කැලේට යන්න එපා පාරෙම යන්න | Page 2 | සිළුමිණ

කැලේට යන්න එපා පාරෙම යන්න

සුඩානයට පය තැබූ ඩිලන්ට මීළඟට අවශ්‍ය වූයේ දකුණු සුඩානයට යෑමටය. එ් 2010 අවසන් භාගයයි. ඔහු මේ ලෝක සංචාරය ආරම්භ කළ සමය සුඩානය, උතුර සහ දකුණ යනුවෙන් දෙකට බෙදී මහා යුද්ධයක් පැවැති කාලයකි. 2011 වර්ෂයේදී සුඩානයෙන් කොටසක් දකුණු සුඩානය යනුවෙන් වෙනම රාජ්‍යයක් ලෙස බිහි වුණේ එම යුද්ධයන්හි ප්‍රතිඵලයක් ලෙසිනි.

මහත් වෙහෙසක් දරා දකුණු සුඩානයට වීසා ලබාගත් ඔහු මොහොතක් හෝ නොසිතා දකුණු සුඩානය දෙසට හැ‍රුණේය. උතුරු සුඩානයේ කාන්තාර පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් දකුණු සුඩානයේ දක්නට ලැබේ. ශුෂ්ක කලාපීය කැලෑබද පෙදෙස්වලින් ගහන දකුණු සුඩානය උතුරට සාපේක්ෂව ඉතාම නොදියුණු පළාතකි.

“මං උතුරු සුඩානයේ සෑම තැනකම ඇවිද්දා. ඊට පස්සෙ දකුණු සුඩානය පැත්තට යන්නත් ලොකු ආසාවක් ආවා. ඒ කාලෙ උතුරයි දකුණයි අතර දරුණු සටන්. මං බොහොම මහන්සි වුණා වීසා ගන්නත්. දකුණු සුඩානය කියන්නෙ තනිකරම කැලෑ ප්‍රදේශයක්. ඒ රටේ කිලෝමීටර් 2000ක් විතර ගියා. එයින් කිලෝමීටර් 10ක්වත් තාර දාපු පාරවල ගියේ නෑ.

වළ ගොඩැලි පිරුණු එ් පාරවල සමහර තැන්වල තිබුණේ වළවල් නෙවේ පුංචි වැව් වගේ ඒවා. මං බෘෘස්වත් සමඟ කීප වරක්ම පෙරළී වැටුණා. කොච්චර වැටුණද කිව්වොත් පැයක් ඇතුළත දොළොස් සැරයක් සයිකලේ පෙරළුණා. කිලෝමීටර් 20ක් විතර දුර එක පාරක යන්න පැය හතරක් ගියා. හිතාගන්න පුළුවන්නේ රටේ තත්ත්වෙ.

මට හුඟ දෙනෙක් කිව්වා ඔය දකුණු සුඩානය පැත්තට යන්න එපා කියලත්. මං දකුණු සුඩානය හරහා ගිහින් මාස ගාණකට පසුවයි එය වෙනම රටක් ලෙස පිළිගත්තේ. ඒ රටේ ඒ දවස්වල හැම තැනම රහස් ඔත්තුකාරයෝ. සෙරෙප්පු කෑලි දාගෙන, කොට කලිසම් ගහගෙන තුවක්කු කෑලි එල්ලගෙන තමයි ඔවුන් ඉන්නෙ.

පිටින් කෙනෙක් ඇවිත් ඉන්නවා දැක්කම පුදුම විදිහට ප්‍රශ්න කරනවා. පාස්පෝට් ඉල්ලනවා. ප්‍රශ්න වැලයි. පොටෝ එකක් ගන්න තියා කැමරාවක් එළියට ගන්න එකත් හරිම අමාරු වැඩක්. මං මිනිස්සු කට්ටියකගේ පොටෝ එකක් අරන් තව පොඩ්ඩෙන් පොලිසි යන්නත් වෙනවා. ඔවුන් හිතන්නෙම පිටින් එන අය ඔත්තු බලන්න එන අය කියලමයි. එහෙම හිතන එකෙත් වරදක් නෑ.

මොකද ඒ තිබුණු තත්ත්වෙත් එක්ක වෙන රටවල අය යන්නෙම නෑනේ. ඒ වගේමයි දකුණු සුඩානේ හැමතැනම බිම්බෝම්බ. මට ඒ ර‍ටේදී හමුවුණා එංගලන්ත ජාතිකයෙක්.

ඔහු මානව හිමිකම් සංවිධානයකින් බිම්බෝම්බ ක්ලියර් කරන්න ගිය කෙනෙක්. ඔහු මට කියනවා, ‘ඩිලන් උඹට බැරි වෙලාවත් ශරීර කෘත්‍යයක් කරන්න ඕන වුණොත් කැලේටනම් යන්න එපා. පාරෙම දාපන්. මේකේ හැම තැනම බිම්බෝම්බ කියලා.’

එසේ දවස් හතර-පහක කාලයක් දකුණු සුඩානයේ ගත කළ ඩිලන් එක් දිනක් රැය පහන් කිරීමට කූඩාරම අටවා ගැනීමට යෑමේදී ත්‍රස්තවාදීන්ට හසුවිය.

“මං සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට ඔය ගමන යෑමේදී කූඩාරම අටවගත්තෙ මිනිස්සු ගැවසෙන්නෙ නැති මිනිස්සුන්ට පේන්නෙම නැති තැන්වල කැලෑවලමයි. මොකද සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒත් කකුල් දෙකේ සතුන්ගෙන් පරෙස්සම් වීම ටිකක් අමාරුයි.

ඉතින් දකුණු සුඩානෙදි ඔහොම කූඩාරම අටවගන්න තැනක් හෙව්වා. කිසිම තැනක් නෑ. මොකද මහ කැලෑවලට යන්න බෑ. බිම් බෝම්බයි ඔත්තුකාරයොයි හැම තැනම. මං එක ගෙදරකට ගිහින් ඒ ගෙදර මනුස්සයගෙන් ඇහැව්වා ‘ඔයාගේ වත්තෙ අයිනක මට අද රෑ ගතකරන්න මගේ කූඩාරම අටවගන්නද’ කියලා. අනේ ඒ මනුස්සයා මට අවසර දුන්නා.

ඒ මනුස්සයා මට දැනිච්ච විදිහට ඒ ගමේ ප්‍රධානියෙක් වගේ. ඒ වෙලාවෙ ටිකක් රෑත් වෙලා. මං කූඩාරම අටවමින් ඉන්නකොට එකපාරටම මිනිහෙක් ඇවිල්ලා මගෙන් ඇහැව්වා ‘උඹ කවුද’ කියලා. ඊට පස්සෙ ‘පාස්පොට් එක දීපන් බලන්න’ කිව්වා. මං පාස්පෝට් එකත් දුන්නා. තව නොයෙකුත් අනං-මනං ප්‍රශ්න දානවා. මුලින් එක මිනිහයි පේන්න හිටියේ.

මොහොතක් ගියේ නෑ... මෙන්න ටිකක් ඈතින් කොට කලිසම් ඇඳන් සෙරෙප්පු කෑලි දාගත්තු තුවක්කු අතේ තියාගෙන 15ක් විතර ඉන්නවා. මගේ ඇඟ නිකං හිරිවැටිලා වගේ. ගමේ ප්‍රධානියෙක් වුණ කූඩාරම අටවගන්න අවසර දුන් ඒ මනුස්සයටත් බෑ උන් පාලනය කරන්න. පස්සෙ උන් ටික හිමින් සැරේ ගියා යන්න.”

කිසිදු මනුස්සයකුට හෝ ගහට-කොළට, සතා-සීවුපාවෙකුටවත් කරදරයක්-හිංසනයක් නොකරන ඩිලන් ඉතාම අවිහිංසාවාදී මනුස්සයෙකි. එදින රාත්‍රිය කූඩාරමේ ගතකිරීම තිබෙන වටපිටාව අනුව අවදානමකි. එහෙත් ඩිලන්ට කළ හැකි දෙයක් නැත.

“මට තේරුණා එනපොට හොඳ නෑ කියලා. ඒත් මහ රාත්‍රියේ මං කොහේ කියලා යන්න ද? මොකද දන්න-කියන පළාතක්යැ. ඊටත් වන සතුන්ගෙන් ගහන, අඩියක් තියන්න බැරි බෝම්බ පිරුණු මහ කැලෑබද ප්‍රදේශ. දැන් ඉතින් මට කරන්න කිසිම දෙයක් නෑ.” ඩිලන් එසේ නොසන්සුන් සිතිවිලි දාමයක පැටළි සිටි මොහොතකි.

“ඊට පස්සෙ මට කූඩාරම අටවන්න දුන්න මනුස්සයා කළ වැඩේ දන්නව ද? එයා මට ඇවිල්ලා කියනවා, ‘ඕකුන් ගියාට ආයිත් එනවා. ඇවිල්ලා ඔයාට කරදර කරයි. එන්න ඔයා මාත් එක්ක යන්න’ කියලා.

පස්සෙ මිනිහා මාව එයාගේ ගෙදර එක්කගෙන ගියා. ගිහිල්ලා, එයාගෙ ගෙදර තිබුණා අපේ ගම්වල සමහර ගෙවල්වල වගේ ඉස්තෝප්පු කාමරයක්. ඒක දුන්නා මට එදා රෑ නිදාගන්න. ඒ මනුස්සයා ඒ වෙලාවේ එහෙම උපකාරයක් නොකරනම් එදා රෑ මට මොනව වෙයිද කියලා හිතාගන්න බෑ.

මොකද ඒ කොල්ලො-කුරුට්ටෝ හැම එකාගෙම අතේ තුවක්කු කෑලි. උන් එච්චර උගත්, බුද්ධිමත් අය නෙවෙයි. ඒකයි ප්‍රශ්නෙ. ඔන්න ඔය විදිහට තමයි මගේ ගමන ගියේ”

“මෙතෙක් මේ සංචාරයේදී විඳින්ට වූ සිදුවීම් දාමයෙන් ඔබට වැටහෙනවා නේද? මට මේ ගමනට කොහෙන් හෝ මහත් ආශිර්වාදයක් ලැබුණ බව.” ඩිලන් පවසයි.

දකුණු සුඩානයේ ත්‍රස්තයන්ගෙන් බේරී ආ ඩිලන් පසුව ඇතුළු වූයේ උගන්ඩාවටයි. ඩිලන් මේ ගමන් ගියේ අප මුලින් සඳහන් කළ පරිදි අතනින්-මෙතනට, අසවල් රටෙන්-අසවල් දේශයට ආදි ලෙස කිසිදු සැලැස්මක් නොමැතිව බව ඔහු පවසයි. ඊට කදිම සාක්ෂියක් උගන්ඩාවේදී සිදුවූ බව ඩිලන් පැවසීය.

“අප්‍රිකානු මහද්වීපයට පිවිසුණාට පස්සෙ මගේ පුංචි ආසාවක් තිබුණා මහද්වීපයේ පහළම රට වූ දකුණු අප්‍රිකාව දක්වාම ගමන් කිරීමට. ඒත් උගන්ඩාවට ගියාම එහේදී එක්තරා තැනකදී හංදියක් හමු වුණා. එතන එක පාරක් යනවා ටැන්සානියාවට. අනිත් පාර කෙන්යාවට.

මට ඉතින් කොහොමටත් අරමුණක් නෑනේ කොහාටද යන්නෙ කියලා. සාමාන්‍යයෙන් දූපත් රාජ්‍යයන් වගේ නෙවෙයි මහද්වීප තුළ පිහිටා තිබෙන රටවල සමහර හන්දිවලදී බෙදෙන මාර්ගවලින් එක් එක් අසල්වැසි රටවලට යන්න පුළුවන්.

උගන්ඩාවේදී මට හමුවුණා ඔය වගේ මංසන්ධියක්. එතැන පොඩි හන්දියක්. සෙනඟ ටිකකුත් හිටියා. මං ගිහින් ඒ අයගෙන් බෙදෙන පාරවල් ගැන විමසලා මගේ සංචාරය ගැන කිව්වා. පිරිසක් කිව්වා ටැන්සානියාවට යන්න කියලා. තව කට්ටියක් කියනවා කෙන්යාවට යන්න කියලා. දැන් මට ප්‍රහේලිකාවක් මේ මිනිස්සුන්ගෙන් කවුරු කියන දේද තෝරගන්නෙ කියලා.

පස්සෙ මං ඒ සියලු දෙනාම සැනසෙන වැඩක් කරන්න හිතුවා. මොකද මට මං ගැන හිතන්න අවශ්‍යතාවක් නෑ. මොකෝ මට මේ ගමනෙදි අරමුණක්-සැලැසුමක් නෑනේ. ඔය කොහොම ගියත් මට කමක් නෑ. මං කළේ මගේ ළඟ තිබුණ කාසියක් අරන් පැති දෙකට රටවල් දෙක නම් කරලා උඩ දාලා මීළඟට යන රට තීන්දු කළා. ඒ පිරිසට මගේ වැඩේට හිනා. සමහරුනම් හිතන්න ඇති මං මහ පිස්සෙක් කියලා. කාසිය උඩ දැම්මම වැටුණේ කෙන්යාවට. ආයිත් ඉතින් දෙපාරක් හිතුවේ නෑ මං කෙන්යාවට යන්න තීන්දු කළා.”

 

තවත් කොටසක් ලබන සතියේ... 

Comments