
වසරක් පාසා පොසොන් පෝයට දන්සලක් දෙන අපි මෙදා පාර දන්සල දෙනවද නැද්ද යන දෙගිඩියාවෙන් පසු වුණෙමු. හේතුව පසුගිය දිනවල පැවැති මහ ගංවතුරෙන් අනාථ වු අපේම මිනිසුන්ට උදව් කළ යුතුය යන අදහස සිතේ තිබු බැවිනි. කාර්යාලයේ සැවොම ගංවතුරින් අවතැන් වුවන්ට උදව් කිරීම පෙරමුණ ගත්හ. අවශ්‍ය සියල්ල ඉක්මනින් සකසා ගත් අපි ඉකුත් සෙනසුරාදා හිමිදිරියේ ගමන ඇරඹූවෙමු. නමුදු මෙදා එසේ නොවේ. මෝල්කාව ප්‍රදේශය අප තෝරාගත් ප්‍රදේශය විය. මතුගම, බුලත්සිංහල හරහා අපි මෝල්කාවට ගියෙමු . අපේ පිරිස දොළොස් දෙනෙකි . අප මෝල්කාව ගමට ළඟා වන විට වේලාව උදෑසන දහයමාර පමණ වන්නට ඇත. මම මීට පෙර කීප වතාවක්ම ගං වතුරින් විපතට පත්වූවන් බලන්නටගොස් ඇත්තෙමි. හැකි පමණින් උපකාර ද කර ඇත්තෙමි. නමුදු මෙවර රූපවාහිනී හා පුවත්පත් මඟින් දුටු ගං වතුර හා කඳු නාය යෑම්වලට වඩා පියවි ඇසට දකින මේ දසුන් කොතරම් නම් වේදනාකරි දැයි දැනෙන්නට වුයේ මෝල්කාව ප්‍රදේශයට ගොස් සුළු මොහොතකිනි.
පෙර දවස ගමට යෑමට තිබු පාලම දැන් එහි නැත. පාලම ගසාගෙන ගිය අතක් සෙවීම ද අපහසුය. පාරුවක නැඟී කුකුළේ ගඟින් එතෙර වී අපි ගම්මුන් අතරට ගියෙමු.
“හිතා ගන්න බැහැ වුණේ මොකක්ද කියලා. ඉතාම කෙටි වෙලාවකදී ගෙවල් වතුරින් යට වුණා. දෙදහස් තුනේ ගංවතුරටවත් අපේ ගමට මේ තරම් හානියක් වුණේ නැහැ. ගමේ පවුල් හතළිස් අටක් විතර ඉන්නවා. කන්ද කඩාගෙන ඇවිල්ලා ගඟට වැටුණා . සාමාන්‍ය විදිහට ගලාගෙන යන ගංගාවේ මඟ හරස් වුණා. ගමට වෙච්ච විපත මෙච්චරයි කියලා කියන්න බැහැ. ගංවතුර ගෙවල්වලට කඩාගෙන වැටුණම එක ගෙදරක අම්මගේ අතේ කිරි බිබී හිටපු දරුවා ගංවතුරට ගහගෙන ගියා. ඒ දරුපැටිය හොයා ගන්න බැරි වුණා”. අප ගෙන ගිය ආධාර බෙදන අතරතුරදී හමුවු කාන්තාවක පැවැසුවේ හැඩු කඳුළිනි .ඇගේ කතාව අප අසා සිටියේ දරා ගන්නට බැරි තරම් ශෝකයකිනි.
ගමක ඉපදුන ද අද වන විට කොළඹ නගරයට ආසන්නයේ වාසය කරන මම බොහෝ ගංවතුර උවදුරු දැක ඇත්තෙමි. නමුදු මේ සා විශාල දේපළ හානියක් හා ජීවිත හානියක් දුටු පළමු ගංවතුර උවදුර මෙය විය. අප ගෙන ගියේ මහා ලොකු ආධාර තොගයක් නොවුණ දමෝල්කාව ප්‍රදේශය තෝරා ගත්තේ ඒ වන විටත් ආධාර බෙදන කණ්ඩයම් ඒ ප්‍රදේශයට නොගොස් සිටි බව අසන්නට ලැබී තිබු බැවිනි. මේ ගමේ ඇත්තන්ට හඬන්නට කඳුළු නැත. අප වෙතට දෑත් දිගු කරමින් බඩු මලු ගන්නේ මින් පෙර ජීවිතයේ කිසිදු දිනෙක අනුන්ට අත නොපෑ අයය. ඔවුන‍්ගේ ජීවිත කාලය පුරා හරි හම්බ කළ දේ ගංවතුර විසින් සඟවාගෙන ගොස් තිබිණි.
“රට ගිහින් ඇවිල්ලා මාස කිහිපයයි. හම්බකරගෙන ආව හැම දෙයක්ම තිබුණේ අල්මාරියේ. එත් ඒ අල්මාරිය ගංවතුරේ ගහගෙන ගියා. තවමත් මම පුළුවන් විදිහට අල්මාරිය හොයනවා. නමුත් තාමත් ඒක නැහැ...”විදෙස් ගතව සිට පැමිණි කාන්තාවකගේ කඳුළු අප කාගෙත් ඇස්වලට කඳුළක් ගෙන ආවේය.
ජීවිතයේ සියල්ල අහිමි වු මේ මිනිසුන් කුමක් නම් කියා කියන්නද? සුපිරි නිවාස තනාගෙන ජීවත් වු දැන් බිත්ති කෑලි දෙක තුනකට පමණක් සිමා වී තම ඥාතින් ද අහිමිව ඉඩක් ඇති තැනෙක කුඩාරම් ගසාගෙන ජීවත් වන මිනිසුන්ගේ කඳුළු පිසින්නට ඉතිං අප කුමක් නම් කියන්නද? කරන්නද? ඔවුන් ගේ කතා අසා සුසුම් නැගුණේ ඉබේටමය. ගමට ඉහළින් තිබූ කන්ද නිවාස ද තල්ලු කරගෙන ගඟට වැටීමෙන් ගඟ යන මඟ හරස් වීම ගංවතුර උවදුර තවත් දරුණු වීමට මඟක් වුවා විය හැකිය.
මෝල්කාව ප්‍රදේශයේ අප දුටු හිත රිදවන දේ බොහෝය. ඒ ප්‍රදේශයේ පමණක් නොව අනෙක් ආපදාවට පත් ප්‍රදේශවල තත්ත්වයද මෙය ම විය හැකිය. දුක් විඳින මිනිසුන් ගේ දුකට පිහිට වීමට අපට කළ හැක්කේ කුමක්ද යන ප්‍රශ්නයට සිතින් පිළිතුරු සොයමින් අපි ආපසු එන්නට පිටත් විමූ.
“වතුර නැද්ද?”
ඒ කාන්තා හඬට මම ආපසු හැරී බැලුවෙමි.
අප විපතට පත්වූවන්ට බෙදන්නට වතුර ගෙන ගියේ නැත. නමුදු මා සතුව ඒ මොහොතේ බීමට ගෙන ගිය වතුර බෝතලය විය. එය ඇයට දීමට මම සිතුවෙමි. එහෙත් ඒ සිතුවිල්ල ගැනත් මා පසුතැවුණෙමි. ඒ කාන්තාව කියු කතාවෙන් වික්ෂිප්තවීමෙනි.
“මට දරුවා ලැබිලා මාසයයි. තවම දරුවා නාවන්න බැරි වුණා. දැන් මේ පැත්තේ වතුරින් දරුවා නාවන්න බැහැ. ඒකයි වතුර තියෙනවද කියලා ඇහුවේ”. ඇයට පිළිතුරක් දී ගන්නට බැරිව අපි අසරණ විමු. මේ එක් කතාවක් පමණි . මෙවැනි කතා තවත් බොහෝ තිබෙනු නිසැකය. පළාත් ගණනකට විනාශය ඇති කළේ ද ජලයමය. දිය පොදක් නැතිව අද ඇතැම් ප්‍රදේශ වල මිනිසුන් අයදින්නේද ජලයය. ගංඟා ඇළ දොළ පිටාර ගැලීමෙන් වතුර වැඩි වී සිටින විටෙක අලුත උපන් බිළිඳා නැහැවීමට දිය පොදක් නැතිව සුසුම්ළන අම්මාගේ හඬ යළි යළිත් ඇසෙන්නා සේය. හිත රිදවන කතා කොතෙකුත් අසා ඇති නමුදු මෝල්කාවේදී දුටු දසුන් ඇසූ කතන්දර කිසිදිනෙක අමතකව නොයනු ඇත. කාර්යාලයේ සහෝදර පිරිස එකට එක්ව යන එන ගමන් වෙනදා නම් බොහෝ සොඳුරුය. ගමන එකම සිනා සාගරයකි. නමුදු මෝල්කාවට ගිය සැවොම පාහේ ආවේ ගොළු වතිනි. සෑම වතක්ම සෝබරය. කුමක් කියන්නද යන්න කාටත් අමතකය. අපේ සිනහව ගංවතුර විසින් අපටත් හොරා සොරාගෙන තිබිණි .
(තම කණ්ඩායම සමඟ විපතට පත්වූවන්ට සහන සැලසීමට ගිය බොරලැස්ගමුව හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරු මුදිත රත්නායක මහතා සිළුමිණට කියූ කතාවකි)
ඉසවි