සෝනු­ත්තර රජ මහා විහා­රය රැක ගනිමු! | Page 2 | සිළුමිණ

සෝනු­ත්තර රජ මහා විහා­රය රැක ගනිමු!

පුරා විද්‍යා ඉඩම් බලෙන් අල්ලන් වගා කටයුතු මාතලේ දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සෝනුත්තර ගම්මානය හා විහාරස්ථානය අනුරාධපුර යුගය දක්වා ඉතිහාසයකට උරුමකම් කියනබව ජනප්‍රවාද තහවුරු කරයි. උතුරින් වස්ගමුව ජාතික වනෝද්‍යානයත් දකුණින් මහනුවර මාතලේ දිස්ත්‍රික්ක මායිම වූ හීං ගඟත් නැගෙනහිරින් මහවැලි ගඟ හා බටහිරින් නකල්ස් කදුවැටිය සෝනුත්තර ගමේ සීමා මායිම් වෙයි. මේ ගමට පන්සලක් නොතිබූ යුගයේ ගමේ ‍ආගමික කටයුතු වෙනුවෙන් විහාරස්ථානයක අවශ්‍යතාව සලකා නායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි උඩරට අමරපුර නිකායේ මාතලේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක හෙට්ටිපොළ විනීත දේවාලංකාර හිමියන් සෝනුත්තර ගමට වැඩම කරනු ලැබුවේ 1991 වසරේදීය. ගමේ ‍දායකයන් තිදෙනකු ආරාධනයෙන් වැඩම කළ දේවාලංකාර හිමියෝ එදා පටන් ගම්මුන් ආගම දහමෙහි පිහිටුවමින් ළමා ළපටියන්ට ආගමික දැනුම දෙමින් පන්සල දියුණු කිරීමට දරනුයේ මහත් පරිශ්‍රමයකි. එහෙත් ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු මේ රජ මහා විහාරස්ථානය අවට භූමිය විවිධ කටයුතු සඳහා යොදා ගන්නා මිනිසුන් දිගින් දිගින් කරන බාධා කිරීම් නිසා විහාරස්ථානය දියුණු කිරීමේ කටයුතු අඩපණව ඇතැයි විහාරාධිපති හිමියෝ සඳහන් කරති.

“මේ ගමෙන් ගිය දායක මහත්වරුන් තුන් දෙනෙක් තමයි නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළේ සෝනුත්තර ගමට ඇවිත් පන්සල පටන් ගන්න කියලා. ඒ ඉල්ලීමට අනුව ගමට ආවාට ගමෙන් මුලදී කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ. පන්සලට ආවේ ගියේ මා කැඳවාගෙන ආ පවුල් තුනක අය විතරයි. ගමේ ඇවිදලා පන්සල හදන්න කෙතෙක් උදව් ඉල්ලුවත් සමහරු මට වාඩිවෙන්නවත් කතා කළේ නැහැ. මෙතැන පුරා විද්‍යාත්මක වටිනාකමක් තිබෙන තැනක්. මෙහි ඉතිහාසය බුදුන්වහන්සේගේ පළමු ලංකාගමනය දක්වා දිවෙනවා. පුරා වස්තු මංකොල්ලකරුවන් අවස්ථා කීපයකදීම මෙතන විනාශ කරලා තිබුණා. අවස්ථා කීපයකදී මෙතන පන්සලක් පටන්ගෙන තිබුණත් ඒ එක හාමුදුරුනමකටවත් වැඩ ඉන්න දීලා නැහැ. ගමේ චණ්ඩි කීප දෙනෙකු ඒ ස්වාමීන් වහන්සේට හිරිහැර කරලා පන්නලා තිබුණා. නමුත් මෙතන පූජනීය ස්ථානයක් බවට පත් කරනවා කියලා මම අධිෂ්ඨාන කරගත්තා.

පන්සල් භූමිය පුරා තිබූ පෞරාණික නටබුන් සහිත ඉඩම් සමහර මිනිස්සු ඒ වෙනකොට වගා කටයුතුවලට යොදාගෙන තිබෙනවා මා දුටුවා. ඉපැරැණි චෛත්‍යය ගර්භයක පැපොල් හිටවලා තිබුණා. මේවා දැක මට ලොකු සංවේගයක් ඇති වුණා. කොහොමහරි මේ මිනිස්සුන්ට කරුණු අවබෝධකරලා දීලා මේ ඉඩම් සංරක්ෂණය කරන්න ඕනෑ කියලා අධිෂ්ඨාන කරගත්තා. 1992 අවුරුද්දේ පටන් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේ පුජා භූමිය සංරක්ෂණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ලියුම් ‍ලිව්වා. නමුත් එකල ඒ ගැන අවධානය යොමු වුණේ නැහැ.නැහැ.

ඒ කාලයේ මට දවල් දානයවත් හරියාකාරව ලැබුණේ නැහැ. අපේ අම්මා මේක දැනගෙන අයියලාගේ දරුවෝ අතේ දවල් කෑම එක මා උගන්වන පාසලට එව්වා. සමහර දවස්වලට අම්මටත් එවන්න බැරි වෙනවා. කොහොමහරි විදුහල්පතිතුමා ටික කාලයක් යනකොට මේක දැන ගත්තා. එතුමා ගුරු මණ්ඩලයත් එක්ක කතාබහ කරගෙන සතියේ දවස් පහට දවල් දානේ දෙන්න පටන් ගත්තා. පාසල හැරී ඇවිත් හවසට මං පන්සල් භුමියේ කැලේ සුද්ධ කළා. මෙතැන පන්සලක් හදන්න ආරාධනා කරමින් මා කැටුව ඒමට ගිය පවුලක දරුවෙක් මගේ වැඩවලට උදව්වට පන්සලට නිතරම ආවා. මට ගමනක් යන්න උවමනා වුණොත් බයිසිකලේ තියාගෙන අරං යන්නේ කුමාර. දවල්ට ගිලම්පස ටික දානේ ටික හදන්නෙත් පුංචි කුමාර. එතකොට කුමාරට අවුරුදු 12 ක් විතර ඇති. පාසලේ නිවාඩු දවස්වලට උදේ පටන් රෑ වෙනතුරු පන්සලේ වැඩ කරලා කුමාර ගෙදර යනවා. පාසල් දිනවල හවස්වරුවේ ඇවිත් පන්සලේ තියෙන වැඩවලට උදව් වෙනවා. කුමාර පන්සලට ආවට ගමේ අනිත් එක දරුවෙක්වත් පන්සලට එව්වේ නැහැ. මේ කුමාර දැන් දෙදරු පියෙක්. ඉන් එක් දරුවෙක් සාසනයටත් පූජා කළා. මා පන්නා දමන්න ඇතැම් අය එකල ලොකු වෙහෙසක් දැරුවා. සමහර දවස්වලට මා බය කරන්න පන්සල් වත්ත වටේ විවිධ ශබ්ද කළා. පන්සලට ගල් ගැහුවා. මේ සියල්ල කළේ පුරා වස්තු මංකොල්ල කන්න සහ පන්සල් භූමියේ සශ්‍රික ඉඩම් අත්පත් කරගන්න කීප දෙනෙකුට තිබූ උවමනාව අනුවයි. මම ඉන්න එක ඒ අයට බාධාවක්. නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. කොහොමහරි පන්සල හදනවා කියන අධිෂ්ඨානයෙන් වැඩ කළා.

මට අවුරුදු තුනක් යනතුරු දානේ දුන්නේ දායකයො තුන් දෙනා විතරයි. මුලින්ම මගේ අතේ තිබුණු සල්ලිවලින් මම මැටි ගහලා පුංචි ගොඩනැගිල්ලක් හැදුවා. මගේ දෙමවුපියන්ට අයත් ඉඩම්වලින් ගස් කපාගෙන ලී අරං ආවා. මේ ගොඩනැගිල්ල ප්‍රමිතියට හැදුව එකක් නොවෙයි. වැහි කාලෙට ගේ ඇතුළ තෙමෙනවා. මම සිවුරු පොත්පත් සේරම පුංචි කබඩ් එකකට දාලා ඉටිරෙද්දකින් කබඩ් එක වහලා වැස්ස පායනතුරු කුඩේ ඉහලගෙන ඉන්නවා. සමහර දවස්වලට එළිවෙනකම් කුඩේ ඉහළගෙන ප්ලාස්ටික් පුටුවකට වෙලා ඉඳගෙන ඉන්නවා.

අවුරුදු තුනකට පස්සේ නැවත ගමට ගිහින් උදව් කරන්න කියා ඉල්ලීමක් කළා. මිනිස්සු කිව්වා හමුදුරුවනේ අපි ඔය පන්සලට උදව් කරන්නෙ නැහැ කියලා. මිනිස්සුන්ගෙන් උදව් නොලැබෙනකොට මම කල්පනා කළා වෙන ආයතනයක හරි උදව් අරං මේ පන්සල දියුණු කළ යුතුයි කියලා. ඒ වෙන කොට පන්සලේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුරින් මහවැලි ගඟ හරහා මාතලේ -බදුල්ල දිස්ත්‍රික්ක යා කරමින් නිපොන් සමාගම පාලමක් හදනවා. මං පාලම බාරව සිටි ඉංජිනේරු මහත්තයා මුණ ගැහිලා උදව් ඉල්ලුවා. එතුමා මට උදව් කළා. ඒ කාලේපොලිසියේ සිටි වංසක්කාර කියන ඕ.අයි.සී මහත්තයාත් මට උදව් කළා. ඉන්පස්සේ ගමේ සීයක් විතර මට උදව්වට ආවා. එදා අපි නැකතට පන්සල හදන්න පටන් ගත්තා. එතැන් පටන් මිනිස්සු ලොකු පැහැදීමකින් උදව් කළා.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට වසර ගණනාවක් ලියුම් ලිව්වා පැරැණි දාගබ සංරක්ෂණය කරන්න කියලා. කොහොමහරි පහුගිය වර්ෂයේ තමයි මේ කටයුත්තට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුල පිරුවේ. දැන් මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු කරනවා. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රාදේශීය ලේකම්තුමා දැන් ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් විදිහට කටයුතු කරනවා. මේ කටයුතු පටන් ගත්තට පස්සේ මට විවිධ කරදර වුණා. විහාරස්ථානයට රාත්‍රියේ ඇවිත් මට තර්ජනය කළා. ගල් ගැහුවා. අවස්ථා කීපයකදීම මට වස විස දුන්නා. නමුත් මම ඒ හැම දෙනාටම මෛත්‍රී කරනවා. මම උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ ඉඩම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දීලා ඒ අය අසරණ කරන්න නොවෙයි. අපේ රටේ අතීත උරුම අනාගත පරපුරට ආරක්ෂා කර දෙන්නයි.

මේ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ඉඩම් මිනිස්සු බලෙන් අල්ලාගෙන ඉන්න ඒවා. මේවා රජයෙන් බෙදා දුන්න ඉඩම් නොවෙයි. මේ ඉඩම් නිදහස් කරලා මේ අයගෙම දරු මුණුබුරන්ට රටේ ඉතිහාසය උගන්වන්න තමයි අපි මහන්සි වෙන්නේ.”

විල්ගමුව අධ්‍යාපන කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂක බණ්ඩාරනායක මහතා මෙම ස්වාමීන් වහන්සේගේ සාසනික සේවාවට යෝධ ශක්තියක් වූ අයෙකි. ඉතිහාසය පිළිබඳ හසළ දැනුමක් ඇති බුද්ධිමතෙකි.

“අපි බුදුන්ගේ කාලයේ සිටම පරම්පරාවෙන් මෙහි ඉන්න මිනිස්සු. මේ සාසනික සේවාවට බාධා පමුණුවන්නේ පිට පළාත්වලින් ඇවිත් මෙහි පදිංචි වුණු අයයි. දුටුගැමුණු රජතුමාගේ කාලයේ වැඩ සිටි සෝනුත්තර මහරහතන් වහන්නේ මෙහි වැඩ සිටි බවට ජනප්‍රවාදයේ සදහන් වෙනවා. උන් වහන්සේ රුවන්මැලි මහා සෑයටත් ධාතුන් වහන්සේ ගෙන එන්න මූලිකත්වය ගත්තු මහ රහතන් වහන්සේ නමක්. ඒ කාලයේ මේ පළාතේ අයට වී පැදුරක් වේලා ගන්න බැරි තරමට හෙවණ වැටෙනවාලු රහතන් වහන්සේ අහසින් වඩින නිසා. ඒ තරමටම පුණ්‍ය භූමියක්ව පැවැති මෙම පුදබිම අනාගත පරපුරට රැකදීමට අපේ හාමුදුරුවෝ දරන උත්සහය අගය කළ යුතු වෙනවා. ඒ සඳහා අපි හැම දෙනාම එක වගේ සහයෝගය ලබා දිය යුතුයි. පසුගිය කාලයේ අනවසර වගාකරුවන් පුරා වස්තුවලට විශාල වශයෙන් හානි කරලා තිබෙනවා. මේ ඉඩම් නිදහස් කරලා පූජා භූමියක් විදිහට සංරක්ෂණය කරන්න කියලා මම රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

විනීත විනීත දේවාලංකාර හිමියන් මේ ඓතිහාසික පූජා භූමිය රැක ගැනීමට දරන වෙහෙසට වගකිව යුත්තන්ගේ විශේෂ අවධානය මෙන්ම උපකාර ලැබිය යුතුය.

 

Comments