අමෙරිකාවේ රහස් රකින ප්‍රංචාස්‍රය | සිළුමිණ

අමෙරිකාවේ රහස් රකින ප්‍රංචාස්‍රය

 පෙන්ටගනය යනුවෙන් හඳුන්වන්නේ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානයයි. මෙය පිහිටා ඇත්තේ වර්ජිනීයා ප්‍රාන්තයේ Arlington Country ප්‍රදේශයේය. පෙන්ටගනය අමෙරිකාවේ හදවත බඳුය.

මෙහිදී අප සැලකිල්ලට ලක් කරන්නේ පෙන්ටගනයේ අභ්‍යන්තරයේ සිදු වන මිනිස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නොව මේ අති විශාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්බන්ධවය.

පෙන්ටගනයට ඒ නම ලැබෙන්නේ එය පංචාස්‍රයක හැඩයට නිමවා ඇති බැවිනි.

පළමුවැනි ලෝක යුද්ධය පැවති සමයේ අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව ග්‍රෙගරි ගොඩනැගිල්ලේ පිහිටා තිබිණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අමෙරිකානු දේශපාලනය වඩාත් ශක්තිමත් වූ අතර ආරක්ෂක කටයුතු වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පාලනාධිකාරිය සාක්ෂාත් කර ගත් බැවින් විධිමත් කාර්යාල පද්ධතියක් ඒ වෙනුවෙන් ගොඩ නැගීමේ අවශ්‍යතාවද ඇති විය. එවකට යුද ලේකම්ව සිටි Henry Stimson විසින් එවකට අමෙරිකා ජනාධිපතිව සිටි ෆ්රෑක්ලින් ඩී. රූස්වෙල්ට් මහතාට 1941 මැයි මාසයේදී ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඉඩකඩ සහිත කාර්යාල පරිශ්‍රයක් අවශ්‍ය බවයි. ඒ අනුව ඒ සඳහා අලුත් ගොඩනැගිල්ලක් සෑදීමට යෝජනා වූ අතර ඉදිරිපත් කෙරුණු සැලසුම් අතර තිබූ පංචාශ්‍රයක හැඩැති ගොඩනැගිල්ලක සැලැසුමට අනුමැතිය හිමි විය. මේ සැලැස්මට හිමිකම් කීවේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී George Bergstorm ය.

පෙන්ටගනයේ සැලැස්ම ජනාධිපති රූස්වෙල්ට්ට ඉදිරිපත් කළ පසු එහි අන්තර්ගතව තිබූ පහසුකම්, ඉඩකඩ සහිත විශාල කොරිඩෝ සහ විදුලි සෝපාන පද්ධති මෙන්ම ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන්ද ඉතා සතුටට පත් වූ ජනාධිපතිවරයා එයට අනුමැතිය දුන් බවද සඳහන්ය. එමෙන්ම ගොඩනැගිල්ල නිර්මාණය සඳහා ශක්තිමත් වානේ යොදා ගන්නා ලෙසද ජනාධිපතිවරයා විශේෂ නියෝග ලබා දුන් බවද සඳහන්ය.

සැලැස්ම අනුමත වූ පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ අතර ඉදිකිරීම් බාරව කටයුතු කරනු ලැබුවේ පිලඩෙල්ෆියා ප්‍රාන්තයේ John Mcshain සමාගමය. 1941දී පෙන්ටනයේ මූලික ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ අතර ඉතා ශක්තිමත් ලෙස ඉදිකිරීම් තාක්ෂණයේ උපරිම උපක්‍රම භාවිත කිරීම මගින් මෙහි පාදම විශේෂයෙන් සකස් කරනු ලැබූ බවටද තොරතුරු වේ. නිෂ්පාදන සමාගමට මෙහි පාදම පමණක් සකස් කිරීමට ප්‍රොටොමැක් නදියෙන් වැලි ටොන් 680000ක් ලබා ගැනීමට සිදු වූ බව සඳහන්ය.

පෙන්ටගනය තවත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලෝකයේ විශාලතම කාර්යාල සංකිර්ණය පිහිටා ඇති ගොඩනැගිල්ල වශයෙනි. ගොඩනැගිල්ලේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග අඩි 6,500 000ක් වන අතර එහි කාර්යාල සඳහා වෙන්ව ඇති ඉඩප්‍රමාණය වර්ග අඩි 340000කි. සිවිල් වැසියන් මෙන්ම ආරක්ෂක අංශයේ සාමාජිකයන්ද ඇතුළුව සේවකයෝ 23000ක් පමණ පෙන්ටගනයේ දෛනික සේවයට එක් වෙති.

පෙන්ටගනයේ සැලැස්මේ තවත් සුවිශේෂත්වයක් වන්නේ අතිවිශාල කොරිඩෝ පහකින් සමන්විත වීමය. මේ ගොඩනැගිල්ලේ සමස්ත කොරිඩෝවල දිග කිලෝමීටර් 28.2ක් බව ගණන් බලා තිබේ.

පෙන්ටගනයේ ඉදිකිරීම් 1943 ජනවාරි 15 වැනිදා අවසන් විය.

ඉදිකිරීම් අවසන් වන විට මෙහි හෙලිකොප්ටර් අංගණයක්ද, විශාල ජලනල පද්ධතියක් සහ ජල සැපයුම් පද්ධතියක් ද, ජල පිරිපහදු පද්ධතියක්ද, වෙලාව දක්වන නිවැරැදිම අතිනවීන ඔරලෝසු පද්ධතියක්ද අන්තර්ගත වී තිබිණි.

වසරින් වසර දියුණු තාක්ෂණය පැමිණෙනවිට පෙන්ටගනය සැමට පෙර එවැනි තාක්ෂණික අංග එක් කර ගැනීමට කිසිවිටක පැකිළීමක් දැක්වූයේ නැත. ඒ අනුව මේ වන විට පෙන්ටගනය අතිසංවේදී ආරක්ෂක කැමරා පද්ධතියක් සහ ආරක්ෂක උපක්‍රම රැසකින්ද සමන්විත වී තිබේ.

ඒ කොතරම් වුවද අල්ඛයීඩා සංවිධානය විසින් 2001 සැප්තැම්බර් 11 වැනිදා පෙන්ටගනයට සාර්ථක මරාගෙන මැරෙන ගුවන් යානා ප්‍රහාරයක් එල්ල කළේය. ‍ඒ ප්‍රහාරය වැළැක්වීමට අතිදක්ෂ අමෙරිකානු ආරක්ෂක අංශවලට නොහැකි වුවද පෙන්ටගන් ගොඩනැගිල්ලේ ශක්තිමත් බව සහ එහි සැලැස්ම හේතුවෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මෙන් ආකර්ෂණීය විනාශයක් පෙන්ටගනයෙන් වාර්තා කිරීමට ත්‍රස්තවාදීහු අසමත් වූහ.

තිලක් පුෂ්පකුමාර සේනානායක

Comments