වුණු පුද්ගලයෙක්. ඒ නිසා තමයි ඔහු ළං කරගත් හැම අවස්ථාවකම අනිකුත් අධ්‍යක්ෂවරුන්ගෙ නිර්මාණ පවා සාර්ථක වුණේ.

Comments