සර් කියන ඒවා කරන්න ගිහින් අපේ බෙල්ලත් ගහලා යාවි | Page 2 | සිළුමිණ

සර් කියන ඒවා කරන්න ගිහින් අපේ බෙල්ලත් ගහලා යාවි

පක්ෂ කාර්යාලයේ පොදු රැස්විම් ශාලාවේ පිවිසුමට පය තැබූ නරේන්ද්‍ර අසුන් ගෙන සිටි පිරිස දෙස බැලුවේ යටැසිනි. ඔහු දුටු පිරිස වහා නැගී සිටියහ.

“ඉඳගන්න. ඉඳගන්න.”

ඔහු කීවේ අසුන් ගන්නැයි දකුණතින් ද සංඥා කරමිනි.

“අද ආණ්ඩුවෙ ප්‍රසිද්ද නිවාඩු දවසක්. අපට තමා නිවාඩු නැත්තෙ. මේ නෝනලා ටික ඇවිත් ඉන්නවා කිව්වම මං මූණ හෝදන්නෙත් නැතිව දුවලා ආවා.”

අනතුරුව නෝක්කාඩු ස්වරයෙන් කී ඔහු අසුන් ගෙන මේසය මත වූ ලිපි ගොනුවක් පෙරළා බලන්නට විය.

“සර්. අපි කලින් ම වෙලාවක් දවසක් අරගෙනයි ආවෙ.”

කාන්තා සංවිධානයේ සභාපතිවරිය නිදහසට කරුණු දක්වන්නට වූවාය.

“වෙලාවක් දවසක් ගත්තත් නැතත් කරන්න ඕන වැඩේ කෙරෙන්න එපායැ. අපිට ඉතින් දැන් දැන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ වෙලාවක් විතරක් නෙමේ මොළයක් හෘදවස්තුවක් නැති ගානට”

නරේන්ද්‍ර කීවේ හිස සොලවමිනි. ඒ කතාව කාන්තාවන්ට එකවර වැටහුණේ නැත.

“සර් ඉතින් මුහුණ හේදුවත් නැතත් පුන්සඳ වගේ ඔය බැබළි බැබළි ඉන්නෙ.” ‍

කාන්තා සංවිධානයේ සභාපතිවරිය කීවේ අන් අයට නැසෙන තරමෙනි. ව්‍යාජ තරවටු බැල්මක් ඇය වෙත හෙළූ මන්ත්‍රි නරේන්ද්‍ර පළාත් සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනා ද තමා සමීපයට කැඳවා ගත්තේය.

“අපි මේ මන්ත්‍රිතුමන්ලගෙ ඕනෑ එපාකම් මොනවද අහලා ඉමු නේද?”

ඔහු යෝජනා කළේ කාන්තා සමිති නිලධාරිනියන්ටය.

කාන්තාවෝ ඔවුනොවුන් මුහුණ බලා ගත්තහ. තමන් එම යෝජනාව ස්ථිර කළත් නැතත් අවසාන තීරණය මන්ත්‍රිවරයාගේ වීම පිළිබඳ සැකයක් නැත. අවශ්‍යතාවයේ බරපතළකම හෝ වගකීම් සහිත බව ඔහු දිවැසින් මෙන් දකින්නෙකියි මිනිසුන් අතර පිළිගැනීමක් ඇත. ඒ දිවැස් බැල්මට එරෙහිව යා හැක්කේ කාටද?

“මේ මන්ත්‍රි මහත්වරු දෙන්නා ආවෙ පාසල්වලට ළමයි දාන්න යන‍කොට ඇතිවෙන ගැටලු ගැන කියන්න කියලා ලේකම්තුමා කිව්වා. ඇත්තද? සමාවෙන්න මට. ඒක ඇත්ත නම් මට දෙන්න උත්තරයක් නැහැ.”

“අපේ පක්ෂෙ මිනිස්සුන්ගෙ ළමයින්ට තමා හොඳ පාසලකට යන්න අවස්ථාව නැත්තෙම. මේ විදිහට ගියොත් ඡන්දදායකයො අපෙන් ඈත් වෙනවා මන්ත්‍රීතුමා. මේකට මොකක් හරි කරන්න ඕන.”

“ළමයෙක් පාසලට දාලා දුන්නෙ නැහැ කියලා ඡන්දදායකයො මගෙන් ඈත් වෙනවා නම් මං කියන්නෙ යනවලා ඈත්වෙලාම යනවලා කියලයි.”

“මන්ත්‍රීතුමා විහිළු කරනවා. ඒත් අපිට මේක බරපතළ ගැටලුවක්. අපි හිතුවෙ ඔබතුමාට කියලා පාර්ලිමේන්තුවෙදි මේ ගැන ආයෙත් කතා කරවන්න.”

“මොකක්ද ඒ කතාවෙන් ඇති ප්‍රයෝජනේ? මාධ්‍ය ඉස්සරහ වීරයෙක් වෙන්නද? විහිළුකාරයෙක් වෙන්නද? ප්‍රශ්නෙට උත්ත‍රේ තමන්ගෙ ළමයා හොඳ පාසලකට දාන එක නෙමේ. ගමේ ළමයින්ට හොඳ පාසල් ඉල්ලන එක.”

තරුණ මන්ත්‍රිවරු දෙදෙනාගෙන් බාලයා දේශපාලන විෂයයෙහි ලා ආධුනිකයෙකි. යොවුන් වියේ සිටම වාමාංශික ව්‍යාපාරයක යෝධයෙකු වූ ඔහු, වාමාංශික ව්‍යාපාරවලින් කළ හැකි වන්නේ සටන් පාඨ කියමින් පාරක් පාරක් ගානේ පෙළපාළි යෑම පමණකැයි ප්‍රසිද්ධියේ පවසා දක්ෂිණාංශික දේශපාලනයට පිවිසුණේය.

දැන් දැන් ඔහුට වම දකුණ දෙකම නැතුවා වැනිය. ඔහුගේ මේ වෙස් පෙරළියට හේතු වූ මූලික කාරණය සාර්ථක ඇමෙරිකන් සංචාරයකැයි මුහුණුපොත ඇසුරු කරන කොල්ලන් කෙල්ලන් මුහුණ පොතෙහි තාක්ෂණික කැලෑ පත්තර ගසා තිබෙනු නරේන්ද්‍රට පෙන්වූයේ රාජඍෂි විසිනි.

දේශපාලනයෙහි ලා ඔහුගේ අලුත්පාර ඔහුට යහපත් වුණත් ඔහුට ඡන්දය දුන් ජනතාව තම අප්‍රසාදය පළ කිරීමට සුදුසු දිනය එනතුරු බලා සිටිති.

නරේන්ද්‍ර තරුණ සඳුන්සිරි මන්ත්‍රිවරයා දෙස බැලුවේ ඔහුගේ සියලු වෙස් පෙරළි පිළිබඳ සැබෑ අවබෝධයක් සිත ඇතිවය.

“සඳුන්සිරි මන්ත්‍රිතුමා මං පිළිගන්නවා රටක අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වගෙ ගැටලු තියෙන එක ගැන ඔබතුමාලයි අපිය ලජ්ජා වෙන්න ඕන. අපි කරන්නෙ ම දේශපාලන බලය පාවිච්චි කරලා ඡන්ද දායකයින්ගෙ පෞද්ගලික ඉල්ලීම් ඉෂ්ට කර දීලා මනාපයක් රැක ගන්න එක. හොඳයි නැද්ද?”

සඳුන්සිරි හෝ ජයවන්ත නරේන්ද්‍රට පිළිතුරු නොදුන්හ. රාජ්‍ය පාලනයෙහිලා කුදු මහත් සියල්ලටම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි හැමවිටම පැවසුවත් නරේන්ද්‍ර මන්ත්‍රිවරයා ද උඩුගංබලා පිහිනන්නෙකු නොව රැල්ලට අසුව ගඟ පහළ ප්‍රපාතයකට ගසාගෙන යන්නෙකු මිස අන් කවරෙක් ද? ජයවන්ත මන්ත්‍රිවරයා සිතමින් සිටියේය.

“ජයවන්ත මන්ත්‍රිතුමා ඇයි කල්පනා කරන්නෙ? මං කිව්වෙ බොරුවක්ද?”

නරේන්ද්‍ර ජයවන්තගේ සිත දකිමන් කීවේ කල්පනාවෙනි. ඔහු අවස්ථා කිහිපයකදීම තම දේශපාලන ප්‍රතිපත්තිවලට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇත්තේය.

“ජයවන්ත සමහර මිනිස්සු වගේ ම මන්ත්‍රීවරුත් මං දිහා වපර ඇහින් බලනවා. මගේ පොදු අදහස් මේ ලෝකෙට ගැළපෙන්නෙ නැහැ කියලා. සමහරවිට ජයවන්ත වුණත් එහෙම වෙන්න පුළුවන්.”

නරේන්ද්‍ර තමාට ඇනුම්පදයක් එල්ල කිරීම ජයවන්ත කලබල කරවන්නක් විය. දේශපාලනයෙහි ලා තරම් කේලම් කියන්නන් ඔත්තුකරුවන් තවත් සිටීද?

“විවිධ අදහස් මත තිබුණට නරේන්ද්‍ර රත්නවීර මන්ත්‍රිතුමා අපේ පක්ෂයට ගෞරවයක් කියලයි පක්ෂයේ වැඩි දෙනෙක්ගෙ මතය. අපිත් ඒ මතයම දරන අය.”

“හරි. හරි. ජයවන්ත. පුළුවන් නම් ඔයාලා දෙමවුපියොත් එක්ක එකතු වෙලා රටේ සියලු දරුවන්ට පොදු සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ඉල්ලලා හඬක් නගන්න. ඔය මොන පහසුකම්වලට වුණත් වියදම් කරන්නෙ පොදු මිනිස්සුන්ගෙ බදු මුදල්, මහන්සිය, කැපවීම. එක පාසලක ළමයි පිහිනුම් තටාකයක් ඉල්ලන ‍කොට තවත් පාසලක ළමයි වතුර ටිකක් බොන්න ළිඳක් ඉල්ලනවා. ඇයි අපි මේ ප්‍රශ්නවලට සංවේදී නොවෙන්නෙ? සඳුන්සිරි ඔයා වගේ තරුණ මන්ත්‍රිලට හොඳ අනාගතයක් තියෙනවා. අධ්‍යාපන ඉතිහාසය සදුන් වගේ සුවඳවත් කරන හොඳ වැඩකට අත ගහන්න.

“සර් මොක්ද අපිට කරන්න කියන්නෙ? අපි මිනිස්සුන්ට මූණ දෙන්න ඕනැ”

“ජනප්‍රිය පාසල්වලට ළමයි රිංගවන වැඩේ අතාරින්න සඳුන්සිරි. කොතනින් හරි පටන් ගන්න ඕන. නගරයේ ජනප්‍රිය පාසල්වලට යන්න නෙමේ. ඒ විදිහට අධ්‍යාපන පහසුකම් තියෙන පාසල් ගමේ ඇති කරන්න ඕන... කියන හඬ පොදු ජනතාව අතරින් මතු වෙන්න ඕන.”

නරේන්ද්‍රට නොසතුටු සිතින් සවන් දෙමින් සිටි දේශපාලනඥයින් දෙදෙන‍ාගෙන් සඳුන්සිරි දැනුමැති දේශපාලනඥයාට එරෙහිව නැගී සිටියේය.

“සර් කියන ඒවා කරන්න ගිහින් අපිට ආසනෙත් නැතිව යාවි. බෙල්ලත් කැපෙන්න ඉඩ තියෙනවා.”

“සඳුන්සිරි බෙල්ල ගහලා ගියත් ජනතා ප්‍රශ්නවලට මුහුණ දෙන දේශපාලනඥයා තමා එදත් අදත් හෙටත් ගම්භාර දෙවිවරු වෙන්නෙ. ජන සංස්කෘතියේ ඉන්න ගම්භාර දෙවිවරු ඕපපාතිකව පහළ වුණ චරිත නෙමේ. පොදු මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් සේවය කරපු ශ්‍රේෂ්ඨ මිනිස්සු. දැන් කාලෙ ගම්භාර දෙවිවරු වෙන්නෙ “දේශපාලනඥයො”

නරේන්ද්‍ර රත්නවීර මන්ත්‍රිවරයා දේශනාකාර දේශපාලනඥයෙකු වී ඇතැයි සිතූ සඳුන්සිරි ඔහුගෙන් ගැලවී යා හැකි මඟක් ගැන සිතන්නට විය. ඔහු පැමිණියේ සො‍හොයුරියගේ දියණිය අගනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට ඇතුළත් කර ගැනීමට මන්ත්‍රිවරයාගේ උපකාර පතාය. බාලිකාවේ විදුහල්පතිනිය මන්ත්‍රිවරයාගේ ඥාති සොහොයුරියකැයි ඔහුට කීවේ තවත් දේශපාලනඥයෙකු විසිනි.

ඥාති දියණියගේ නම ද ඇතිව අට දෙනෙකුගේ නාමලේඛනයක් ඔහු මන්ත්‍රිවරයාගේ මේසය මත තැබුවේය.

“මන්ත්‍රිතුමා කරන්න පුළුවන් දෙයක් කරන්න. මේ ළමයින්ගෙ දෙමවුපියො අපේ ප්‍රබල උදව්කාරයො. පාක්ෂික‍යො.”

නරේන්ද්‍රගේ මුවඟ සරදම් සිනාවක් ඇති විය. සඳුන්සිරි සොහොයුරියගේ දියණිය නගරයේ පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා තමාගේ උපකාර පතා එන බව නරේන්ද්‍ර දැන සිටියේය.

“කරන්න පුළුවන් වැඩක්ද කියලා මං හොයලා බලන්නම්. හැබැයි මං කිව්ව කාරණය ගැනත් මොකක් හරි පෙළ ගැස්මකට එන්න ඕන. නගරයේ ජනප්‍රිය පාසල්වල පහසුකම් ගමේ පාසල්වලටත් ඉල්ලන්න ඕන. පක්ෂයක වැඩක් විදිහට නෙමේ, කඩා කප්පල්කාරි වැඩක් විදිහට නෙමේ, ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණකාරි වැඩක් විදිහට නෙමේ, මුළු රටේ ම ළමයින්ට සම සාධාරණ අධ්‍යාපන අවස්ථාවක් ලබාදීමේ ශුද්ධ අදහසින් මේ වැඩේ පටන් ගන්න ඕනැ.”

නරේන්ද්‍ර කීවේ කාන්තා සංවිධානයේ සභාපතිවරිය දෙස බලමිනි. ඇය දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරිනියකි. ඇගේ දෙනෙත් නළල්තලය ඉක්මවා යන්නට ගන්නා උත්සාහය දෙස බලමින් නරේන්ද්‍ර ජයවන්ත දෙසට හැරුණේය.

“ජයවන්ත මන්ත්‍රිතුමාට ළමයි ඉස්කෝල දාන ප්‍රශ්න නැහැ...”

“තිබුණා. මං විසඳා ගත්තා.”

“ඒ කොහොමද? අපිටත් ඒ පහසු ක්‍රමය කියලා දුන්නා නම්.”

“මං මගෙ ළමයි දෙන්නම ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මා. ළමයි අරන් එන අයට කිව්වා පළාත් සභාවෙ ඉඳලත් ආණ්ඩුවෙ ඉස්කෝලෙට මගේ ළමයි දාගන්න මට බැරිකොට, මං කොහොමද ඔයාලගෙ ළමයි දාන්නෙ කියලා.”

“ඉතින්?”

“පස්සෙ ආරංචි වුණා මගෙ හත්මුතු පරම්පරාවටම බැණ වැදුණා කියලා. අපි කියලා මොනවා කරන්නද?”

“ජයවන්තගෙ ළමයින්ගෙ වියදම් සැර ඇති?”

“මොනවා කරන්නද මන්ත්‍රිතුමා? රෝල ගෙනියනවා. නැත්නම් ගෙදර බත් කාලා ඉවරයි. ඇත්තනෙ. රටට කරන්න කලින් අපිට කරගෙන ඉන්න ඕන කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ළමයි සිංහලවලට ටියුෂන් අරිනවා.”

නරේන්ද්‍ර හිස සැළුවේය. ජනයා විසින් ජනයා වෙනුවෙන් ජනයා පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ විශේෂ ගති ලක්ෂණයක් ලෙස පිළිගත් යුගය දැන් අවසාන වී ඇත. ඒ ජන පාලනයේ මධ්‍යගත න්‍යෂ්ටිය දේශපාලනඥයා වීම තුළ කවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවද උඩු යටිකුරු වී අවසානය.

ජයවන්ත සහ සඳුන්සිරි අසුන්වලින් නැගී සිටියේ නරේන්ද්‍රගෙන් සමු ගන්නටය.

“යන්නද නැගිට්ටෙ? තාම උදේට කාලත් නැතිව ඇති?”

“අද පහළ වෙල්යායෙ ගොවියො අලුත් හාලින් කිරි අම්මලා සීයකට දානයක් දෙනවා. මන්ත්‍රිතුමා අපි මේ එහෙ යන ගමන්.”

ජයවන්න කීවේ කාන්තා පිරිස වෙත රැඳුණු නෙතිනි.

“හොඳයි. හොඳයි ජයවේවා!”

නරේන්ද්‍ර ඔවුනට සමු දී ඔවුන් කාර්යාල භූමියෙන් ඉවත්ව යන තුරුම බලා සිටියේය. සඳුන්සිරිගේ මෝටර් රථය අලුත්ය. වටිනාකම අඩු තරමින් ලක්ෂ අසූවකට ආසන්නය. දේශපාලන රණබිමට ඒමට පෙර තරුණ මන්ත්‍රීවරු දෙදෙනාම ඉඩම් මිලට ගෙන විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහ. එය ද දෙතුන් වාරයක් කඩා වැටුණු සැටි නරේන්ද්‍ර දනී.

මහජන මුදල් ගසා කෑවේ යැයි සමහර දේශපාලනඥයන්ට ඇති චෝදනා පත්‍ර සනාථ කොට පසකට ලා ගසාකමින් පැවතෙන මහජන දේපොළ ආරක්ෂා කර ගැනීමට බලධාරින් පියවර නොගැනීම ඛේදවාචකයක් නොවන්නේදැයි පැනය දසතින් පැන නැ‍ඟෙමින් ඇත. එපමණකි. ඉදිරියට යන සැටියක් තවමත් නාපෙනේ. පිළිතුරක් නැත.

“දැන් ඉතින් කියන්නකො මේ නෝනා මහත්තුරු ඇයි කුකුළත් අතේ තියාගෙන උදේ පාන්දරම මගෙ ලස්සන මූණ බලන්න ආවෙ?”

කාන්තා සංවිධානයේ ලේකම්වරිය හැර අනෙක් නියෝජිතවරියන් නිබය සිතින් නොපැකිළ සිනා පාන්නට වූහ. කවර ප්‍රශ්නයක වුවද බරපතළ ගැටලු ස්වභාවය සැහැල්ලු කරවන්නට තම මන්ත්‍රීතුමා දක්ෂ බව ඔව්හු දනිති. 

Comments