රටේ සියලු නීතිඥවරුන්ට ලේක්හවුස් ප්‍රකාශන සුවිශේෂ මිලකට | සිළුමිණ

රටේ සියලු නීතිඥවරුන්ට ලේක්හවුස් ප්‍රකාශන සුවිශේෂ මිලකට

 ලේක්හවුස් ආයතනයේ සියලු ම ප්‍රකාශන රටපුරා සිටින 18,000 වූ සියලු ම නීතිඥවරුන්ට සුවිශේෂී වට්ටම් සහිතව ලබාදීමේ නව වැඩපිළිවෙළක් ඇරඹෙයි. ඒ අනුව ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙනිය මහතාගේ මැදිහත්වීමෙන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සභාපති යු.ආර්. ද සිල්වා මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ. ඒ අනුව රට පුරා විසිරී සිටින දහඅට දහසක් පමණ වන නීතිඥවරුන්ට විශේෂ වට්ටමක් සහිතව තම කාර්යාලයට හෝ නිවසට ලේක්හවුස් සියලු ප්‍රකාශන ලබාදීම සිදුකෙරේ. මේ සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ලේක්හවුස් ආයතනය අතර ඇතිකරගත් කොන්දේසිවලට අනුකූලව ප්‍රකාශන සඳහා වට්ටම් ලබාදෙයි.

මෙම වට්ටම් ලබාදීමේ සමාරම්භක උත්සවය පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතාගේ හා ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආයතනයේදී පැවැත්විණ.

මෙම උත්සවය ඇමතූ නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා අවධාරණය කළේ ‍ලේක්හවුස් ප්‍රකාශනවල ගුණාත්මක බවක් තිබෙන අතරම පුවත්පත්වල අභිමානය සුරැකීමට ආචාරධර්මවලට ගරු කරමින් එම පුවත්පත් කටයුතු කරන බවයි. මුදලට පමණක් ක්‍රියා නොකරන කැපවීමෙන් සිය කටයුතු කරන කාර්ය මණ්ඩලයක් ලේක්හවුස් ආයතනයේ සිටින බවද ජනාධිපති නීතිඥ සිල්වා මහතා පැවසීය.

ලේක්හවුස් සාමාන්‍යාධිකාරි අභය අමරදාස හා ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු බී.එස්. ඉලේසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුණ මල්ලවආරච්චි හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) ලාල් පෙ‍ෙර්රා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්වූහ.

Comments