
වැනසී යන ශාක රකිමින් ගහකොළෙන් විස්මිත නිමැවුම්
ඇතැමුන් ගහකොළ වවන්නේ විනෝදාංශයක් ලෙසය. තවකෙක් ගහකොළ වවන්නේ පරිසරයට ඇති ආදරය නිසාය. තවත් කෙනෙකු ගහකොළ වවන්නේ ආර්ථිකය සවිමත් කර ගැනීමටය. එකිනෙකාගේ අරමුණු එකිනෙකට වෙනස් වුව ද ඉහත කී හේතු කාරණා සියල්ල පෙරදැරි කරගෙන බොහෝ කාලයක් තිස්සේ අපේ රටට ආවේණික ගහකොළ වවන පරිසරහිතකාමියෙකු සොයා පසුගිය දිනෙක අපි දඹුල්ල ප්‍රදේශයට ගියෙමු.
දඹුල්ලේ සිට කණ්ඩලම හෝටලයට යන අතරමඟකදී අප නෙත ගැටුණේ එක යායට ගහ කොළ වැවී සෙවණ දෙන පරිසරයකි. දඹුල්ල ප්‍රදේශයට මේ දිනවල අධික පෑවිල්ලක් තිබුණද මෙතැන පරිසරයේ වූයේ දැඩි සිසිලකි. එම කටුක පරිසරයට ඔරොත්තු දෙමින් හැදී වැඩුණු විවිධ වර්ගයේ ශාක පිරුණු ඒ පරිසරය සැබැවින්ම නෙතට රසඳුනකි. එම ස්ථානයේ අප නම නොදන්නා ගස් විශාල ප්‍රමාණයකි. ගහකොළ පිස හමන සුළඟින් පරිසයේ ඇත්තේ සිසිල් බවකි. අප එහි ඔබ මොබ ඇවිද යද්දී පයට පෑගුණේ බිම වැටී තිබූ ජම්බු ගෙඩි දෙක තුනකි. ජම්බු ගසක් දැකීමේ ආසාවෙන් ඉහළ බැලුවද එහි වූයේ මාදං ගසකි. පුදුමයකි අතු ඉති පුරෝගෙන ගෙඩි හැදුණු ජම්බු ගස බද්ධ කර තිබුණේ මාදං ගසකටය.
එතැන එවැනි වූ තවත් ශාක වර්ග බොහෝය. ඒ සියල්ලේ නිර්මාණකරු ජී.ඩබ්ලිව්.පී ෆොන්සේකා ය.
ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ ඔහු එකල පැවැති උතුරු නැඟෙනහිර යුද්ධයෙන් බොහෝ බැට කෑ අයෙකි.
“මම සමූපකාර දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ සිටම පැළ වැව්වා. යුද්දෙ දරුණු වෙනකොට දෙපාර්තමේන්තුවේ වැඩකරපු සිංහල අපට මාරුවීම් දුන්නා. කාලයක් තිස්සේ හිටපු ගම ගේ දොර දාලා ඒම දුකක් වුණත් ජීවිත බේරාගන්න තිබු ආශාව නිසා අපි හැම දේම දාලා දරුවෝ දෙන්නා අරගෙන ආවා. ඇවිල්ලා මුලින් හිටියේ කන්තලේ කඳවුරක. පස්සේ අපට ඉඩම් අක්කරයයි මුදලින් රුපියල් ලක්ෂයකුයි ලැබුණා. මුලින්ම මඩුවක් ගහගෙන තමයි පදිංචියට ආවේ. ටික දවසක් ගියාට පස්සේ මම ආයෙත් පැළ වර්ග හදන්න පටන් ගත්තා . මම ගහකොළ වවන්න ආසයි. ”ෆොන්සේකා පවසන්නේය. ඔහු ගහකොළ වවන්නට කවදත් ආශා කළේය. මේ නිසාම ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි කාලයේ එහි පැවැති දසකෝටියක් රුක්රෝපණ ව්‍යාපෘති තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණේය. ඔහු දඹුල්ලට පැමිණ දැන් තිස් වසරකි. ගෙවී ගිය කාලය තුළ ඔහු වැවූ ගහකොළ බොහෝය. ඔහුගේ වන වගාවේ කුරුලු උයන් සඳහා ගස් වර්ග, සමනළ උයන් සඳහා ගස්වර්ග මෙන්ම දැව ලබා ගැනීම සඳහා ගස් වර්ග වෙන වෙනම රෝපණය කර ඇත්තේය. එමෙන්ම ඔසු උයන් සඳහා ශාක මෙන්ම පලතුරු වර්ග රැසක් ද වගාකර ඇත්තේය.
කැලෑ එළිපෙහෙළි වීමත් සමඟ ගමක කරඹ ගසක් හෝ දැකිය නොහැකි කාලයක ෆොන්සේකාගේ පැළ තවානේ කරඹ පමණක් නොව බලු දම්, මා දම්, ඇඹුල් පේර මෙන්ම තවත් පුංචි පුංචි ශාක වර්ග බොහෝමයක් ඇත්තේය.
“දැන් බොහෝ දෙනා ශාක වර්ග හඳුනන්නේ නැහැ. ඇතැම් විට ශාකවල නම් පවා අසා නැතිව ඇති. සාමාන්‍යයෙන් ගෙවත්තකට හෝ වෙනත් වගාවන් තිබෙන තැන් වලට කුරුල්ලෝ ගෙන්වා ගැනීමට නම් කුරුල්ලන් ප්‍රිය කරන බට කිරිල්ල, කටුපිළ, බොල් පනා, කොබ්බෑ කොළ, බෝමී, බක්මී, නුග ඇහැටු, මසන් ,වල් සපු ආදි ශාක සිටුවිය යුතුයි. මේ කියූ හැම ගහක්ම මා ළඟ ඕනෑ තරම් වවා තිබෙනවා. සස්සඳ, සිහිනිද්ද, රණවරා, කුකුරුමහන්, කපුකිනිස්ස, තුඹ රවිල, මුස්සැන්ද, වෙලන්ගිරිය, ඇත්තෝර වැනි සමනලුන් අද්දවන ශාක වර්ග දක්වන්නට පුළුවන්. බොහෝ විශ්ව විද්‍යාල සිසුන් මෙහි එනවා ශාක වර්ග ගැන දැන ගැනීමට . මම ඉතාම කැමැත්තෙන් තමයි ඔවුන්ට මේ සම්බන්ධව කියලා දෙන්නේ. මම නොදන්න දේවල් පිළිබඳව දැන ගන්නේ පැළෑටි විශේෂඥ පියල් මාරසිංහ මහත්මයාගෙන්. කාලයක් තිස්සේ ශාක අතරේ ගැවසීමෙන් ලද පළපුරුද්දෙන් මං ශාකවල වෙනස්කම් හොඳින් හඳුනනවා”.
මේ පළපුරුද්දෙන් ඔහු තම වගාවේ විස්මිත නිර්මාණ කිහිපයක්ම කර ඇත්තේය. එකක් නම් ඔහුගේ නිවෙස ඉදිරියේ ඇති සැපතිල්ලා ගසයි. අප එහි යන දින එහි සෑම අත්තකම පාහේ සැපතිල්ලා ගෙඩි සෑදී තිබිණ. නමුත් එය සම්පුර්ණයෙන්ම සැපතිල්ලා ගසක් නොවීම එහි තිබූ පුදුමයයි.
“මේ සැපතිල්ලා අත්ත බද්ධ කරලා තියෙන්නේ මී ගසකට. මී කියන්නේ සැපතිල්ලා කුලයටම අයත් ගසක්. එක වර්ගයේ ගස් එකට බද්ධ කරන්නට පුළුවන්. ඔබ මුලින් දුටුව ජම්බු ගහ බද්ධ කරලා තියෙන්නේ මාදං ගහකට. මාදං පිනි ජම්බු කුලයට අයත් ගසක්. මම මාදං ගහට ජම්බු වර්ග තුනක් බද්ධ කර තිබෙනවා”.
ඔහු පවසන්නේ තමන් කළ නිර්මාණ ගැනය. ගහට කොළට ආදරය කරන මේ මිනිසා තම ජීවිත කාලයම කැප කර ඇත්තේ ගහ කොළටය.
“මේ පළාතේ වතුර හිඟයි .එහෙම වුණාම ගහකොළ වවන්න අමාරුයි. ඒකට නළ ළිඳක් සකස්කරගෙන තිබෙනවා. ගහකොළවලට වතුර වගේම පොහොරත් අවශ්‍යයි. මම මේ වත්තේම කොම්ෆෝස්ට් නිපදවන්න තැනක් හදලා තියෙනවා. මට ඉඩම් නැහැ. ඉඩම් ගන්න සල්ලිත් නැහැ. මම කියන්නේ කාගේ හරි පාළුවට යන ඉඩම් තියෙනවා නම් මට දෙන්න මම වගා කරන්නම්. මේ වැඩ පිළීවෙළ රට පුරා දියත් කිරීමට මට ඉඩමක් ලබාදෙන්න කියලා මං රජයෙන් ඉල්ලීමක් කරනවා.” ඔහු කරන්නේ කාරුණික ඉල්ලීමකි.
රට පුරා ඇති කැලෑ එළි පෙහෙළි වන යුගයක දුර්ලබ ශාක වර්ග වැවීමට මොහු ගන්නා උත්සාහය අගනේය. පරිසරයෙන් වඳ වෙමින් යන බොහෝ ගස් වර්ග ඔහුගේ තවානේ ඇත්තේය. ඔහු ඒවා සොයා ගන්නේ අවට කැලෑවලිනි.
ඔහුගේ බිරියත් තවමත් රැකියාවක් නොකරන දියණියත් ඔහුගේ මේ සද්කාර්යය සඳහා නිබඳව අනුග්‍රහය දක්වති. ඒ හැරුණු විට නිතර දෙවේලේ ඔහු සමඟ මේ කාර්යයයේ නියැළෙන තවත් කෙනෙක් වෙයි. ඔහු ආනන්ද ය.
ෆොන්සේකා දවස ආරම්භ කරන්නේ පැළවලට සාත්තු සප්පායම් කිරීමෙනි. ඔහු දවස නිමා කරන්නේද ගෙවෙන හැම මොහොතක්ම ගත කරන්නේ ද ගහකොළ අතරේය. ඔහුගේ මුළු ජීවිතයම ගත වනුයේ ගහකොළ ඇසූරේය.