අපට පාස­ලක් කෝ? | Page 2 | සිළුමිණ

අපට පාස­ලක් කෝ?

පුංචි සිත් සතන්වලට මේ සිදු වූ බොහෝ දෑ සිතන්නට තවමත් හැකියාවක් නැත. පුංචි හුරුබුහුටි සිනා වදනින් පිරි මේ දරුවන්ට ඉන් එහා ලෝකයක් දකින්නට ඉඩ දෙන්නට දෛවය කුරිරු වී ඇත්තේ ය. මේ පාසල් බිමේ තවමත් ඇත්තේ දැඩි නිහැඬියාවකි. පුංචි එවුන්ගේ ජීවිත වෙලාගත් ඒ නිහැඬියාවත් සමඟ මැවෙන්නේ බියකරු සිතුවම් පෙළකි. ඔවුන් සිහින දකින්නට කැමැතිය. එහෙත් ඒවා සුන්දර සිහින විය යුතු ය. බියකරු සිහින දකින්නට, අහසේ ගෙරවිලි හඬ මේ පුංචි සිත්වලට ඔාරොත්තු දෙන්නේ නැත. එහෙත් මෙදා මේ පුංචි එවුන් අහසේ ගෙරවිලි හඬට හොඳින්ම සවන් දුන්නේත්, බියකරු සිහින දැක්කේත් කරන්නට වෙන යමක් ඔවුනට ඉතිරි නොවූ නිසාවෙනි.

ගංවතුර සැම දේම සෝදා ගසා ගෙන ගියාක් සේ මල් වැනි ඔවුනගේ සුන්දර සිහිනද ගසා ගෙන ගියේ ය. පෙළපොතින් එහා ගිය ලෝකයක් තනන්නට උත්සාහ කළ පුංචි බලාපොරොත්තු පොදි පිටින් වතුරට ගසා ගෙන ගියේ ය. කෙළි සිනාවෙන් හැඩවුණු පාසල් බිම අද ඔවුනට අහිමිය. ගංවතුරක් කන්දක් සිතුවම් කර සැරසූ පංති කාමරය අද මේ පැංචන්ට අහිමිය. ඔවුනට දෛවය මෙසේ කුරිරු වී ඇත්තේ පසුගියදා ඉවක් බවක් නැතුව ඇඳ හැලුණු ගංවතුරෙන් හා නායයෑම්වලිනි. ගංවතුර පමණක් නොව නාය යෑම නිසාද දරුවන්ට අහිමි වූ පාසල් තුනක් ගැන අපට තොරතුරු ලැබුණේ මතුගම, තවාන මෙන්ම ඉහළ හෙවිස්ස ප්‍රදේශයේ කරන ලද සංචාරයකිනි.

මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් මේ තොරතුරු අප වෙත ලබා දෙන්නේ සිතුවිලිවලින් එහා ගිය සේවයක් මේ දරුවන්ට ලැබෙතැයි යන අපේක්ෂාවෙනි.

“ මේ ගංවතුරෙන් පස්සේ මතුගම කලාපයේ පාසල් දෙකක් සදහටම වහන්න වුණා. කවදාවත් ඒ පාසල් බිමේ දරුවන්ට අකුරු කරන්නට ආයෙත් බැහැ. තව එක වැස්සක් ආවොත් මේ පාසල් සදහටම පස් යටට වැළලිලා යනවා. අද මේ දරුවන්ට යන එන මං නැහැ..”අපට එහෙම තොරතුරක් දුන්නේ මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතාය. ඒ තොරතුරත් සමඟ අපි එ් පාසල් සොයා ගෙන මතුගම, බදුරලිය හා තවාන ප්‍රදේශ කරා ගියෙමු. මේ ගැන ලියා පෑන ‍පසෙකින් තබන්නට නොව අප පුවත්පත හරහා යමක් කරන්නටය.

ගංවතුරට පෙර පුංචි එවුන්ගේ සිනා හඬින් පිරිගිය තවාන ප්‍රාථමිකය අද වසා දමා ඇත්තේ පාසල් බලධාරීන්ටද ස්වභාව ධර්මයට අභියෝග කරන්නට නොහැකි නිසා‍ය. එක වසරේ සිට පහ වසර දක්වා ගමේ දරුවන්ට අකුරු කරන්නට ඇති මේ පුංචි පාසල සුන්දර කඳුයායකින් වටවූ අතර අවසානයේ ඒ කඳු යායම මේ පාසල් දරුවන්ට අභියෝගයක් විය. විදුහල්පති, ගුරුවරුන් හය දෙනෙකු හා පුංචි දරුවන් 37 දෙනෙකුගෙන් යුතු තවාන ප්‍රාථමිකය අද පවත්වන්නේ හෙලක ඇති අඩි 30 ක දිගින් යුත් පුංචි කාමරයකය.

“අපේ පාසලට නාය යෑම් අවදානම තිබුනේ 2014 ව‍සරේ සිටයි. තද වැස්සක් ආවොත් පාසල පවත්වන්න එපා කියලා කලාප බලධාරීන් අපිට කියලා තිබුණා. එහෙම අවදානම තබාගෙන පාසල කරගෙන ගියත් තද වැස්සක් ආවොත් අපි සියල්ල අකුළාගෙන ගමේ පන්සලට යනවා. වැස්ස තුරුල් වෙනකම් ඉඳලා අපි ආයිත් දරුවන් අරගෙන මේ පාසලටම එනවා. මෙහෙම කරගෙන යද්දි 25 වැනිදා මේ වැස්සෙන් පාසලේ පිටිපස්සේ කන්ද නාය යන්න ගත්තා. එදා ඉඳලා මේ ගමේ දරුවන්ට මේ පාසල නැතුව ගියා. ගොඩනැගිලි පර්යේෂණායතනයෙන් හා කලාප කාර්යාලයෙන් අපට මේ පාසල් බිම සදාකාලිකවම තහනම් කළා. දැන් දරුවන් අරගෙන අපට පන්සලට යන්නත් බැහැ. පන්සලත් නාය යෑම්වලට හසුවෙලා. අන්තිමට අපට උරුම වුණේ මේ අඩි තිහේ පුංචි ප්‍රජා ශාලාව විතරයි. මේකේ පංති පහක් කරන්න වෙලා. දරුවන්ට වැසිකිළියක් වත් නැහැ. ගුරුවරු ඒ අවශ්‍යතාවන්ට යන්නෙත් කන්ද මුදුනේ තියෙන ගෙදරකට. මීට කලින් වතාවක අපිට පාසල හදාගන්න රජයෙන් ඉඩමක් දුන්නා. අද ඒකත් නාය යෑමකට හසුවෙලා. පාසලේ බඩු කොට්ඨාශයට ගෙනත් දාන්න කිව්වා. ඒත් ඒකටත් අපිට මුදල් නැහැ. අපිට දැන් ඉඩමක් ඕනැ. ඒවගේම පාසලක් හදා ගන්න කාගේ හරි උදවු ඕනැ. එහෙම නැත්නම් මේ ගමේ දරුවන්ට අධ්‍යාපනය මෙහෙම නැවතෙන්න පුළුවන්..” තවාන ප්‍රාථමිකයේ විදුහල්පතිනි සන්ධ්‍යා ලියනගේ මහත්මිය පවසන්නීය.

“ කිලෝ මීටර් 7 -8 ක් එහායින් තියෙන මිදෙල්ල ජනපද ප්‍රාථමිකයට ළමයින් දාන්න හැදුවා. ඒත් මේ පාසලට යන්න අපේ දරුවන් කිලෝ මීටර 7-8 ක් පයින් යන්න ඕන. එහෙම ගියොත් මේ පාසල සදහටම වැහෙන්න පුළුවන්. මේ පාසලට එන්නේ කොටගල වතුයායායේ කම්කරුවන්ගේ දරුවන්. අපි තේ වත්තේ වැඩ කරමින් තමයි ළමයි පාසල් එවන්නේ. මේ නාය යන ප්‍රශ්නය නිසා පළාත් බලධාරීනුත් අසරණ වෙලා. කවුරු හරි උදවු කරලා අපේ දරුවන්ට පාසලක් හදලා දුන්නොත් ඒක ලොකු පිනක්..” යැයි දෙමවුපියෝ පවසති.

කිලෝ මීටර් ගණනින් දුර ගෙවා ගෙන එන මේ පාසලේ ගුරුවරුන්ට ගමේ ප්‍රජා ශාලාවට එන්නට වැයවෙන මුදල ඔවුන් මසකට ලබන වැටුපට වඩා වැඩිය. අගලවත්ත පයාගල සිට පැමිණෙන මේ ගුරුවරුන්ට මාසයකට පාසලට පැමිණෙන ත්‍රී රෝද රථයට පමණක් රුපියල් 12000 කට අධික මුදලක් වියදම් කරන්නට සිදුව ඇත්තේ මේ දරුවන්ගේ යහපත මුදලට සීමා කළ නොහැකි නිසාවෙනි. මේ එක් පාසලක් පමණි. මේ පැටවුන් කොතෙකුත් බලාපොරොත්තු තබා ගෙන සිටියද ඔවුන්ගේ පාසල් දොරගුළු යළි විවර වන්නේ නැත.

මේ තවත් එවැනිම වැසී යන්නට ආසන්න වූ පාසලකි. මතුගම නගරයෙන් පැලවත්ත පාරේ කිලෝ මීටර් 49 ක් පමණ දුරින් මතුගම ආසනයේ පිහිටි ඉහළ හෙවිස්ස පාසලද පසුගියදා නාය යෑමෙන් පසු සදහටම ඉවත් කළ පාසලකි. මෙවර නායයෑම්වලින් අනතුරුව ගොඩනැගිලි පර්යොෂණායතනයෙන් මේ පාසල් භූමියද සදහමට ඉවත් කළ යුතු යැයි තීරණය කළද තවමත් මේ දරුවන් මේ පාසල් බිමට පිවිසෙන්නේ අකුරක් කිරීමේ අපේක්ෂාව නිසාමය.

“අපි අද හරිම අසරණයි. පාසලට එන්නේ මේ ගමේ කිසිවක් කර කියා ගන්න බැරි දෙමවුපියන්ගේ දරුවන්. අපේ පාසලේ ගොඩනැගිල්ලක් වගේම මේ පැත්තේ බිමි ඉරි තලා ගිහින්. පාසල තියෙන්නේ කඳු බෑවුමක. ආරක්ෂාවට ගල් නැහැ. කඩා වැටෙන රතු පස් උඩ පාසල තියෙන්නේ. පාසලට උඩින් අවදානම් ප්‍රදේශ සලකුණු කරලා තියෙනවා. කලාපයෙන් අපිව දැනුවත් කළා තද වැස්සට පාසලේ ඉන්න එපා කියලා. තද වැස්සට අපි දරුවොත් අරගෙන ගමේ පන්සලට යනවා. කොහොම හරි කාල සටහන ආවරණය කරගෙන දරුවොත් ආරක්ෂා කරගෙන ඉන්නවා. අපේ පාසල තමයි මතුගම කලාපයේ විද්‍යා ප්‍රතිඵලවලින් හොඳම පාසල. ඒ වගේම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට පනහක් හොඳයි. මේ තත්ත්වයට ආවේ එහෙමයි. ඒත් දැන් මේ පාසලේ ඉන්න බැහැ. මිරිස්වත්ත මහ විදුහලට මේ දරුවන් ඇතුළු කළොත් කිලෝ මීටර් 12 ක් විතර පයින් යන්න වෙනවා. මේ නිසා අවදානම අරගෙන අපි තද වැස්ස වෙලාවට පාසල වහනවා. අපි දරුවෝ ආරක්ෂා කර ගන්න ඕනෑ. දරුවන්ට මොනවා හරි වුණොත් අපි ජීවත් වෙලා වැඩක් නැහැ. අපිට පාසලක් හදන්න කලාපයෙන් ඉඩමක් දුන්නා. ඒත් පාසලක් නැහැ. හෙට දවසේ මේ දරුවන්ගේ අනාගතය ගැන හිතනකොට අපි හරීම අසරණයි.” අප හා එසේ පැවසුවේ ඉහළ හෙවිස්ස පාසලේ විදුහල්පති ඩබ්ලිව්. ඒ හේමපාල මහතා ය.

තිබෙන පාසල අතහැර අලුතින් පාසලක් තනන්නට හිතූ තරමට ලෙහෙසි නැත. නාය යෑම් කොතැනින් පටන්ගෙන කොතැනින් අහවර වේදැයි කියන්නටද නොහැකි ය. එහෙත් මේ පුංචි දරුවන්ගේ පාසලට අද දොරගුළු වැටී ඇත්තේ දෛවයේ සරදමට මෙනි.

නායගොස් බොහෝ ව්‍යසන සිදුවූ මතුගම කලාපයේ දිගන්න ප්‍රදේශයේ වැළළුණු මිනිසුන් මතින් අකුරු කරන්නට යන පාසල් දරුවන් අපේ නෙත ගැටුණේ අහම්බෙනි. එහෙත් ඔවුනට අකුරු කරන්නට අද හරි හමන් පාසලක් නැත්තේ ය. කඳු බෑවුමේ සේදී ගිය ගල් පොත්තක් උඩ අකුරු කරනා දරු පිරිසක් අපට හමුවූයේ ද මේ ගමනේදි ය.

“ පුළුවන් නම් අපේ පාසල ගැනත් රටට කියන්න.” සිළුමිණ අපෙන් එවන් ඉල්ලීමක් කළේ දිගන ප්‍රාථමිකයේම විදුහල්පතිනියයි. අපි එම පාසලට ද ගොඩ වැදුනෙමු. ඒ පාසලේ එදින සිටියේ දරුවන් සත් දෙනෙකි. පාසල ඇත්තේ නාය ගිය කදු ගැට්ටක ගල්පොත්තකය. කඳු පාමුල පාරෙන් එපිට ඇත්තේ ඉවක් බවක් නැතිව බස්නා සැඩ පරුස ගංගාවයි. සතර වටින් නාය ගිය දර්ශන දකිමින් මේ දරුවන් අකුරු කරන්නට පාසලට පියමං කරන්නේ තවත් අවිනිශ්චිත ගමනක් බව එම පුංචි සිත්වලට හැඟෙන්නේ නැත.

“ මගේ පාසලේ දරුවෝ 63 ක් ඉන්නවා. ඒත් මේ දරුවෝ ගොඩාක් නායගිය පවුල්වල දරුවන්. මේ දරුවන් ආරක්ෂාවට කියලා එන්නේ පාසලට. අද මේ දරුවන්ට මේ පාසලත් අනාරක්ෂිතයි. පාසල තියෙන්නේ සේදී ගිය ගල් පොත්තක් උඩ. පල්ලෙහා ගඟ. දිය සීරාව ගලාගෙන යනවා. ලොකු වැස්සක් ආවොත් මේ පාසලත් සේදී ගෙන යන්න පුළුවන්.” විදුහල්පතිනිය අමානි ඉලංගා පැලවත්ත මහත්මිය පවසන්නී ය. ඔවුනගේ දුක්ගැනවිල්ල අසන්නට හෝ දුක්ගැනවිල්ල දකින්නට හෝ මේ ප්‍රදේශයට බලධාරියෙකුට පවා එන්නට නොහැකි වී ඇත්තේ දැඩි නායයෑම් නිසාය.

යෑමට හරිහැටි පාරක් තොටක් නැති දිගන්න ප්‍රාථමිකයේ දරුවන්ට ද අකුරු කරන්නට කිසිම තැනක් නැත. ආරක්ෂා වීමටද පාසල හැර වෙනත් ස්ථානයක් නැත. එහෙත් අද ඔවුන්ද අසරණය. දරුවන් පමණක් නොව ගුරුවරුන්ද අසරණය. රැකියවකට වඩා සේවයක් සැලසීමේ අරමුණින් මේ ගුරුවරු එන්නේ අකුරු කරන්නට වඩා දරුවන් රැක ගන්නටය.

නාය යන්නේ මේ දරුවන්ගේ සිත් සතන් බලා නොවේ. පළාත් කලාප අධ්‍යාපන බලධාරීන්ද දරුවන්ගේ මේ ප්‍රශ්නයේදි සංවේදිය. එසේම අසරණය. එහෙත් ඔවුනට ස්වභාව ධර්මයට එරෙහිව යෑමට නොහැක්කා සේ තබන තබන සෑම පියවරක්ම ආපස්සට හැරවෙන්නේ ස්වභාව ධර්මයේම කුරිරුකමින්ය. හෙට දිනයේ මේ බොහෝ දේ මීට වඩා වෙනස් විය හැකිය. එය හොඳ ට හෝ නරකට විය හැක්කේ දරුවන්ගේ සිත් පිත් ස්වභාව ධර්මයා නොහඳුන නිසා ය.

“ මතුගම කලාපේ බලධාරින් මේ ප්‍රශ්නයේදි හරිම අසරණයි. අපි මේ පාසල් අලුතින් ඉදිකරන්න ඉඩම් පවා වෙන් කළා. ඒත් මේ ගංවතුරේ භයානක කම කොතෙක්ද කියනවානම් ඒ ඉඩම් පවා නාය ගියා. අපිට දරුවන් රුක ගන්න ඕනැ. ඒ වගේම මේ පාසල් වැහෙන්න දෙන්නෙත් නැහැ. මොන ප්‍රශ්න ආවත් අපි මේ දරුවන්ට අකුරු කරන්නට පාසලක් හදා දෙනවා. මුදල් ලද වහාම මේ කටයුතු ආරම්භ කරනවා” මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා අප හා පැවසීය.

“ මතුගම කලාපයේ පාසල් දරුවන්ට වුණු හානිය මෙතැකියි කියා නිම කරන්න බැහැ. අපි මේ දරුවන්ව නාය නොයන අවදානමක් නැති ප්‍රදේශවලට ගෙන යා යුතුයි. එහෙම කරලා මේ ප්‍රශ්නයට අවසානයක් වගේම ස්ථීර විසඳුමක් ලබා දිය යුතුයි. ගොඩනැගිලි පර්යේෂණායතනය මේ කලාපයේ තවාන, ඉහළ හෙවිස්ස වගේම දිගන්න පාසල් වැඩි අවදානමක් මතු කළා. ඒ පාසල්වලට දරුවන්ට ඇතුළු වීම තහනම් කළා. මේ නිසා අපි නිවැරැදි තීන්දුවකට යායුතුයි. ජනාධිපතිතුමා මේ ගැන අවධානයෙන් ඉන්නේ. එතුමා මේ තත්ත්වය විධිමත්ම අවසන් කරන්න අවශ්‍ය උපදෙස් දෙනවා වගේම මුදල් වෙන්කිරීම් ඉක්මන් කරන්නත් අවශ්‍ය උපදෙස් දීලා තියෙන්නේ. මුදල් ලද වහාම අපි ඉඩම් සොයා මේ පාසල් නැවතත් නඟා සිටුවනවා.” ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ය.

රටේ සිදුවූ මහා ව්‍යසනයේදි අපි මිනිසත්කම පෙරටුකරගනිමින් එකාමෙන් කැපවූ ආකාරය අපට ආඩම්බරයකි. ජාතියක් ආගමක් කුලයක් නොසලකා එකා මෙන් පිහිට වූ අපට මේ පුංචි එවුන්ගේ සිනා මල් වියැකෙන්නට ඉඩ දිය හැක්කේද? දරුවෝ අපගේය. ඔවුනට ලෝකයක් දෙන්නට අපට ඇවැසි ය. එසේම අපට හැකිය. පුංචි සිනාමල් ගංවතුරට ගසා ගෙන යන්නට ඉඩ නොදී ඔවුන් වෙනුවෙන් අපටත් යමක් කරන්නට හැකිනම් සිළුමිණ අප හා සම්බන්ධ වෙන්න. 0112429265 හෝ 0112429264 අමතා මේ පාසල් ගොඩනඟන්නට පළාත් අධ්‍යාපන බලධාරින්ට ඔබේ උදවු ලබා දිය හැකිනම් අපටද යම් දවසක ස්වභාව ධර්මයාට අභියෝග කළ හැකි වන්නේ ය. 

Comments