ආයුබෝවන් රොජර් මුවර් | Page 4 | සිළුමිණ

ආයුබෝවන් රොජර් මුවර්

ඔහුගේ විනිවිද යන බැල්ම සමග කඩවසම් සිරුර යළිත් කිසි දිනක රිදී තිරයේ දක්නට ලැබෙන්නේ නැත. ඒ සිතිවිල්ල සිත පාරන්නේ රොජර් මුවර් ගේ රංගනය එතරම්ම සිතේ බැඳී ඇති බැවිනි. ජේම්ස් බොන්ඩ් තිරයේ වීරයා වන්නේ අපේ යුගයට පෙරය. එහෙත් අදට වුවද ඔහුගේ රංගනය විවේචනයකින් තොරව බාර ගැනීමට හැකි වන තරමේ පවතින්නේය. එයට හේතුව ඔහුගේ රංගන ප්‍රතිභාව ය.

ඔහු උපත ලබන්නේ එංගලන්තයේ ලන්ඩන් නගරයේය. වයස අවුරුදු අසූ නවයේදී මිය යන්නේ ස්විට්සර්ලන්තයේදීය. මේ අතරතුර ඔහු විසින් රංගනයෙන් සනහන ලද සිත් සතන් සංඛ්‍යාත්මකව කිව නොහැක්කේය. ඒ ලෝකයේ ඈත කෙළවර කුඩා රටක වෙසෙනා අප පවා ඔහුගේ ප්‍රබල රසිකයන් වන බැවිනි. රොජර් මුවර් උපත ලබන්නේ රංගනය ගෑවී හෝ නොමැති පවුලකය. එහෙත් රංගනය පිළිබඳ පැවති ආශාව නිරන්තරයෙන්ම මේ කොලු ගැටයා රංගනය කෙරෙහි යොමු කරවීය. එහෙත් සිනමා ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වීමට ඔහුට මග පෑදෙන්නේ පොලිස් නිලධාරියකු වු ඔහුගේ පියා හේතුවෙනි.

බ්‍රයන් ඩෙස්මන්ඩ් හර්ට්ස් ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරයාගේ නි‍ෙවසේ සිදුවු සොරකමක් සම්බන්ධව පරීක්ෂා කිරීමට ගිය රොජර්ගේ පියාවු ඇල්ෆ්‍රඩ් මුවර් තම පුතාගේ රංගන පිස්සුව ගැන අධ්‍යක්ෂවරයාට පවසන්නේ ය. එහි ප්‍රතිඵලය වන්නේ 1945දී තිරගත වූ සීසර් ඇන්ඩ් ක්ලියෝපැට්රා සිනමාපටයේ අතිරේක චරිතයක් රොජර්ට හිමිවීමෙනි. එහිදී රොජර්ගේ රංගනය සම්බන්ධයෙන් සතුටට පත්වන අධ්‍යක්ෂ හර්ට්ස් රංග කලාව පිළිබඳ රාජකීය ඇකඩමියේ රංගනය හැදෑරීමේ අවස්ථාව ඔහුට උදා කර දෙන්නේය.

ලෝක යුද්ධ අතරතුර රාජකීය හමුදාවේ කපිතාන්වරයකු ලෙස සේවය කළ රොජර් යුද්ධය අවසානයේ යළිත් රංගනයට පිවිසෙන්නේ රංගනය කෙරෙහි ඔහුගේ ඇති ඇල්ම හේතුවෙන්මය.

උපතින් ලැබුණු හැකියාව සහ දක්ෂකම හේතුවෙන්ම වැඩි කල් නොගොස් ඔහුට සිනමාවේ දොරටු විවර වන්නේය. දුඹුරු පැහැ ඇස් සමග ඔහු සතුව පැවති ආකර්ෂණීය පෙනුම එයට ප්‍රබල හේතුවක් ද වන්නට ඇත. ක්‍රමයෙන් රිදී තිරයේ හිනි පෙත්තට නැගි රොජර් ඒ සඳහා ස්වකීය ප්‍රබලතම හිනිමග බවට පත් කර ගන්නේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවය.

ජේම්ස් බොන්ඩ් චරිතයට ප්‍රථමයෙන්ම පණ පිහිටුවූ ෂේන් කොනරි බොන්ඩ් චිත්‍රපට ප්‍රතික්ෂේප කිරීමත් සමග රොජර් මුවර්ට ඒ අවස්ථාව උදා වූයේ ය.

The man with the golden gun, The spy who loved me, For your eyes only ඔහුගේ බොන්ඩ් ප්‍රතිරූපය ඉහළ නැංවූ චිත්‍රපට ලෙස හැඳින්විය හැකිය. රොජර් මුවර්ගේ බොන්ඩ් රංගනය විශේෂ වන්නේ එය ඉයන් ෆ්ලෙමින් විසින් මවන ලද බොන්ඩ් චරිතයට වඩා හාත්පසින් වෙනස් වීමය. එය අන්කිසිවක් නොව මුවර්ගේ දක්ෂතාව ලෙස පමණක්ම ප්‍රකාශ කළ හැකිය.

එතැන් සිට ලෝක සිනමාවේ රොජර් මුවර් වෙනුවෙන් විවර නොවන දොරක් නොමැත. එය කෙතරම්ද යත් ලොව පුරා නම රැන්දු තම ගෞරවනීය පුරවැසියා වෙනුවෙන් නයිට් නාමයක්ද බ්‍රිතාන්‍ය මහ රැජින ඔහුට ලබා දුන්නාය. ඒ හැර ලොව පුරා ඔහුට ලැබී ඇති ගෞරව නාමයන් රාශියකි.

මිය යෑමට පෙර ඔහු පිළිකාවක් හේතුවෙන් පීඩා විඳිබව පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබිණි.

වියපත්ව සිනමාවෙන් සමුගත් පසු ඔහු My word is my Bond යනුවෙන් තම ජීවිත කතාවද ලියා තැබුවේය.

 

Comments