ඩොලර් කෝටි 25ක ගැහිල්ලක්! | Page 859 | සිළුමිණ

ඩොලර් කෝටි 25ක ගැහිල්ලක්!

මලික් චමින්ද ධර්මවර්ධන

ආන්දෝලනයකට ලක්ව තිබෙන උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ දී දැවැන්ත මුදල් වංචාවක් සිදුව ඇති බව වාර්තා වන අතර එහි යටි මඩි ගැසූ කොමිස් මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 248ක් බව වාර්තා වේ. එනම් මෙය ඩොලර් කෝටි 25ක පමණ වංචාවකි.

2008 වර්ෂයේ අප්‍රේල් මාසයේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුව සාදන ලද්දේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගමකි. ඒ 2005 - 2006 වර්ෂවලදීය. ඒ අනුව උමාඔය යෝජනා ක්‍රමය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 155 ක් වැය වන බව ඇස්තමේන්තුගත කර තිබී ඇත.
එහෙත් මේ ව්‍යාපෘතිය සඳහා ඉරානය මැදිහත් වීමත් සමඟම ඇස්තමේන්තුව විටින් විට ඉහළ නැංවිණි. මෙහි ඇස්තමේන්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 300 සීමාව ඉක්මවා යෑමේදී පරිපාලන නිලධාරීන් ඉංජිනේරුවන් මේ සඳහා දැඩි වි‍රෝධය දක්වා ඇති බව ද වාර්තා වේ.
ඉරාන ජනාධිපතිවරයා 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී මේ ව්‍යාපෘතිය ඇරඹීමට ස‍ූදානම් වන අතර එහිදී ගිවිසුම අස්සන් කිරීමට පැවරෙන්නේ එවක වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට ය. එහෙත් ඔහු එයට දැඩි විරෝධය පා ඉල්ලා අස්වෙන අතර, අවසානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 548 කට ව්‍යාපෘතිය ඇස්තමේන්තු කෙරී ඇත. මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 248 ක වැඩි මුදලක් උමාඔය ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කෙරී ඇත. කොමිස් ලෙස හෝ වෙනයම් ආකාරයකට එම මුදල ව්‍යාපෘතියෙන් බැහැර කෙරී ඇති බව වාර්තාවේ.
මේ සඳහා තාක්ෂණික සහාය ලබා ගත් ඉරාන සමාගමට අදාළ හැකියාව නොමැති බව ද වාර්තා වන අතර මෙහිදී භාවිත කර තිබෙන තාක්ෂණය ඉරානය කාන්තාර මැදින් ජලය ගෙන යාමේදී භාවිතා කරන තාක්ෂණය බව ද කියැවේ.
තවද ව්‍යාපෘති ආරම්භයේදී අදාළ පරිසර ඇගැයීම් වාර්තා ලබාගෙන නොමැති බව ද වාර්තා වන අතර ව්‍යාපෘතිය අතරමඟදී ජනතා විරෝධතා එල්ල වන විට එම වාර්තා ලබා ගැනීමට කටයුතු කෙරී තිබේ. මේ වනවිට මේ ව්‍යාපෘතිය නිසා ආසන්න ප්‍රදේශවල දරුණු සමාජ, ආර්ථික ප්‍රශ්න ගණනාවක් මතු වී තිබේ. නිවාස 7037 ක් ඉරිතලා විනාශ වී ඇති අතරම ආගමික ගොඩනැඟිලි, පාසල් වැනි පොදු ගොඩනැඟිලි රැසකට ද හානි සිදුව තිබේ. තවද ඇළ දොළ ගංගා 112 ක් සිදී ගොස් තිබෙන බව ද වාර්තාවේ. 

Comments

පිටු