
කපුවාටත් වැරදුණු තැන
ජුවානිස් හුදකලාවේ ඉදිරිපස ස්තෝප්පුවේ වාඩි වී සිටින විට හදිසියේම සිය බාල දියණිය අනුලා පැමිණ “සියදෝරිස් අමතමින් අප්පච්චි මම ආවෙ අප්පච්චිට කියල පොඩි වැඩක් කර ගන්න. මගේ ගෙදර කුස්සියට අල්ලල කාමර කෑල්ලක් ගහන්න යනවා. අප්පච්චි මට ලී මඩුවෙන් අඩි 15 හොඳ පොල් ලී පහක් මෙහි ගෙනත් තියනව ද? මම පස්සෙ ඇවිත් අරගෙන යන්නම්. මෙන්න ඒකට රුපියල් දෙදහක් තියෙනවා” යැයි පවසා යන්නට ගියාය.
දියණිය ගිය පසුව ජුවානිස් ලී මඩුවට ගෙන ගොස් පොල් පරාල පහ ගෙනවිත් නිවෙසේ පිටිපස්සේ ඇති මඩුවේ අඩුක්කර තැබුවේය. දින කීපයකට පසු දියණිය පොල් පරාල රැගෙන යෑමට පැමිණ පරාල බලද්දි ඒවා අතුරුදන්ව තිබිණ.
“හරි පුදුමයිනෙ බං පුදුම වැඩක්නෙ පොල් පරාල පහක්ම හොරු අරගෙන ගිහිල්ල. උඹට කවුද අවිශ්වාස.” කාගේත් කතාබහ වූයේ එයය.
“යමං ශාස්තරයක් බලන්න කිරිගල්පොත්ත දේවාලයට. හොරා මකබෑ වෙන්න කපුව වැඩක් කර දේවි. ආයෙ නෑ කිරි ගහට ඇන්න වගේ හොරාගෙ සියලු හැඩ වැඩ කියාවි. දවස් හත යන්න ඉස්සර බඩු දොරකඩට ගෙනත් දේවි. ඒ තරමට හාස්කම්. දැන්ම යමු මමත් එන්නම්.” අසල්වැසි සීටින් රාල ද ගමනට එක්විය.
දෙදෙනා එක්ව දේවාලය අසල කඩයකින් පූජා වට්ටියක් මිලදී ගෙන අවශ්‍ය ලෙස පඬුරු ද තබා කපු මහතා වෙතට ගියේය.
සියලු ආවතේව අවසානයේ කපුවා ආවේශ වී මහත් ගාම්භීර ලෙස ජුවානිස් ඇමැතීය. ජුවානිස් බොහොම බයාදු ගතියෙන් ගොස් පූජා වට්ටිය තබා කපුවා ඉදිරියේ වැඳ වැටුණේය. පූජා වට්ටියේ වූ පුද පඬුරු දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය කපුවා ආවේශ වී හූවක් ද තබා ජුවානිස් අමතමින් “නරය උඹ දෙවියන් දකින්න ආවා නේද?” ජුවානිස්ට ඒ කීම නොතේරිණි. “නෑ නරියෙන් ආවෙ නෑ” එවිට සීටින් ජුවානිස්ගේ කනට කර “නරිය නොවෙයි බොල නරය. නරය කියන්නේ දේව භාෂාවෙන් මිනිසා කියන එකයි” යැයි කීවේය.
“ඔබ පැමිණියේ වටිනා භාණ්ඩයක් නැතිවී නේද?”
“එසේය. එසේය.” ජුවානිස් කීවේය.
කපුවා මහත් උජාරුවෙන් හිස ද කරකවා ගාම්භීරව “ලැබෙයිද නොලැබෙයිද කියලා දෙගිඩියාවක් තියෙනවා නේද?”
“එසේය. එසේය.”
“බයවෙන්න එපා. ඔබගේ දෙපාමුලට දෙවියන්ගේ බලයෙන් ගෙනැවිත් දෙනවා.
කපුවා තවත් වරක් උඩ පැන උඹගේ ළඟම ඥාතියෙක්. සිටින්ට තම මලයා ගැන අවිශ්වාස සිතුණි.
“පේනවා නේද එකට ඉඳල කරන වැඩ. දෙවියනි කොහොමද ගෙන ගොස් ඇත්තේ.” තවත් වරක් කපුවා උඩ පැන හූවක් ද තබා” නරය ගෙන ගොස් ඇත්තේ ඉණේ ගහගෙන.”
එය ඇසූ ජුවානිස්ට ජුවල් නැග්ගේ, “යකෝ අඩි 15ක් දිග පොල් පරාල පහක් ඉණේ ගහගෙන යන්නෙ කොහොමද?” එසැණින් ජුවානිස් පූජා වට්ටිය ගත්ත ගමන් කපුවට දමා ගැසීය. හොර කපුවා කියා පිරිස වට කරන විට කපුවා පණත් එපා කියා දුව යන්නට විය. කපුවා දිව ගිය විට දෙවියන් තනි විය.
රජුගෙන් තෑග්ගක්
ලයනල් ජයලත්
පාණදුර
ඈත අතීතයේ දැහැමි රජතුමෙක් විසීය. මෙම රජතුමා රටටත් රටවැසියාටත් ආදරයෙන් කරුණාවෙන් සැලකූහ. දිනක් එක් ගොවියෙක් තමාගේ ගොවිපොළේ පළමුව හටගත් විශාල දියලබු ගෙඩියක් රජතුමාට පිළිගැන්වීය. දියලබු ගෙඩිය රජතුමා ඉතා සුහදව පිළිගත් අතර ඒ සඳහා ගොවියාට වසු පැටවෙක් තෑගි කළේය. මෙම පුවත ගම්දනව් පුරා පැතිරී ගියේය. මෙම පුවත කණ වැකුනු කපටි පුද්ගලයෙක් මෙසේ සිතන්නට විය.
දියලබු ගෙඩියට වසු පැටවෙක් දුන්නා නම් මම රජුට තෑගි කරනවා මගේ කිරි එළදෙනයි පැටවායි. එතකොට මට රජතුමාගෙන් ගම්වරයක් සමඟ තවත් තෑගි ලැබෙයි. මෙසේ සිතා පසුදා උදෑසනම එළදෙන හා වසු පැටවාව රැගෙන රජවාසලට ගියේය. රජු බැහැදුටු කපටි මනුෂ්‍යයා පස්වන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස, ඔබ වහන්සේට මගෙන් තෑග්ගක් කියා මුළු පවුලක් පෝෂණය කළ කිරි එළදෙන හා පැටවාව රජුට ත්‍යාග කළේය. මොහුගේ මෙම කපටිකම ඉවෙන් මෙන් අවබෝධ වූ රජතුමා ප්‍රීතියි! ප්‍රීතියි මා ආදර වැසිය... මෙසේ කියා පෙර දා ගොවියා විසින් දෙන ලද දියලබු ගෙඩිය කපටි පුද්ගලයාට පිරිනැමීය.