![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/16/rain-sensor.jpg?itok=QVSuExNK)
රටේ ඕනෑම තැනකට ලැබෙන වැස්ස විනාඩි 10ක් ඇතුළත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට දැන්විය හැකි අන්දමේ නවීනතම ස්වංක්‍රීය වර්ෂාපතන මානක 200ක් රට පුරා ස්ථාපනය කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ උපදෙස් හා පෞද්ගලික මැදිහත් වීම මත මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ. ඒ අනුව එම ස්වයංක්‍රීය වර්ෂාපතන මානකවලට සම්බන්ධ පරිගණක දත්ත පද්ධති අනුසාරයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දත්ත ගබඩාවට එක් එක් ප්‍රදේශයට විනාඩි 10න් 10ට ලැබෙන වැස්ස පිළිබඳ දවසේ පැය 24 පුරා ස්වයංක්‍රීයව දැන්වීමට හැකි බවත්, ඒ පිළිබඳ අධීක්ෂණයට පැය 24 පුරා නිලධාරීන් යොදවන බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (පූර්ව අනාවැකි) අතුල කරුණානායක මහතා පවසයි.
ඒ අනුව ඒ තොරතුරු බරපතළ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එය දන්වනු ලැබේ. මේ වැඩපිළිවෙළ අනුව දරුණු වැසි තත්ත්වවලදී පූර්ව අනතුරු අනාවැකි ඒ ඒ ප්‍රදේශවලට ලබාදීමට පරිගණක හා නවීන තාක්ෂණික ක්‍රම අනුව නව වැඩපිළිවෙළ සකස් කරන බවත් අතුල කරුණානායක මහතා ‘සිළුමිණ’ට පැවසීය.
මීට අමතරව අනුර ප්‍රියදර්ශන ඇමැතිවරයාගේ මෙහෙයවීම මත, අපේ රටේ ඕනෑම තැනකට ලැබෙන වැස්ස පිළිබඳව, වැස්ස ලැබීමට විනාඩි 20– 30කට දැනගත හැකි අයුරින් අනාවැකි පැවසීමට හැකි නව ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර දෙකක් ජපානයෙන් ත්‍යාග ලෙස ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් ලක්ෂ 10ක් වටිනා එම යන්ත්‍ර දෙක ලබන වසරේ මෙරට ස්ථාපිත කරන බවත් ඉන් අපේ රට අභ්‍යන්තරය හා අවට මුහුදු තීරයේ කාලගුණ දත්ත ලබාගෙන වැසි ලැබීම ගැන අධීක්ෂණය කරන බවත් අධ්‍යක්ෂවරයා පවසයි.
මීට අමතරව මින් ඉදිරියට ක්ෂණිකව හා නිවැරැදිව රටට කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීමට අපේ කාලගුණ විද්‍යාඥයන්ට කාලගුණ විද්‍යාව පිළිබඳව එතෙරදී විශේෂඥ දැනුමක් ලබාදීමේ වැඩපිළිවෙළක්ද කියා දීමට නියමිත බව අතුල මහතා පවසයි.
ඒ අනුව ඉහත සියලු කටයුතුවලින් අපේ රටේ ආපදා කළමනාකරණයේදී විප්ලවීය ඉදිරිගමනක් නවීන තාක්ෂණය අනුව ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා පැවසීය.