![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/18/disab.jpg?itok=Udh4gGJ1)
තිස් වසරක යුද්ධය නිමා වූයේ අපේ රටේ රණවිරුවන් විසි පන් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමිනි. තවත් එවැනිම සංඛ්‍යාවක් ආබාධිතයන් බවට පත් වූහ. මේ ආබාධිතයන් අතුරින්ද පූර්ණ ආබාධිත හා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවෝ වෙති. මේ සියලු දෙනාම රට රැක ගැනීමට යුද පෙරමුණට ගිය තරුණ පිරිස්ය.
ඔවුන් ආබාධිත තත්ත්වයට පත් වූයේ අප වෙනුවෙනි; රට වෙනුවෙනි; රටේ අනාගතය වෙනුවෙනි.
රට දැය රැක ගැනීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා යුද වැදුණු මේ පිරිස් අද ආබාධිත තත්ත්වයට පත්ව තම යොවුන් දිවිය පවා අහිමිව දිවි ගෙවති. ඔවුන්ගෙන් ඇතැමෙක් යහන මතටම සීමා වූවෝ වෙති. කපා හෙළූ ගසක් මෙන් දිවි ගෙවීමට ඔවුන්ට සිදුව ඇත. එසේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූවන්ට දිවි ඇති තෙක් හමුදා සහන සේවා සැලසේ. රාගම රණවිරු සෙවණ, අභිමංසල වැනි යුද හමුදා සහන සේවා මධ්‍යස්ථාන හරහා මේ පූර්ණ ආබාධිත පිරිස් රැක බලා ගනු ලබයි. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම වැටුප් හා දීමනා ද හිමි වේ.
එහෙත් ආරක්ෂක හමුදා නීති රීති පද්ධතිය අනුව වසර 12ක සේවා කාලයක් නිම කර නැති ආරක්ෂක සේවා සාමාජිකයන්ට සේවා විශ්‍රාමවැටුපකට හිමිකම්
එසේ නම් වසර 12කට අඩු සේවා කාලයකදී ආබාධිත තත්ත්වයන්ට පත් වූ ආරක්ෂක සේවා සාමාජිකයන් කුමක් කළ යුතුද?
ආබාධිත තත්ත්වයට පත් වූ වසර 12ට අඩු අයට වසර 12ක කාලයක් පිරෙන තුරු සිට විශ්‍රාම යෑමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි කිසිවකු බලෙන් විශ්‍රාම ගන්වා නැත. වසර 12ක සේවා කාලයකට පෙර විශ්‍රාම යන්නේ නම් ඔහු හෝ ඇය තමන්ට සේවා විශ්‍රාමවැටුපක් නොලැබෙන බවද හොඳාකාරවම දනී.
එවන් තත්ත්වයක් යටතේ වසර 12කට අඩු සේවා කාලයක් යටතේ විශ්‍රාම ගත් අය තමන්ට සේවා විශ්‍රාම වැටුපක් නොලැබෙන බව දැනදැනත් හමුදා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මේ කරුණු කෙසේ වුවත් රටේ නීතිය ගැන අවබෝධයක්ද අපට තිබිය යුතුය. රට දැය වෙනුවෙන් විශාල මෙහෙවරක් කර අවසානයේ අවාසනාවන්ත ලෙස කයිට්ස්හි අරියාලේදී බිම් බෝම්බයකට හසුව 1992 වසරේදී මිය ගිය ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාටද වන්දි ගෙවනු ලැබුවේ පවතින සාමාන්‍ය නීති රීති යටතේ බවද අප සිහි තබා ගත යුතු වේ. කෙසේ හෝ වසර 12කට අඩු කාලයක් ආබාධිතව සේවයෙන් ඉවත්ව ගිය හමුදා සාමාජිකයන්ට විශ්‍රාමවැටුප් දෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් විසින් පිහිටුවා ගන්නා ලද සංවිධානයක් මඟින් කොළඹදී උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේ මීට මාස කිහිපයකට පෙර සිටය.
කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට දින කිහිපයක් වරින් වර මේ උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.
පසුව මේ සම්බන්ධව රජයේ අවධානය යොමුව තිබියදී මේ පිරිස් යම් පිරිසකගේ උසිගැන්වීම මත ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන්නට යෑම නිසා ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය. අවසානය වූයේ අධිආරක්ෂික ස්ථාන ආරක්ෂා කර ගැනීම පිණිස මේ පිරිස් විසුරුවා හරින්නට සිදු වීමයි. ඒ සඳහා කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාරද එල්ල විය. අවසානයේ එක් සොල්දාදුවකුගේ ඇසකට දැඩි හානි සිදු විය.
වැරදි ආරක්ෂක උපදෙස් ලබා දුන්නේ කවුද යන්නත් මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. කෙසේ හෝ රට රැක ගත් සෙබළුන්ට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම ගැන බොහෝ පිරිස් හා සංවිධානවල විරෝධතා මතු විය.
කරුණු කෙසේ වුවත් මේ සෙබළුන් උසිගැන්වීම පිටුපස යම් රාජ්‍ය විරෝධි පිරිසක් සිටි බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.
කෙසේ හෝ වේවා එදා මේ පිරිසට රජය යම් පොරොන්දුවක් දුන්නේය. ඒ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙනි. රට රැක ගැනීමට දිවි පරදුවට තබා සටන් කළ මේ පිරිස් අමතක නොකර ඔවුන්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දුවක් ලැබිණි.
ඒ පොරොන්දුවට අනුව විශ්‍රාමවැටුප් හා පාරිතෝෂික සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කිරීමෙන් අනතුරුව මේ පිරිස් සඳහා සේවා විශ්‍රාමවැටුපක් ලබා දීමට කටයුතු කරන ලදි.
ඒ අනුව වසර 12කට අඩු කාලයකින් විශ්‍රාම ලැබූ ආබාධිත හමුදා සාමාජිකයන් සියලු දෙනාටම සේවා විශ්‍රාමවැටුපක් දීමට කටයුතු කරන ලදි. එය ලබා දී ඇත්තේ ඔවුන්ගේ කාලයට සරිලන පරිදි උසස්වීම් පවා ලැබෙන පරිදිය. උදාහරණයක් ලෙස: කෝප්‍රල් තනතුරේ සිට සාජන් මේජර් දක්වා තනතුරු උසස් කෙරෙන අතර ඒ අනුව සේවා විශ්‍රාමවැටුපද ඉහළ නැංවෙනු ඇත.
වයස අවුරුදු 55දී විශ්‍රාම යෑමේදී රජයේ සියලු සේවකයන්ට හිමි වන පරිදි මේ ආබාධිත රණවිරුවන්ටද වැටුපෙන් 85%ක විශ්‍රාමවැටුපක් හිමි වේ. එහෙත් මේ ආබාධිත රණවිරුවන්ට විශේෂ සුරැකුම් දීමනාවක් ලෙස තවත් 15%ක දීමනාවක් හිමි වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව බලන කල ඔවුන්ට 100%කම වැටුප සේවා විශ්‍රාමවැටුප ලෙස හිමි වේ.
ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි මේ ආබාධිත ඕනෑම අයකුට රුපියල් 60,000 සිට 80,000ක් දක්වා වැටුප් හිමි වන අතර, විශ්‍රාමවැටුප් පනත් සංශෝධනය අනුව ඔවුන්ට තවත් රු. 15,000ක් පමණ මුදලක් අමතරව හිමි වේ.
එසේ විශ්‍රාමවැටුප් හිමි වේ නම් මේ පිරිස් තවදුරටත් වර්ජන ගර්ජන කරන්නේ ඇයි?, යන ප්‍රශ්නාර්ථයක්ද ඉතිරිව ඇත.
දැන් මේ පිරිස් තවත් විවිධ ඉල්ලීම් කරා යොමු වීමද ඇත්තෙන්ම අනුමත කළ හැකිද යන්නද ගැටලු සහිතය.
මේ එක් පිරිසකගේ කතාවකි. මේ අතර විශ්‍රාම ලැබූ තවත් හමුදා සාමාජිකයන් පිරිසක් විසින් හිඟ වැටුප් අරගලයක් ක්‍රියාත්මක කර ඇති බවද අපට වාර්තා විය. අපි ඒ ගැනද කරුණු සොයා බැලුවෙමු. මේ පිරිසේ ඉල්ලීම වී ඇත්තේ 2014 ට පෙර විශ්‍රාම ගිය මේ පිරිස් හා සමකාලීන සාමාජිකයන්ගේ දැනට සේවයේ යෙදී සිටින පිරිස්වලට වැඩි කරන ලද වැටුප් ඉල්ලා සිටීමයි.
ඔවුහු ඒ හිඟ වැටුප් ඉල්ලා නොලැබුණු විට අධිකරණයේ පිහිට පැතූ බවද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එහෙත් අධිකරණයෙන් එම ඉල්ලීම සාධාරණ නොවන බවට තීන්දු වී ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි. දැන් ඔවුන් අධිකරණ තීන්දුවෙන් පසු යළිත් හිඟ වැටුප් ඉල්ලා කරන මේ අරගලය අධිකරණයට අපහාස කිරීමක් බවද අමාත්‍යාංශය පවසයි.
කාරණාකාරණ මෙසේය. රට රැක ගන්නට තම දිවි පරදුවට තබා කටයුතු කළ මේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අප රැක ගත යුතුය. එසේම රටේ පවත්නා නීතියටද අප ගරු කළ යුතුය. රුපියල් 80,000ක පමණ වැටුප් සහිත දීමනාවක් ලබා ගැනීම සැබැවින්ම වාසනාවන්තය. එය කිසි සේත්ම ඔවුන්ගේ අත හෝ පාදය හෝ අහිමි වීමට අප සමාන කරන්නක් නොවේ. එසේ වුවත් තම දිවිය අනුන්ට අත නොපා සරි කර ලන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබෙන බව අපට පෙනෙන්නට තිබේ.
රණවිරුවෝ යනු පාරවල් ගණනේ රස්තියාදු කළ යුතු හෝ කාගෙන් හෝ පහර කෑමට ලක් විය යුතු පිරිසක් නොවෙති. අප ඔවුන්ට සිරස නමා ආචාර කළ යුතුය. අප අද මේ රටේ නිදහසේ හුස්ම ගන්නේ ඔවුන් නිසා බව සිත්හි තබා ගත යුතුය. එසේම මේ පිරිස්ද රටේ නීතිය ගැනද අවබෝධයෙන් කටයුතු කළ යුතුය. කෙසේ හෝ හැකි උපරිම අයුරින් මේ රණවිරුවන්ට සැලකීම රජයේද වගකීම වන්නේය.
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ විශ්‍රාමවැටුප් පනත් සංශෝධනය යටතේ වසර 10ටත් අඩු කාලයක් සේවය කළ හමුදා සාමාජිකයන්ටත් විශ්‍රාමවැටුප් ලැබී ඇති බවයි. ඒ සඳහා රජයට අතිරේකව මිලියන 218ක් වැය වේ. දුබලතා විශ්‍රාමවැටුප් ක්‍රමවේදය යටතේ මේ හමුදා සාමාජිකයන්ට අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් සපයා දී තිබෙන බව පෙන්වා දුන්නත් යම් හෝ අඩුපාඩුවක් ඇත් නම් ඒ ගැනද සොයා බලා කටයුතු කළ යුතුය.
එමෙන්ම විශ්‍රාමවැටුප් පනත පවා මේ ආබාධිත හමුදා සාමාජිකයන් වෙනුවෙන් සංශෝධනය කරමින් ඔවුන්ට විශ්‍රාමවැටුප් දී ඇති බවද සිහි තබා ගත යුතුය. අප 'ෂයිලොක්ගේ' න්‍යායම අනුගමනය නොකළ යුතු වන්නේ එහෙයිනි.