අවසන් මහ රහතුන් වැඩසිටි වට්ටාරම | Page 2 | සිළුමිණ

අවසන් මහ රහතුන් වැඩසිටි වට්ටාරම

අතීතයේ පටන් අද දක්වාම වෙසක් පොසොන් සමයේ අනුරාධපුර, පොලොන්නරු වටවන්දනාවේ යන වන්දනා නඩවල පළමු නැවතුම්පොළ වන්නේ ඓතිහාසික වට්ටාරම රජමහා විහාරයයි. එහි නතරව ගමන් මහන්සිය නිවා මුහුණකට දොවා ඉපැරැණි වෙහෙර විහාර වන්දනාකොට සිතපහදා ගන්නේ එතැන් පටන්ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරය වසර දෙදහස් තුන්සියයකටත් වඩා අතීතයකට උරුමකම් කියන්නේය. අපේ රටේ අවසන් මහරහතන් වහන්සේ වැඩ විසූයේ යැයි කියන, පැරැණියන් දෙමටමල් විහාරය ලෙසින් ද හඳුන්වනු ලබන වට්ටාරම රජමහා විහාරයට ඉකුත් දිනෙක අපි ගියෙමු. එහි ගිය අප දුටුවේ රාජ්‍ය වෙසක් උත්සව පින්කම් මාලාව වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වන අයුරුය.

කොළඹ නුවරපාරේ රංවල හන්දියෙන් හැරී කෑගල්ල පොල්ගහවෙල දක්වා යන අතරමඟදි රජමහා විහාරය හමුවේ. ඉක්මනින්, කොයි මො‍හොතේ අවසන් කළ හැකිවේදැයි සිතෙන තරමට දැන් විහාරස්ථානය පිළිසකර කරන්නේය. නවීකරණය කරන්නේය. ඒ සියලු කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් විසිනි. මේ දිනවල පවතින දැඩි උණුසුම ද නොතකා ඔවුහු විහාරස්ථානයේ සංවර්ධන කටයුතුවල නියැළී සිටිති.

“මෙම විහාරස්ථානය අපේ ගමට ආඩම්බරයක්. විටින් විට විහාරස්ථානය භාරව සිටි භික්ෂූන් වහන්සේලා මෙම විහාරයේ සංවර්ධන කටයුතු කරනු ලැබුවා. නමුත් අද මුළු විහාරස්ථානය ම සංවර්ධනය කැරෙනවා. එය ඉතා වටිනා දෙයක්. විහාරස්ථානයේ දෛනිකව සිදුකැරෙන සංවර්ධන කටයුතු පිළිබඳ අතීත තොරතුරු සපයන්නට ඉදිරිපත් වූ විහාරස්ථාන දායක සභාවේ සාමාජික විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති නිමල්සිරි බටුවන්තුඩාව මහතා පවසයි.

වට්ටාරම විහාරයේ වැඩවාසය කළේ යැයි පැවැසෙන මලියදේව මහ රහතන් වහන්සේ පිළිබඳව පොතපතෙහි බොහෝ දේ කියැවේ. විහාරස්ථානයේ අතීත තොරතුරු පිළිබඳ පොත් පිංචක් ලියා ඇති විශ්‍රාමික විදුහල්පති බී.ආර්. තිලකරත්න මහතා දෙමටමල් විහාරය ගැන කියන්නේ මෙවැනි කතාවකි.

මලිය‍දේව මහරහතන් වහන්සේ අපේ රටේ සිටි අවසන් රහතන් වහන්සේ ලෙස අංගුත්තර නිකායේ මනෝරථ පූර්ණී අටුවාවේ සඳහන් වෙනවා. ඒ වගේම මහාවංශය, බෝධි වංශය, ධාතුවංශය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථවල මලියදේව නමින් රහතන් වහන්සේ හය දෙනකු සිටිය බව සඳහන් වෙනවා. මේ රහතන් වහන්සේ හය නම අතරින් අන්තිම රහතන් වහන්සේ වන්නේ ගෝඨාභය රජ දවස සිටි (එනම් ක්‍රි.ව. 253 හා ක්‍රි.ව. 266 කාලයේ) වනගුප්ත මලියදේව රහතන් වහන්සේ. මෙම රහතන් වහන්සේගෙන් පසු ලංකාවේ කිසිදු රහතන් වහන්සේ කෙනකු වැඩ සිටි බවට තොරතුරු පොත පතේ සඳහන් වන්නේ නැහැ.” තිලකරත්න මහතා පවසන්නේ තමන් පොතපත ඇසුරෙන් සොයා ගත් දේය.

මලියදේව රහතන් වහන්සේගේ ගිහි ජීවිතය මෙසේය. සංඝමිත්තා තෙරණිය, ජය ශ්‍රී මහා බෝධි රජුන් වැඩම කර ගෙන එන වෙලාවේ තෙරණිය සමඟ පැමිණි පිරිසේ සිටි ක්ෂත්‍රිය වංශික කුමාරයෙක් උඩපොළ බෝවලපිටියේ චම්පක බෝධිගුප්ත නමින් ජීවත් වී ඇත. ඔහුට දරුවන් තිදෙනෙකු සිටි අතර ඒ අතරින් පිරිමි දරුවා ඇතුගල්පුර ආරාමයක පැවිදි වී ඇත. පසුව වට්ටාරම මලියදේව රජමහා විහාරයට පැමිණ ඇත. ත්‍රිපිටක ධර්මය හා ශාසන ප්‍රතිපදාවන් හි නිරතව සිටි බවත් ටික කලකින් ධර්මය පිළිබඳ හසළ දැනුමක් ලබා වෙසක් පුර පොහොය දිනයකදී මලියමහපායේදී කෙ‍ෙලසුන් නසා රහත් භාවයට පත් වූ බව පොත පතේ සඳහන් වේ. මලියදේව මහ රහතන් වහන්සේ පිළිබඳ බොහෝ පුරාවෘත්ත ද ඇත්තේය.

මලියදේව රහතන් වහන්සේ උදරාබාධයකට ඖෂධ ලබා ගැනීමට දැදුරු ඔය අසබඩ ජීවත් වූ සුළුගුලු උපාසක වෙදැදුරු හමුවී ඇත. උපාසකතැනගේ නිවෙසේ ඖෂධ පිළියෙල කරන අතරේ මලියදේව හිමි ඔහුත් සමඟ දෙව්ලොවට වැඩම කර ඇත. එහිදී සිළුමිණ සෑ වන්දනාවට පැමිණි මෛත්‍රි බෝධිසත්වයන් මුණ ගැසී ඇත්තේය. දෙව්ලොවදි සක්‍ර දෙවියන් විසින් සුළුගුලු උපාසක තැනට දිවසළු තුනක් තෑගි කර ඇත. එම දිව සළු තැන්පත් කර නාරම්මල රජමහා විහාරයේ වෙහෙරක් ඉදිකර ඇති බව එක් පුරාවෘත්තයක සඳහන්වේ. අනෙක් කතාව වන්නේ මලියදේව රහතන් වහන්සේට දඹදිවින් දඹරන් පිළිම සතරක් ලැබුණු බවත් ඒ පිළිම සතර කෑගල්ලේ වට්ටාරම, කොත්මලේ පුහුල්පිටිය, මහනුවර මාදන්වල සහ මොරපාය යන විහාරයන් හී තැන්පත් කළ බවත්ය.

අතීතය විමසා බැලීමේදී වට්ටාරම විහාරය හා මලි‍යදේව මහ රහතන් වහන්සේ පිළිබඳ විවිධ තොරතුරු හමුවේ. විහාරස්ථානය ඇතුළත ඇති පූජනීය ස්ථාන පෙන්වීම සඳහා අපත් සමඟ ගිය බටුවන්තුඩාවේ මහතා මුලින්ම අප රැගෙන ගියේ දෙතිස් ඵල රූහ බෝධින් වහන්සේ දැක ගැනීමට ය. සිංහල බෝධි වංශයේ සඳහන් ආකාරයට මෙම බෝධින් වහන්සේ ශ්‍රී මහ බෝධියෙන් හටගත් අංකුර තිස්දෙක අතුරෙන් එක් බෝධි අංකුරයක් වේ.

“මේ බෝධින් වහන්සේගේ බොහෝ අනුහස් තිබෙනවා. නමුත් පැරැණි බෝධින් වහන්සේ අපවත් වුණා. එයින් හටගත් අංකුරයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගෙනිහිල්ලා නැවත සංරක්ෂණය කර ගත්තා. පේනවා නේද දෙතිස්ඵල රූහ බෝධින් වහන්සේ වටා පරිවාර බෝධින් වහන්සේ තිබෙන අයුරු. මේ තියෙන්නේ මලිය මහා පාය විහාරය. වට්ටාර‍ම් අස්න, වට්ටාරම් විස්තර කතාව යන ග්‍රන්ථවල මේ ගැන සඳහන් වෙනවා.”

බටුවන්තුඩාවේ මහතා දෙතිස්ඵල බෝධින් වහන්සේට මඳක් එහායින් ඇති ගල්කණු රැසක් පෙන්වමින් පැවසීය.

“මේ තමයි මලිය මහාපාය. මේ හැම දෙයක් ම දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරනවා. වට්ටාරම් අස්නට අනුව මේ බිමේ ආරාම දොළහක් හා බෝධීන් වහන්සේට පිටුපසින් සම්මුඛ දේවාලයක් තිබුණා කියලා සඳහන් වෙනවා. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා සක්දෙවිඳුන්ගේ නියමයෙන් මිහින්තලාවට ගිහිල්ලා ශිලාල චෛත්‍යයට නුදුරු තැනෙක තිබුණ පොකුණක තිබූ ගල් ටැම් හැටපහක් හා මිහිඳු තෙරුන්ගේ ධාතු හා සිවුරු ගෙනැවිත් මේ භූමිය කොටස් විසිහතරකට බෙදා සතළිස් මහලකින් යුතු මලිය මහාපාය හා ආරාමය සාදා තිබෙන බව විහාරය පිළිබඳ කියැවෙන කතා අතර වෙනවා.”

බටුවන්තුඩාවේ මහතා විහාරස්ථානය පිළිබඳව පවසන්නේ බොහෝ ගෞරවයෙනි.

ඉරමුදුන් වී ඇති ඒ හෝරාවේ පුරාවිද්‍යා සහායක නිලධාරිනියෝ දෙදෙනෙක් හිස්වැසුම්ලා ඒ අවට පිරිසුදු කරමින් සිටියහ.

“අපේ රාජකාරිය තමයි මේ ප්‍රදේශය ආරක්ෂා කිරීම. අප මසකට කිහිපවරක් පැමිණ මේ ස්ථානවල වල් ගලවලා දානවා. අතුගාලා පිරිසුදු කරනවා. හෙට අනිද්දා වෙසක් උත්සවයට මේ විහාරස්ථානයේ පින්කම් පැවැත්වෙන නිසා අපි බොහෝම ආසාවෙන් පිරිසුදු කිරීමට කටයුතු කරන්නේ. අව් රස්නය තිබුණට අපට වෙහෙසක් දැනෙන්නේ නැහැ. බෝමළුව ඇමදීම පින්කමක්. අපිට අපේ ජීවිතවලට මේ කරන පුද සත්කාරවල ආශිර්වාදය තිබෙනවා.”

නිල්මිණි හා ශිලා මානෙල් අප සමඟ කතා බහ කරන අතරේ ම සිය රාජකාරිවල නිරත වෙති.

මලිය මහාපාය, ශිලාලිපි, සිරිපතුල ආදි සියලු ස්ථාන නරඹා අලුත් වෙහෙර පසුකර එතැනින් හේවිසි මණ්ඩපයටත් ඉන්පසුව අප පැරැණි විහාරය ගෙය දෙසටත් පැමිණියෙමු.

ක්‍රි.ව. 1744 කෑගල්ලේ දිසා පාලක ලෙස කටයුතු කළ විජය සුන්දර ලෙව්කේ අදිකාරම් තුමා විසින් මෙම විහාර ගෙය ඉදිකරන බව ජනප්‍රවාදයේ එන්නකි. මෙහි ඇති සමාධි බුදුරුව මෙන් ම චිත්‍ර මහනුවර යුගයේ අපර භාගයට අයත් බව ඒ පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කළවුන්ගේ අදහස වේ. හේවිසි මණ්ඩපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර මෙම විහාර ගෙට ඇතුළුවන ස්ථානයේ දකුණෙන් ටැම් ලිපියක් ද ඉදිරිපස සිරිපතුල් ලාංඡනය ද ඇත.

වට්ටාරම විහාරයේ පිහිටි ඓතිහාසික ස්ථාන අතර පොහොය සීමාව පැරැණි හා නව සංඝාවාසය ඉදිරිපස පිහිටා ඇත. අද ද ඒ පොහොය සීමාව ගල්කණුවලින් සීමා මායිම් වෙන්කර ඇත. කැටයම් සහිත පැරැණි දැව උළු වස්සකින් අලංකාර කළ පොත්ගුල ද දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නකි. මේ සියලු ස්ථාන පෙන්වන්නේ එදා වට්ටාරම විහාරස්ථානයේ තිබූ ශ්‍රී විභූතියයි.

විහාරස්ථානයේ දායක සභාවේ උපසභාපති වූ චන්ද්‍රදාස මහතා අපට හමුවූයේ අහම්බෙනි. ඔහු විහාරස්ථානය පිළිබඳ ඇති තවත් කතාවක් අප හා පැවසීය.

“ආන් අර පේන්නේ නාරංගල. ඔන්න ඔය ගලේ උඩ ඉඳලා ගෝඨාභය රජ්ජුරුවෝ ලෝකුරු තම්මැට්ටමක් හඬවලා තියෙනවා. ඉන් පස්සේ කියලා තියෙනවා හතර අතින් ඒ හඬ ඇහෙන සීමාවන් දක්වා ඉඩම් විහාරයට අයිතිය කියලා. ඒ අනුව උතුරෙන් පනලිය ගම, නැගෙනහිරින් මාරුක්වතුර, බස්නාහිරින් කළුගල, දකුණෙන් කන්දේගෙදර ආදි ගම් මේ විහාරයට අයිතියි. නමුත් අද වන විට නම් ඒ බිම් ප්‍රමාණය අඩුයි. එමෙන් ම ඒ ඉඩම්වලින් විහාරයේ රාජකරි කළ ඇත්තන්ටත් ඉඩම් බෙදිලා ගිහින් තියෙනවා.”

සෙවණින් පිරි රබර් වතු යායක් මැද්දෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කර 2012 වසරේදි සොයා ගන්නා ලද පැරැණි වෙහෙර දෙසට යන අතරේ චන්ද්‍රදාස මහතා තවත් තොරතුරු පවසන්නට වූයේය.

“ඉස්සර මෙතන ලොකු ලුණු මිදෙල්ල ගහක් තිබුණේ. පස් ගොඩක් තිබුණා. මේ හරියට කියන්නේ වාගොල්ලවත්ත කියලා. ගමේ අය මෙතැන හැඳින්වූයේ කොටවෙහෙර කියලා. කැණීම් කටයුතුවලින් පස්සේ තමයි මේ චෛත්‍ය මතුකර ගත්තේ. නමුත් යම් ‍කලෙක සොරුන් විසින් මෙහි නිදන් ‍ෙහායාගන්න හාරලාලු. චෛත්‍ය ගර්භය විනාශ කරලා.” බටුවන්තුඩාවේ මහතා අතීතය ගැන පවසන්නේය.

ගම්මුන් විසින් හඳුන්වන ‍කොට වෙහෙර ඉදිකර ඇත්තේ අටපට්ටම් බැම්මක් මතය. තවමත් මේ විහාර හා ඒ අවට ලඳු කැලෑවලට යටවී ගල්කණු ආදිය ඇතැයි ගම්මුන්ගේ විශ්වාසය වේ.

අද වට්ටාරම යන නමින් මෙම විහාරස්ථානය අවට ගම හැඳින්වුවද වසර දෙදහස් තුන්සීයකට වඩා අතීතයකට හිමිකම් කියන මෙම පුරාණ විහාරය පිහිටි ගම විවිධ නම්වලින් හඳුන්වා ඇත. මුල් යුගයේ චන්ද්‍රකාන්තිපුරය ලෙසින් ද, තවත් කලෙක තලවතුපිටිය නමින් ද හැඳින්වුණු පසුව මෙම ස්ථානය වටේට ආරාම දහසක් ඉදිකෙරි ඇති බැවින් වට්ටාරම යන නම භාවිතා වන්නට ඇතැයි යන්න ගම්මුන්ගේ අදහසය. පාලි අටුවා ග්‍රන්ථවල කලල ග්‍රාම මණ්ඩලාරාම යනුවෙන් මේ විහාරය අවට හඳුන්වා ඇත.

අතීතයේ පටන් ම රහතන් වහන්සේ වැඩ විසූ බව සැලකෙන සේනාසනයක් ලෙස සැලකෙන වට්ටාරම ශ්‍රි අරහත්ත මලියදේව රජමහා විහාරයේ වර්තමානයේ විහාරාධිකාරි ලෙස කටයුතු කරනු ලබන්නේ වෑවල සමිත හිමියෝය. වට්ටාරම රජමහා විහාරයට තලාව රජමහා විහාරය හා ගල්මඩුව රජමහා විහාරය ද අයත් අතර මේ රජමහා විහාරයන් ත්‍රිත්වයේ ම විහාරාධිපති ධුරය හොබවනු ලබන්නේ කර්මාචාර්ය ගම්මුල්ලේ ශ්‍රි සුමංගල නා හිමිපාණෝය.

මෙම තොරතුරු ලබා ගැනීමට බෙහෙවින් උදව් උපකාර කළ දායක සභාවේ එච්.ජී. දන්දෙණිය මහතා විහාරස්ථානය පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.

“‍අපේ රජමහා විහාරයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ දෙදාහ වසරේදි පමණ. ඒ එවකට විහාරාධිපති ලෙස කටයුතු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාකඩවල ආනන්ද හිමියන්ගේ කාලයේ. උන්වහන්සේ මීට වසර පහකට පමණ පෙර අපවත් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ කාලයේ තමයි වලාකුළු බැම්ම, වාහල්කඩ ඉදිකෙරුණේ. එමෙන් ම ගරාවැටුණ දෙතිස්ඵල බෝධි වෘක්ෂය සංරක්ෂණය කෙරුණෙත් විහාරගෙය බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට පිළිවෙළක් වුණෙත් ඒ කාලේ. සාමාන්‍යයෙන් අනුරාධපුර පොලොන්නරු වට වන්දනාවේ යන බැතිමතුන්ගේ පළමු නවාතැන මේ විහාරය. ඒ පැමිණෙන වන්දනාකරුවන්ගෙන් ලැබෙන ආධාරයෙන් තමයි පන්සලේ වතුර බිල්පත් විදුලි බිල්පත් ගෙවෙන්නේ. අපේ විහාර‍යේ දායක ගම්මාන විසි එකක් තියෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් පන්සලේ සංවර්ධන කටයුතුවල ‍‍මේ ගම්මානවල දායකයන්ගේ දායකත්වය ලැබනෙවා. පන්සලේ අලුතෙන් ඉදිකෙරුණ ධර්මශාලාවට රුපියල් ලක්ෂ පනස්හතක් වැය වුණා. එයින් ලක්ෂ පනහක් ම වැය කෙරුවේ දායකයෝ. පන්සල අද මෙහෙම දියුණු වීම අපේ ගමට ම ආඩම්බරයක්.” දන්දෙණිය මහතා පවසන්නේ සතුටෙනි. 

 

Comments