![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/18/pilimathalawa-1.jpg?itok=qoexMQWU)
* මවගේ හත් දොහේ බණ දා දියණියත් මෙලොව හැර යයි
* පිළිමතලාවේ මරු කපොල්ලට ඉක්මන් විසමක් ඕනෑ
සුපුරුදු පරිදි පසුගිය 12 දා උදෑසන 8.30 ට කොළඹින් පිටත් වූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය බදුල්ල බලා ගමන් ආරම්භ කළේ දැඩි වෙහෙසකර වූ කඩුගන්නාව කන්ද ද තරණය කරමින් කිසිදු අයෙකුට හිරිහැරයක් නොමැතිව ගමන අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි. නමුත් හදිසියේ සිදු වූයේ මහා ඛේදවාචකයකි. පිළිමතලාව දුම්රිය ස්ථානයේ උදෑසන 11.45 ට කිසිදු දිනයක දී නොනවත්වන උඩරට මැණිකේ හදිසියේ නැවතිණි. ඒ අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන් ගත් මවක සහ පුංචි සිඟිති මල් කැකුළක් බිලි ගනිමිනි. පිළිමතලාව දුම්රිය ස්ථානයට සමීපව දුම්රිය මාර්ගය බොහෝ සෙයින් අනාරක්ෂිතය. මෙම ස්ථානයේ ගත වූ වසරක කාලය තුළ සිවු දෙනකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය සෙනසුරාදා දින (11දා ) දහවල් උපකාරක පන්තියට ගිය දියණිය ද රැගෙන පිළිමතලාව නගරයේ පැවැති පොළට පැමිණ නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද රැගෙන යළි නිවාස බලා යෑමට දුම්රිය මාර්ගය හරහා ගමන් ගත් අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇතැයි කඩුගන්නාව පොලීසිය පවසයි.මව හා දියණිය රේල් පාර හරහා මාරු වෙමින් සිටියදී අනතුරට ලක් වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඒ අසල ත්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන ත්‍රිරෝද රථ රියදුරන්ද මෙම ස්ථානය දැඩි අනාරක්ෂිත බව තහවුරු කරමින් පවසන්නේ තවත් මරණ සිදුවීමට පෙර මෙම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කළයුතු බවයි.
මෙම අනතුරෙන් මව එම ස්ථානයේදීම මෙලොවින් සමු ගත්තාය. ඇගේ අට හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා (16 දා) රාත්‍රී මිය ගියාය. දියණිය මියගිය පුවත නිවෙසට සැලවෙද්දී නිවෙසේ ඥාති සමූහයා එක්ව සිටියේ මවගේ හත්දොහේ බණ සඳහා ස්වාමීන් වහන්සේ ද වැඩමවා ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමිනි. කුඩා දියණිය ද ජීවිතයෙන් සමුගත් පුවත සැලවූ වහාම ඔවුහු ඒ සියලු කටයුතු අත්හිටවූහ.
මෙම අනතුරින් මැණික්දිවෙල කොටලිගොඩ පදිංචි රෝහිණී කුසුම් ප්‍රියන්ති නමැති හතළිස් පස් හැවිරිදි දෙදරු මවට ජීවිතය අහිමි විය. මියගිය නෙත්මි පබෝධා ඒකනායක දියණිය ඉගෙනුම ලැබුවේ මැණික්දිවෙල ප්‍රාථමක විදුහලේ හතර වැනි ශ්‍රේණියේය. අනතුරින් දැරියගේ හිසට දැඩි හානි සිදුව තිබිණ.
මෙදින පාසල් නිවාඩු දිනයක් වූයෙන් ඇය මව සමඟ පොළට යෑමට පමිණ තිබේ. පවුලේ පියා වසර ගණනාවක් විදේශගතව සිටීම නිසා දරු දෙදෙනාට විටෙක මවද තවත් විටෙක පියාද වන්නට සිදු වූයේ රෝහීණීටය. මේ අනතුර සැලවූ වහාම රෝහිණීගේ සැමියා ද මෙරටට පැමිණියේය.
රෝහිණීගේ පහළොස් හැවිරිදි වැඩිමහල් පුතු අසනීප තත්ත්වයකින් පෙළෙන අතර ඔහු මව එනතුරු තවමත් බලා සිටින්නේ මවගේ වියෝව හරිහැටි තේරුම් ගත නොහැකිවය. දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ ජීවිතය පිළිබද රෝහිණි කලකිරීමෙන් සිටි බවට ප්‍රදේශවාසීන්කරන ප්‍රකාශ හමුවේ ඇය ජීවිතයෙන් පලා යෑමට උත්සහ කළාද යන සැකය මතුවන නමුත් තම පුතු මෙලොව තනිකර දමා ඇය එම ගමන දියණිය සමඟ යාවි යැයි සිතිය නොහැකිය.
පිළිමතලාව නගරය ඔස්සේ පොත්තපිටිය දෙසට යනවිට හමුවන දුම්රිය හරස් මාර්ගයේ දිවා කල ඇත්තේ දැඩි කලබලයකි. රථවාහන මෙන්ම දහස් ගණනක මඟී පිරිසක් දිනකට මේ දුම්රිය හරස් මඟ පසුකරති. ඒ අතර දුම්රිය හරස් මඟ හා පිළිමතලාව දුම්රිය ස්ථානය අතර පවත්නා හිස් ඉඩකඩ කෙටි මඟක් ලෙස දුම්රිය මාර්ගය හරහා යෑමට ජනතාව භාවිත කරති. එය දැඩි අනාරක්ෂිත ගමනක් වන අතර එලෙස ගිය කිහිප දෙනෙක්ම පසුගිය කාලයේ දී දුම්රියට බිලි වූහ.
රෝහීණීගේ මරණයෙන් මෙහි ඇති අවදානම මැකී නොයන අතර දුම්රිය මාර්ගයේ ඊළඟ මරණය සිදු නොවීමට වග බලා ගැනීම දුම්රිය බලධාරීන්ගේ වගකීමය. පිළිමතලාව නගරයේ ප්‍රධාන පාසල් දෙකක දරුවන්ද පාර මාරු වීම සදහා යොදා ගනු ලබන්නේ මෙම මඟයි. සෑම සෙනසුරාදා දිනයකම දුම්රිය මඟ ආසන්නයේ සති පොළ පැවැත්වීම නිසා නගරය එදිනට බෙහෙවින් කාර්යබහුලය. එදිනට බොහෝ මිනිසුන් දුම්රිය මඟ සැරිසරන්නේ කිසිදු අවධානයකින් තොරව බවට සාක්ෂි එම ස්ථානයට ගියවිට දැකගත හැකිය.
සෙනසුරාදා පොළ පවත්වන අවස්ථාවේදී පවතින අධික ඝෝෂාව දුම්රියට තවත් බිල්ලක් ගැනීම සඳහා අවස්ථාවක් ලැබීමක්ය යන හැඟීම ඇති වන්නේ නළා හඬ නොතකමින් දුම්රිය පෙනි පෙනී ඒ මඟ හරහා යන ජනතාව දකින විටය. දුම්රිය මාර්ගයට බොහෝ සමීපව පොළ පැවැත්වෙන අතර එහි වෙළෙදුන්ගේ කඩ ආවරණය කර ඉදිකෙරෙන කූඩාරම්වල රැහැන් පට බැඳ ඇත්තේ සිල්පර කොටවලටය. පොළ හා දුම්රිය මාර්ගය අතර පවතින ආසන්න බව එමඟින් හොඳටම පැහැදිලි වන්නේය.
දුම්රිය ස්ථානයේ නිලධාරියකු මෙහි ඇති අනතුරුදායක තත්ත්වය හෙළිකළේ මෙසේය.
“දුම්රිය ස්ථානයට යාබදව සාප්පු පේළියක් තියෙනවා. ඒ සාප්පුවලට යන්න දුම්රිය හරස් මාර්ගය අසලින් කුඩා පාරක් තියෙනවා. එතැන දුම්රිය මාර්ගයට කිට්ටුවෙන් වාහන ගාල් කරනවා. දුම්රිය එනකොට සමහර වෙලාවට මේ වාහන දුම්රිය මාර්ගයට ගෑවෙන්න නතර කරලා රියදුරන් වාහනෙන් බැහැලා ගිහිල්ලා. ඒ නිසා දුම්රියට සිග්නල් එක දෙන්න බැහැ. කෝච්චිය සිග්නල් කණුවේ නවත්වලා වාහනේ අයිතිකරුවන් සොයා ගෙන ගිහිල්ල්ලා වාහනේ ඉවත් කර ගන්න කියලා කියන්න සිද්ධ වෙනවා. පාසල් ඇරෙන වෙලාවට මෙම ස්ථානයේ දුම්රිය දෙකක් මාරු වෙනවා.
දරුවන් වැඩි ප්‍රමාණයක් දුම්රිය හරස් මාර්ගයත් දුම්රිය ස්ථානයත් අතර ඇති අනාරක්ෂිත ස්ථානයෙන් තමයි පාර මාරු වෙන්නේ. සමහර වෙලාවට සිග්නල් කණුව ළග දුම්රිය නවත්වාලා පාසල් දරුවන් එතැනින් ඉවත් කිරීමට සිදුවෙනවා. සමහර වෙලාවට දුම්රිය දෙකක් මාරු වෙනවා. සමහර දුම්රියවල පෙට්ටි ගොඩක් තියෙනවා. එක දුම්රියක පෙට්ටිවල දිගට අනෙක් දුම්රිය එහා ලයින් එකේ එනවා පේන්නේ නැහැ. එතකොටත් මිනිස්සු ගොඩක් මාරු වෙනවා. සමහර වෙලාවට යන්න එපා කෝච්චියක් එනවා කියලා කෑගහන්න වෙනවා.”
පිළිමතලාව දුම්රිය ස්ථානය අසල අනතුරුදායක තත්ත්වය පිළිබඳ බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුම්වත් කර ඇතත් ඊට මෙතෙක් නිසි පිළියම් යොදා නොමැත. දුම්රිය ස්ථානය හා දුම්රිය හරස් මාර්ගය අතර කොටසට වැටක් යෝජනා වී තිබුණද තවමත් එය යෝජනාවකට පමණක් සීමාවී තිබේ. දුම්රිය මාර්ගයේ ගමන් ගැනීම වරදකි.එසේ වුවත් එය පොතට පමණක් සීමා වූ නීතියක් බවට පත්ව තිබේ.
මෙම ස්ථානයේ ඇති අවදානම් තත්ත්වය පිළිබඳ රෝහීණීගේ මරණයත් සමඟ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති යටිනුවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී යළිත් වරක් සාකච්ඡාවී තිබේ. එහිදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා සිළුමිණට මෙසේ අදහස් දැක්වීය.
“දුම්රිය මාර්ගය අසල වෙළෙදාම් කිරිම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි. තවත් ජීවිත හානි වෙන්න කලින් මේ තත්ත්වය වෙනස් කරන්න අපි ක්‍රියා කරන්න ඕනෑ. ඒ සම්බන්ධව බලධාරීන් සියලු දෙනා දැනුමිවත් කර තිබෙනවා. කඩිනමින් මෙම ස්ථානයේ වැට ගැසිය යුතුයි. ඒ වගේම රේල් ගේට්ටුව ඇති ස්ථානය හැර සෙසු ස්ථානවලින් රේල් පාර හරහා යෑම තහනම් කරන්න ඕනෑ.
පොළ පවත්වන කොන්ත්‍රාත්කරුවන්ට මාර්ගයෙන් පහළ පොළ පවත්වාගෙන යන්න අවස්ථාව දීලා දුම්රිය මාර්ගය හා පාරේ වෙළෙදාම් කිරීම වහාම තහනම් කරන්න ඕනෑ.”
යකඩ යකාට හිතක් පපුවක් නැත. හිතක් පපුවක් නැතත් යකඩ යකා හිතුමතේ මිනිස් ජීවිත බිලි ගන්නේ නැත. පිළිමතලාවේදී යකඩ යකා තවත් බිල්ලක් ගැනීමට පෙර බලධාරීන් හිතක් පපුවක් ඇති මිනිසුන් ලෙස කටයුතු කළ යුතුය.
ලක්මිණි ගාල්ලගේ