කුඩා කර්මාන්ත යළි පණ ලබයි | සිළුමිණ

කුඩා කර්මාන්ත යළි පණ ලබයි

ජීඒස්පී ප්ලස් සහනය තහවුරු වීම නිසා භාණ්ඩ නිෂ්පාදන 7200කට යුරෝපීය වෙළෙඳපොළෙන් ඉඩ ලැබෙන බවත්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ නව ප්‍රබෝධයක් ඇති වීම නියත බවත් රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මෙරට මෙතෙක් මහාපරිමාණ කර්මාන්තකරුවන්ට පමණක් හිමිව තිබූ අපනයන අවස්ථාව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටද ලැබෙන බවත්, එය රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉදිරියේදී මහත් බලපෑමක් කරනු ඇති බවත් ඒ මහතා තවදුරටත් කීවේය.

ජීඑස්පී සහනය ලැබී මෙරට ඇඟලුම් කර්මාන්තය, රබර් කර්මාන්තය ඇතුළු කෘෂි නිෂ්පාදන, මුහුදු ආහාර කර්මාන්තය, සෙල්ලම් බඩු, පිඟන් මැටි, පෝසිලේන් ඇතුළු කර්මාන්ත රැසකට යුරෝපා වෙළෙඳපොළ විවෘත වීම සිදු වේ. එමෙන්ම වත්මන් ආණ්ඩුවේ දූරදර්ශී ආර්ථික පිළිවෙත නිසා මෙරට ආර්ථිකය ධනාත්මක දිසාවකට යොමුව පවතින බවද කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි ප්‍රතිලාභ රටේ ජනතාවට ඉදිරියේදී අත්විඳීමට ලැබෙනු ඇතැයිද අවධාරණය කළේය.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඒ මහතා පසුගිය වසර දෙකේදී දළ ජාතික නිෂ්පාදනය 4.5%කින් වර්ධනය වූ බවද, එය මේ වසර අවසන් වන විට 5%ක් පමණ වනු ඇති බවද, මෙය 8% දක්වා ඉහළ දමාගැනීමට ඉදිරි කාලය තුළ රජයට හැකි වනු ඇතැයිද කීවේය. තවද, දැනට මෙරට විදේශ විනිමය ඩොලර් බිලියන 5ක් තිබෙන බවත්, එය මේ වසර අවසන් වන විට බිලියන 7 ඉක්මවා යන බවත් ඔහු අවධාරණය කළේය. අන්තර්ජාතික සුරැකුම් මඟින් ලබන මාසයේදී ඩොලර් බිලියන 1.5ක්ද, හම්බන්තොට සම්බන්ධයෙන් චීන සමාගමක් සමඟ ඇති වන හවුල් ගිවිසුමෙන් තවත් ඩොලර් බිලියන1.1ක්ද ආදි වශයෙන් ලැබීමට නියමිත බවත් ඒ මගින් රටේ විදේශ විනිමය වැඩි කරගත හැකි වනු ඇති බවත් හෙතෙම කීවේය.

ඒ සමඟම ආයෝජන වැඩි කිරීමට පදනම දමා ඇති බවත්, දැනට ලංකාවට වාසිසහගතව තිබෙන ගිවිසුම් පුළුල් කිරීමට හා චීනය, සිංගප්පූරුව වැනි රටවල් සමඟ ගිවිසුම් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජීඑස්පී ප්ලස් සහනය සහ මේ සියල්ල මඟින් ඉදිරියේදී රටේ ආර්ථිකයේ විප්ලවීය වෙනසක් සිදු වන බවද හෙතෙම අවධාරණය කළේය. 

Comments