
සුළඟ
ලොව හැම දෙයම බිහිවන්නට පැවතෙන්ට
කිසියම් දිනෙක ඒ හැම දේ වනසන්ට
යහපත අයහපත එක ලෙස ගෙන එන්ට
හැකි වන මහා බලයක් ඇත සුළඟකට
සුවඳයි ගඳයි එක ලෙස පිළිගන්නෙ තුටින්
සිසිලයි උණුසුමයි දෙකටම මිතුරු ලෙසින්
රැයයි දවාලයි වෙනසක් නැති විලසින්
සුළඟයි දසත හමනා අඩු වැඩි වේගෙන්
මලක සුවඳ ගෙන එන්නේ මඳ සුළඟින්
වෙරළ හැඩ කරයි රළ නැඟ එන සුළඟින්
අහස හැඩ කරයි පියඹන කුරුලන් සුළඟින්
මිහිරි හඬ කනට ගෙන එන්නේ සුළඟින්
ජයසේන කොඩිතුවක්කු
අසම්මත ගීතයක්
‘මලක්’ නෙළන්නට ඉඩක් නෑ මට
‘අතක්’ පතන්නට හිතක් නෑ මට
‘වැලක්’ එතුණම ‘ගහේ’ බඳ වට
පලක් නෑ දැන් කතා සම්මත...!
රැඳුණු හද කොන එ’මල රන්වන්
නිතොර හිනැහෙයි නෙත’ග බැල්මෙන්
පෙමින් කැඳවයි සුමුදු සුවඳින්
කෙසේ යන්නෙම්? ‘රැහැන්’ බැඳි මම්....!
සිහින් රිදුමක් විඳින්න ද මම
දැහැන් ගත වී සිටින්න ද මම
කියන් රන්මල ඔබේ අබිමන
රැහැන් පුපුරා දමන්න ද මම...!
ගොංගිතොට සරත්
සම්බුදු සසුනෙ
සම්බුදු සසුනෙ අරටුව මහමෙව්නා වේ
දළුලා වැඩී ලකටම සිරි ගෙන ආවේ
තුන්පිටකයෙහි, කහ සිවුරෙහි ගුණ රාවේ
බොදු හැදියාව, රුව ගුණ, ලෝකෙට පෑවේ
දෙස, බස වඩා නංවා ලක් තොටිල්ලේ
අසැබි මඟින් ගලවා සිත් ඇසිල්ලේ
පතුරා සිල් සුවඳ ලකඹර කැදැල්ලේ
අමාරසය පෙරුවයි දම් ගඟුලැල්ලේ
සිල්ප කලා ඇස් ඇර හෙළදිව මහරූ
ඉදිවිය වෙහෙර දාගැබ් තැන තැන මැඳුරු
ලොවුතුරු රසයෙ සතපා හදවත් සොඳුරූ
කළ මෙහෙවරින් පහවිය තිත් ගන අඳුරූ
සෝමතුංග නානායක්කාර
ආදරණීය රෝස මල
රෝස මල සුසිනිඳුය පියකරුය සුවඳ දෙන
දර්ශනය දැබෑ අරුතක් ලොවට කියා දෙන
ආදරය සුන්දරය ගත පුරා කිතිකැවෙන
නොපිපි රතු රෝස මල පොරොන්දුව පරදවන
රංගනය සුවබරය කුමරියගෙ දෑත ගත්
මියුරු සංගීතයේ නාදයට බැඳුණු සිත්
පිරුණු හසරැල් සමඟ සුමුදු සුසුමකින් තෙත්
සිහින ලොව සැරිසරයි ආදරෙන් වෙලා මත්
කඳුළ - ඉකිබිඳුම හා වැලපීම එක්වෙලා
මුහුණ දෝතෙහි රුව තණනිල්ලෙ සැතපිලා
දිය මිදෙන සීතලේ රතු රෝස මල් බලා
පොරොන්දුව ඉටුකරන අයුරු සිහිපත් කළා
සැබෑ පෙම්වතෙක් යැයි කිරිල්ලිය සිතාගත්
රාත්‍රිය මුළුල්ලේ ගීත නාදය රැගත්
හදවතේ රතු ලෙයින් පණ පෙවුණු ප්‍රභාමත්
නොකල්හීි පුබුදු විය රෝස කැකුළිය සුරත්
රතු රෝස මල රැගෙන ගියා ඔහු සාදයට
නොගැළපෙන බව කීය මගෙ ඇඳුම නිල්පාට
තැළීී පොඩිවී ගියා රෝස මල රියසකට
ආදරය - දර්ශනය ගැටලුවක් විය සිතට
රතු රෝස පඳුර යට කිරිලියෙග නිසල වත
වෙනත් කුමරකු සමඟ පෙම්වතිය රඟනු ඇත
බිහිසුණු ද? පියකරුද ආදරය පිරුණු හිත
නීති සිසුවා ගියා නැවත පෙරළන්න පොත
කුසුමා වර්ණසූරිය
ඔබ නැතිව ඔබ එක්ක...
ඔබ නැතිව මා පැමිණ
වැව රවුම වටේටම අනියත් වටේටම
දෙපා රිදෙනා තුරුම හුෙදකලාවේ ඇවිද
සොයන්නේ කිමැයි බලන්නේ කිමැයි
දන්නා හඳුනනා මිනිස්සු
මවිතව ද දුකින් ද හෙළති බැලුම්
ඔබ එදා ආස කළ
මල් පිපුණු
වැව අයිනෙ රූස්ස ගස් පවා
කඳුළු පිනි තැවරුණු මල්පියලි බිම හෙළා
අද හඬනවා
මා එක්ක ඔබ නොදැක
ඔබ එදා ආස කළ
වැව් දියෙහි පෙම් කෙළිය
සුසුදුවන් හංස ධේනුව ද
අද තනිව විරහවෙන් වැලපෙමින්
සලිත දිය කඳ මත
නිසසලව වැතිර ගෙන
ඔබ නොදැක දුක වැඩිව
මේ සියලු දෙනා මැද
සොම්නසින් යුතුව ඇවිද යමි මම
ඔවුන් සිතනා පරිදි
නැත මා මෙලොව තනිව නැත
සැමදා මා සිතේ
ඔබ රැඳී සිටිනා නිසාවෙන්
මරණය තුරාවට දිවි ගෙවමි
ඔබ නැතිව ඔබ එක්ක
ගංගා වරුෂවිතාන
ඉවසන්න බැරිම තැන
මතකයි තවම මට
ඔබ ගිය ගමන ගැන
වැලි බිමේ පා ඔබා
ගඟ දෙස බලාගෙන
ඒ සොඳුරු උදෑසන
තණ පතක හිස පැලඳි
පිනි මුතු කිරුළ
හිරු රැස් ඇවිත්
සිප ගත් සැණම
ගිලිහී ගිය අයුර
නුඹ දුටුව විත්තියක්
මතකයි තවම මට
ඒත් අමතක කරන්නෙමි
පසු දිනක ගංගාව
හිතුවක්කාර වී
ඉදිමී අහංකාරෙන්
නුඹ දෙස බැලූ හැටි
ජයසේකර මලවිආරච්චි
වස්සාන ඍතුව
බිම තෙමන වැහි අඳුර
අහස් කුස දෝරෙ ගිය
මල් පිපෙන වසන්තය
කැන්දාන ආ සුළඟ
මඳින් මඳ එයි පුසුඹ
ගෙයි වහල මත පතිත
වැහි බින්දු සතර අත
නැඟෙයි එක විටෙක හඬ
ගෙරවිල්ල සමඟ අකුණු සැර
මට මතක් වෙයි ඔබව
කවුළුවක් වන සඳ
ඔබට මතක ද මාව
වැසි දියේ පාකෙරූ
කඩදාසි ඔරුවකි මම...
මනෝජි අනුෂිකා
නුඹ ම පතා...
අමයුරු පෙමක නුඹ පිළිබඳ හැඟුම් ගොතා
නොමසුරු සිතින් පදවැල් තනු එකට ඔතා
නිම කළ ගීය ගෙන සවනට ඔබම පතා
කමකට නැතැයි පිළිකෙව් කොට කියපු කතා!
රස අරුතැති වදන් පද අතරෙහි අමුණා
ලෙස සෙනෙහස් විලේ පෙම් නෙළුමක රුවිනා
මිස ආදරය අප ගැන අන් දෙය නොවනා
බස ඔබ පෑව කවියට සිත ඉකි බිඳුණා
සිත නිරතුරුම ඔබ ගැනමයි සිති විල්ලේ
නැත සියුමැලි වදන් පැහැමයි ගිනි දල්ලේ
ඇත ඔබ නිසා ඇස කඳුළැලි දිය ඇල්ලේ
හිතවත කිමැයි සංකා ලනු හස රැල්ලේ
සුසුම් හෙළමි පෙම්වත සිහි කරමි ඔබ ගැන
ඇනුම් - බැනුම් තවෙකෙකු වෙනුවෙනි පවස මින
විසුම් එපා වී මෙලෝ විරසක නුඹෙ ගුණ
ගයම් අචල නමින් පෙමට දිවිය සම වන
දෙමි සතුටම ගීතය වී මා හද වතේ
වෙමි අරුතැති කවියක් රසය ඔබට වෙතේ
බැමි සිඳ කඳුළැල් වගුරමි තුට නුඹ සිතේ
ලමි සුසුමන් ප්‍රියේ පෙමින් ඇත පණ ගතේ
සරත් කුමාර වික්‍රමගේ
මඩපාට කවියක්...!
නුඹ සෙවූ මා පැතූ ජීවිතය
ඉවුරු සිඳ බිඳ ගලා ගිය අරුම...
මඩ පාට, සිහිනය කී සැම තැනම
වැස්ස...! සුළු මොහොතකට යළි එන්න
මඩ පාට මඩ සළුව ගලවන්න
හරිත පැහැ නව සළුව හැඳ ගන්න
කොළ හැලී දළු කිනිති පූදින්න
වැස්ස...! සුළු මොහොතකට යළි එන්න
මඩ පාට ජීවිතය හැඩ වෙන්න
මල් පිපී හද මඬල ඇහැරන්න
අකල් වැස්සක් ලෙසින්...? කමක් නෑ...!
වැස්ස...! සුළු මොහොතකට යළි එන්න
යසස් සමන්ත වීරසිංහ
කවියාගේ බිරිය
මා හිමි කිවිඳුනි
ඔබ පද බඳිනා
එක කවියකවත්
අහුමුල්ලක හෝ
නොමැති කෙනෙක්
මේ ලොව
ජීවත් වෙයි
මා මිස ඒ වෙන
කවුරුද කියලා
ඔබෙන් ම නිකමට
මෙත් විමසනු මැන
නේක උවම් රුපක
රස පදරුත
බෝම සියුම් ලෙස
ගළපන කවි ඇස
කිසිවක් නොමැතිව
හිස් වූ දවසක
මම එක කවියක්
පබඳිමි ඔබ ගැන
කේ. පී. ඩබ්ලිව්. ප්‍රියන්ත ජයලත්
කෙම්බිම
සාගින්න
කර තබාගෙන ඇවිත්
ඉඩෝරය
තප්පුලයි දොරකඩ
ගෙතුළ
නැත
අඩු වැඩිය
එදුක
දැනිලාවත් ද?
පැහි පැහී
යන්තමට හිනාවෙයි
මිදුල කෙළවර ගහේ
කොස් ගෙඩිය
දඹේගොඩ ජිනදාස
නිදි කුම්බා මල
කටු අකුලක පිපුණු
නිදි කුම්බා මලකි මම
කටු අකුලකින් වැසි
කිසිවෙකුට ළංවිය නොහැකි
ඈත සිට බලමි
මුදු සුළඟ සුව විඳිමි
කුරුල්ලෙකුවත් දක්නට නැති
තැනක කොටු වී හිඳිමි
ගහක් කොළයක් නොදැක
මලෙක සිත්තම නොදැන
සිත බෝ දුක් බරයි
සිතුවිලි ගොලු වී වගෙයි
අහසෙ තරු ගණන් කර
ඉලක්කම් අමතකය
තනිකම දමා මඟ
එතෙර විය යුතු ය; මම
කමලා ධර්මලතා ජයසූරිය
ප්‍රියාවිය
මඟුල් පින්තුරෙ හිඳගෙන
බලයි ඔබ වරින්වර මදෙස
තිස් වසරකට පෙර
දුටු සිනහවෙන්ම
කඳුළක් නැඟෙයි ඉබේටම
නැතියෙන් ඔබ මිහිපිට...
නමුදු...,
එදවස ඔබට හිමි තැන
අදත් එලෙසය මහද
හෙට ද එතැනම හිමිය
මඟුල් පින්තුරයේ මෙන්
ඔබ හිඳි මා අත ගෙන
යන එන හැම තැන
නිහාල් ගුණවර්ධන
තවමත් නුඹට මම...
සියක් පැතුමන් පැතූ දවත
මියගිය විට තිඹිරිගෙය තුළම
කෙසේ සැනසෙමුදැයි නොදත්තෙමි
නුඹ අතේ
රන් මුදුව පලඳන්න
මා පෙරු පිරුම්
දන්නේ මා පමණමයි
ඔබේ හද
වෙනතක බැඳේ යැයි
නොසිතුවෙමි
නුඹ අහිමි වූ දින තෙක්ම
සොඳුරු අතීතය
ගෙනෙයි සුසුමක්
වෙනතක බැඳුණ ද
අහිතක් නොසිතමි
පෙම් කරන නිසා
තවමත් නුඹට මා
සුමිත් ප්‍රේමලාල් ප්‍රියදර්ශන
සොබා දහම
පෑයූ පුන්සඳ රන්වන්
අඩ සඳක් වෙලා...
නීල වළාකුළු පෙළ
අඳුරට බොඳ වීලා...
පෑයූ රන් තරුමල්
තුරු මුදුණත පිපි
එක එක නිමිලා
මුළු අහස් තලේ
සීතල පින්නේ
නැළැවුණු මල් කැකුළු
එක, එක පරවී
නටුවෙන් ගිලිහී
බිම වැටුණා
අසාර වූ ජීවිත ගමනේ
සොඳුරු යොවුන් විය
යුගයෙන් යුගයට
හනිකට නිමා වෙලා...
වසන්තයක් බඳු
පාසල් කාලය...
සොඳුරු යොවුන් වියේ
නොමළ මතකයන්
යළිත් නොඑන්නට
සදහට සැඟව ගිහින්
ලබා උපන් ලෙස
ජීවිත ඉරණම විසඳීලා...
හේමන්ති ගාර්දියවසම්
(ප්‍රේමනීය චතුරස්‍රය කාව්‍ය සංග්රහයෙනි)
මහල්ලාගේ උපන් දිනය
ඉටිපන්දම් දිලෙයි
සැරසූ කේක් ගෙඩියෙහි
රළු හඬින් නැග එයි
උපන් දින සුබ පැතුම් ගීතය
දුවා දරුවන් මට තිළිණ පිළිගන්වා
ප්‍රීතියෙන් සමරති
මගේ ‘උපන් දිනය’...
දියවී හැලෙන ඉටි
මතකයන් මෙන් වැගිරෙයි
කුඩා කල, මා පිය
සෙනෙහෙ මැද සැමරූ හැටි
තවත් වසරක් ගතවී
ලොකු මහත් වනතුරු
බලා සිටි හැටි
අසුරු සැෙණකින් නැවතත්
වියපත් ගතෙහි සිරවෙමි
විදුලි එලි මැද දිග ඇදුණු සෙවණැලි
සිතුවිලි කොනිත්තයි
මට උපන් දින සාදය
අමිහිරි නිමිති කැඳවන
කුරිරු උත්සවයකි
එනමුදු සිනහවක්
මුළු තුරෙහි අලවා
ලෝකයට පෙන්වමි!
ප්‍රවාල පෙරේරා
අහිමි සොඳුර
වලාකුළු සුදු පිරුවටය ඇතිරූ
ආකාස සිරි යහනෙ
සත් මහ සයුර පිරෙන තරමට
කඳුළු සලන සඳ ලියේ
මේ මංගල රාත්‍රිය ගෙවෙන තුරු
නුඹ හඬන්නට ඇවැසි නැහැ
මුදාලන්නම් අතැඟිලි බැඳි
රන්මුදු රැහැන්
යන්න නික්මී ඔහු වෙත
තාමත් නොඉඳුල් ය නුඹ
ජෝජ් රොබ්සන් ද සිල්වා