ඉත්තෑ­කූරට බයවූ කැලේ නපුරා | Page 2 | සිළුමිණ

ඉත්තෑ­කූරට බයවූ කැලේ නපුරා

අහස් වියන තරු රටා වන්ගෙන් පිරී ඉතිරි යන දිනයක්. සෞම්‍ය වු සිහිල් බවක් පරිසරයට මුසු ව ඇත. වනපෙතේ එහා කොන සිට මෙහා කොන දක්වා හීන් සරින් හමා යන මද නළ විඩා බර වූ ගතට දිව ඔසුවක් හා සම වේ. විවෘත බිමේ ගස් ගොම්මනකට වැදී සිටි මම ඔබ - මොබ දිව ගිය අතු ඉති අතරින් පෙනී යන දර්ශනය දෙස බලා සිටියෙමි. අවට රජයනුයේ රැහැයි නාදයට මුසු වූ රාත්‍රී නිශාචරයින්ගේ කෑ මොර ගෑමයි. විටෙක ඈත වනගැබ මධ්‍යයෙන් වර නැගෙනුයේ තනි වූ ගෝනෙකුගේ “ටං” ගෑමකි. එයට පිළිවදන් දෙමින් ගෝන රංචුවක ගෝන දෙනුන්ද “ ටං” ගෑම අරඹා ඇත. ඒ හඬ ඇසෙන්නේ අප රැඳී සිටින වතුර වළ ආසන්නයේම වේ. හෝරා දෙකක් - තුනක් පමණ වර නැගුණු මේ අඳෝනාවේ නොදුටු පාර්ශ්ව දෙක ඔවුනොවුන් සම්මුඛ වීමට ආසන්න බව හැඟී ගියේ ඒ හඬවල් ක්‍රමානුකූලව වතුර වළ සමීපයට සමීප වන බවක් වැටහුණු බැවිනි. එසේ නම් මේ ඇරැඹී ඇත්තේ ගෝන නාම්බන් රැළෙ වැටෙන සමයක ඇරැඹුමද?

එසේ නමුත් සිදු වූයේ අනපේක්ෂිත දෙයකි. මන්ද යත් එක් වරම මේ හඬ මධ්‍යයෙන් නැඟ ආවේ කොටි ගෙරවුමකි.

ඒ අනුව මෙතෙක් සිදු වු සිදු වීම් පෙළ මාගේ සිතෙහි සිතුවම් පෙළක් මෙන් ඇදී ගියේය.

රැළේ වැටී මත් වූ ගෝන නාම්බෙක් ගෝන නෑම්බියකට ආරාධනය කරමින් කෑගසත්ම, එයට පිළිතුරු වශයෙන් ද ගෝන නෑම්බියන් කිහිප දෙනෙකුගෙන්ම ආරාධනා ලැබෙන්නට ඇත. ඉන් තෝරා ගත් ස්වකීය පෙම්වතියට රැළෙන් වෙන් වී තමන් වෙත එන්න යැයි ගෝනා ආරාධනා කරන්නට ඇත. ඒ ආරාධනය පිළිගත් පෙම්වතිය පෙම්වතා සොයා ගෙන පැමිණෙත්ම මුහුණ දීමට සිදු වූයේ නොසිතූ අභාග්‍ය සම්පන්න වු සිදුවීමකටයි. මේ පෙම්වත් සන්නිවේදනයට ඇහුම්කන් දුන් ඒ වැයික්කියේ කොටි රාලහාමිගේ කටට කෙළ උනන්නට ඇත්තේ දවස් ගානකින් මෙපිට කුඩා දඩයම් විනා ලොකු දඩයමක රස නොබැලූ නිසා විය යුතුයි. ඒ නිසා මේ ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මඟ රැක සිටි කොටියා ගෝන නෑම්බි ගොදුරු කර ගන්නේ මේරූ අං ඇති ගෝනාට වඩා ගෝණ දෙන පහසු දඩයමක් බව දන්නා සහජ ඉව නිසාය. ඒ දඩයම කොටියාට දින ගණනාවකට සෑහෙන්නේය.

යම් සතකු දඩයම් කර ගැනීමෙන් පසු ඒ දඩයම රිසි සේ බුක්ති විඳීම සඳහා නිදහස් තැනකට රැගෙන ගොස් නිවාඩු පාඩුවේ රස බැලීමට කොටියා ප්‍රිය කරයි. අනතුරුව ගොදුර උස් ගස් දෙබලක රඳවා තබා ගනිමින් බඩගිනි හැදෙන වාරයක් වාරයක් පාසා යළි යළිත් දඩයමේ රස බලන්නේය. යාල වනපෙතේ දිය වළක් කරා පැමිණි වලස් මවක සිඟිත්තන් දෙදෙනෙකු සහ කොටි දෙදෙනෙකු අතර සිදු වු පෙරළියක තතු අපි පසුගිය සතියේ පාටකයන් වෙත ගෙන ආවෙමු. එම සිදුවීම වලස් කොටි ගැටුමෙන් පමණක් නොනැවතී කොටි - ඉත්තෑ හටනක් දක්වාද ව්‍යාප්ත වූ ආකාරය අපූරුය.

යාල ජාතික උද්‍යානයේ ගෝන ලැහැබ මැද පාර පළමුවැනි වතුර වළ සමීපයේ අප ගත කරන මේ රාත්‍රිය වන දිවියේ නවමු අත්දැකීම් සමුදායක් එක් කළ සුවිශේෂි වු රාත්‍රියක් වශයෙන්ද හැඳින්විය හැකිය. රාත්‍රී සඳ මෝදු වූ යාමයේ යාල මධ්‍යයේ සිට වනපෙතට නිරාවරණය වූ පසු බිමක සිට ලැබු ඒ ප්‍රායෝගික අත්දැකීම වනපෙතක රාත්‍රී හැසිරීම කෙබඳුදැයි යන්න යළිත් සිහිපත් කිරීමට අප පොලඹවයි. මන්ද අප සැවොම සිටියේ ඊළග මොහොතේ කුමක් සිදුවේදැයි වූ අවිනිශ්චිත වටපිටාවක බැවිනි. කොටි දෙදෙනා සමග පොර බැඳි වලස් මවට යාම්තමින් හෝ අප පිළිබඳ යම් ඉවක් හෝ දැනුණේ නම් මෙතෙක් සිදු වූ දේ වලස් මිනිස් අරගලයක් බවට පෙරැළීමේ වැඩි ඉඩක් පැවතිණි. වලසාට මිනිසා යනු ජන්ම හතුරෙකි. ඒ බව සනාථ කළ හැකි නිදර්ශන වනාන්තර මායිමට වන්නට පිහිටා ඇති ගම්මාන ආශ්‍රිතව නිරන්තරවම අසන්නට සහ දකින්නට හැකිය. එවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවන්ට මුහුණ දී ජීවිතය බේරා ගත්තද , ශරීරයේ ඉතිරි වන තුවාල කැළැල් සදාකාලික මතක සටහන් බවට පත් වේ.

වලස් මවගේ සහ කොටි දෙදෙනාගේ හබය අවසන් කරමින් වලස් මව පැටවුන් දෙදෙනාද කරපින්නා ගෙන යළිත් වනයට වැදුණේ තම පැටවුන්ට වනයේ භයංකරත්වය පිළිබදව පාඩමක්ද උගන්වමිනි. එයද භයංකරත්වයේ ප්‍රතිමූර්ති බඳු වූ රුදුරු කොටි දෙදෙනෙකු සමග මුහුණට මුහුණලා පොර බැද ජය ගත් උදාර ලීලාවෙනි. පැටවුන්ටද තම මවු පිළිබඳ ආඩම්බරයක් ඇතිවෙන්නට ඇත. මන්ද යත් කොටි දෙදෙන අභිමුව අභීතව මව සටන් වදිද්දි ඇයගේ පිටෙහි සිටි මේ වලස් සිඟිත්තන්ද කොටියන්ට හයිකාරකම් පාමින් ගොරවන විලාසය මම දුටුවෙමි. වනයේ හැටි ස්වභාවය එලෙසය. අද දිනයේ ජය ගන්නා හෙට දිනයේ පරාජය බාර ගත යුතුව ඇත.

ලද අවසරයෙන් පැය කිහිපයක් සිරවී සිටි පලු ගසින් බිමට බට කොටි දෙදෙන උගුර කට වේළුණු ආකාරයක් පෙන්නුම් කරමින් වතුර වළෙන් දිය බීගෙන බීගෙන ගිය ආකාරය දකින්නෙකුගේ සිතෙහි ජනිත කරනුයේ ඒ වලස් - කොටි සටනේ බියකරු බව නොවන්නේද?

මේ සියලුම දසුන් පිළිවෙළින් අපගේ කැමරා කාචයේ සටහන් කර ගත් අපි ඊළග නිමේෂ‍යේ කුමක් සිදුවේදැයි දෑස් අයා බලා සිටියෙමු.

යළිත් වතුර වළ ඉදිරි පස අප නතරව හිඳිනා ගුරු පාර ඉදිරියෙන් සූසුම් ලෑමක් ආරම්භ වී ඇත. හඬ නැගෙන්නේ ගුරු පාර දිගේ ඇදී එන යම් දෙයකිනි. ඒ දෙස අපි රාත්‍රී දසුන් රූගත කරනා කැමරාවෙන් බැලුවෙමු. ඒ සමඟම අප කැමරාව යොමු කළේ මෙතෙක් දිය වළෙන් දිය බොමින් සිටි කොටි දෙදෙනා වෙතය. පුදුමයකි. එතැන කොටි දෙදෙනෙකු වෙනුවට සිටියේ එක් කොටියෙකි. බිම වතුර වළ සමීපයේ ලොකු කොටියා රැදී සිටියදී පොඩි කොටියා යළිත් පලු ගස මුදුනට නැඟ ඇති සෙයකි. පෙර සිදුවීම මතක් වීමෙන් බිය වූ කොටි පැටවා හනික පලු ගස මුදුනට නැඟ සැඟව ගොස් ඇත. එසේ වුවත් කොටි මව තවමත් හඬ නැගෙන අදුර දෙසම බලා ගෙන නිසොල්මනේම වතුර වළ සමීපයේ රැඳී සිටියි.

ගුරු පාරේ බොරලු අතරින් රූටාගෙන එන්නේ කවර සත්වයෙක්ද? අපට මේ ගතව යන පැය කිහිපය වටින්නේය. එබැවින් එළැඹෙන සිදුවීම කෙබඳු වුවත් එකක් නෑර රූ ගත කර ගැනීමට කැමරාව හසුරුවන්නා යුහුසුලු වෙයි. මම දෙනෙතිය හඩ එන දෙසට මෑනුවෙමි. පළමුව දිස් වූයේ අඳුර මැදින් පැමිණෙන වල් ඌරෙකුගේ ශරීර ප්‍රමාණයට සමවූ සිරුරක් ඇති සතෙකි. වඩාත් හොඳින් බැලු මම මේ සතා හඳුනා ගත්තෙමි. මේ සුසුම් ලමින් කූරු මිටිය බිම දිගේ අතුල්ලමින් වතුර වළ සොයා මේ පැමිණෙනුයේ විශාල ඉත්තෑවෙකි. නමුත් ඉදිරියෙන් ඇති අනතුර පිළිබඳ ඌට දැනීමක් නැත. ඉත්තෑවා ඇස ගැටෙත්ම යම් තීරණයකට එළැඹි කොටි මව හණික ලැග සිටි ඉරියව්ව වෙනස් කරමින් පොළොවට සමාන්තරව යමින් හීන් සීරුවේ ඉත්තෑවා සිටි දෙසට ඇදෙන්නට වූවාය. එසේ හඬක් නොනැඟෙන්නට ඇදී ගිය කොටි මව ඒ ආසන්නයේ වූ පදුරු ගොමුවක් සමීපයට වහන් වූවාය.

ඉකුත්ව ගිය පැය කීපයම ගෙවී ගියේ නිස්කාරණයේය. පැටවාටත් තමන්ටත් සුදුසු ගොදුරක් දඩයම් කර ගැනීමේ අවස්ථාව වලස් මවගේ රණ්ඩුව නිසා කොටි මවට අහිමි විය. ඇය කුසගින්නේ පසු වන බව ඇයගේ ගති සොබාවේ ඇති රුදුරු බව මොනවට පසක් කරයි. එබැවින් මේ ලැබී ඇති අවස්ථාව අත්නොහැරීමට ඇය සිතා ගත්තා විය යුතුය.

මේ කිසිත් නොදත් ඉත්තෑවා වතුර වළ සමීපයේ පදුරු ගොමුව ආසන්නයෙන් යත්ම වහා ක්‍රියාත්මක වූ කොටි මව එක පිම්මට ඉත්තෑවා දෙසට පිම්මක් පනිනවාත් සමඟ ඉත්තෑවාද තම ආරක්ෂිත අවිය වන කූරූ මිටිය පුප්පා කොටියා දෙසට මෑනුයෙන් කොටියාට සිදු වූයේ ඉත්තෑකූරු ඇනගෙන ඒ අමිහිරි වේදනාවෙන් ‍පසෙකට වීමටය. කොටි මව ගොරවමින් ඉවතට පැන යළිත් වේදනාව පසෙකලා ඉත්තෑවාගේ මුහුණට ප්‍රහාරයක් එල්ල කරනා අටියෙන් ක්‍රියාත්මක වූවාය. ස්වකීය විසල් ඉදිරි බාහුවෙන් වැරෙන් පහරක් ඉත්තෑවාට එල්ල කළද ඒ හැම ප්‍රහාරයකින්ම මුවාවීම සඳහා ඉත්තෑවා පෑයේ ස්වකීය ආරක්ෂිත කූරූ මිටියයි. එවරත් කොටියා පරාජිතව ඉත්තෑකූරු ඇනී වේදනාව බුක්ති විදිමින් පසෙකට විය. කොටි දෙනගෙන් හීන් කෙඳිරියක් පිට වුවත් ජයග්‍රාහී ඉත්තෑවාගෙන් පිටවූයේ එඩිතර සුසුම්ලෑමකි.

අද දිනයේ පරාජිතයා මේ කොටි මව බව අපට ඒත්තු යෑමට වැඩි වේලාවක් නොගියේය. එහෙත් වතුර බීමට පැමිණි ඉත්තෑවා මේ සිදුවීමෙන් වික්ෂිප්තව වතුර බීම පසෙකලා යළිත් හැරී ගුරු පාර දිගේ මඳ දුරක් ගොස් කැලයට වැදිණි.

කොටි මවට සිදුවූයේ තවත් වතුර උගුරු කීපයකින් බඩගින්න නිවා ගෙන යළිත් ගස මුදුනට වී පැටවා ද සමඟ නිදන්නටයි. වනයේ භයංකරත්වයේ ප්‍රතිමූර්තියට අද දින වලස් මවකට හා ඉත්තෑවකුට බියේ පසු බසින්නට සිදු වුවද හෙට දිනයේ ජයග්‍රහණය උන් සතු වනු නොඅනුමානය.

Comments