විදුලි හිඟයට විකල්පය සූර්ය බලාගාර පිහිටුවීමයි | Page 2 | සිළුමිණ

විදුලි හිඟයට විකල්පය සූර්ය බලාගාර පිහිටුවීමයි

ජලාශවල ජලය අඩු වී ජල විදුලිය නිපදවීම සියයට 10 දක්වා අඩු වීමට තිරසර විසඳුම වන්නේ ‍රටේ මුදල් පිටරට යන ඉන්ධන හා ගල්අඟුරු බලාගාර නොව රටට ලාභදායි සූර්ය බලාගාර රට පුරා ඉදි කිරීම බව විද්‍යාඥයෝ හා පරිසරවේදිහු පවසති. දිගු කාලීනව වැඩි වන විදුලිය ඉල්ලුමටද හොඳම විසඳුම මෙය බවද ඔවුහු පෙන්වා දෙති.

විකල්ප බල ශක්තිය ලෙස ගල්අඟුරු හා ඉන්ධන භාවිතය විශාල විදේශ විනිමයක් වැයකිරීමට අමතරව රටට ඍජු පාරිසරික හානියක් ඇති වනු ඇතැයිද ඔවුහු පවසති.

මේ පිළිබඳව අදහස් දක්වන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල මහතා පවසන්නේ මේ දිනවල වැඩිපුර තිබෙන හිරු එළියෙන් ලොකු ප්‍රයෝජනයක් ගනිමින් රට පුරා සියලු වහලවල සූර්ය බල පැනල සවි කිරීමේ වැඩපිළිවෙළ වේගවත් කර, රට පුරා සූර්ය බලගාර ඒකක ඇති කළ යුතු බවයි.

රජය හා විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය ඒ සඳහා නව දිරිගැන්වීම හා සූර්ය බල පැනල මිල අඩු කිරීම් කළ යුතු බවද මහාචාර්යවරයා පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනය අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන මහතා පැවසුවේ දැනට මෙරට ජල විදුලි බලාගාරවලින් විදුලිය නිපදවනු ලබන්නේ සම්පූර්ණ ඉල්ලුමෙන් සියයට 10ක් පමණක් බවයි. ඒ වෙනුවට අමාත්‍යාංශයේ සූර්ය බල සංග්‍රාමය රටපුරා ක්‍රියාවට නංවා ඇති බවත් ඒ අනුව දැනටමත් සූර්ය බලය මඟින් මෙගා වොට් 30ක විදුලි බලයක් නිපදවා ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇති බවත් ඔහු කීය. ඉදිරියේදී රට පුරා මේ සූර්ය බල සංග්‍රාමය යටතේ අඩු මිලට ගෘහස්ථ සූර්ය බල ඒකක ලබාදෙන බවත් බැටරි ආරෝපණය කරගෙන රාත්‍රියට ඒ විදුලිය ලබාගත හැකි බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. 2020 දි මෙගා වොට් 100ක සූර්ය බලය විදුලියට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

මේ අතර ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය උපදේශක (ජල කළමනාකරණ) ආචාර්ය බී.පී. ධර්මසේන මහතාද පවසන්නේ දැනට මාස 10ක පමණ සිට සමහර ප්‍රදේශවලට නියඟය පවතින බවත් ජල විදුලි බලාගාර සිඳී යන බවත්ය. අපේ රටේ විදුලිබල අර්බුදයට තිරසර විසඳුම වන්නේ සූර්ය බලය ජනප්‍රිය කිරීම බව අවධාරණය කරන ඒ මහතා මීට අමතරව සිව් මහ ගංගාවලින් ඉවතට යන ජලය සුරැකීමට ගබඩා ජලාශ ගංගා ඉහත්තාවේ තවතවත් සෑදිය යුතු බවත් ආචාර්ය ධර්මසේන පෙන්වා දෙයි.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්මාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසුවේ මේ දිනවල වාරි ජලාශවල තත්ත්වය අනුව ඊළඟ යල කන්නයේ වී වගා කළ හැක්කේ කුඹුරුවලින් සියයට 50%ක්ම පමණක් බව පවසයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කළ හැක්කේ කුඹුරු ප්‍රමාණයෙන් සියයට 30ක් පමණක් බවත්, පුත්තලම, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කවලත් හම්බන්තොටත් මෙවර යල කන්නය සඳහා වගා කළ හැක්කේ වගා කළ යුතු කුඹුරු හා හේන් ප්‍රමාණයෙන් සියයට 10ක් පමණක් බවත් පලුගස්වැව මහතා පවසයි. 

 

Comments