99න් බේරුණු නදී­ශා­නිගේ පැරෂුට් පිම්ම | Page 2 | සිළුමිණ

99න් බේරුණු නදී­ශා­නිගේ පැරෂුට් පිම්ම

තිතට කළ නිසා නදීශානි බේරුණා

පුහුණුවීම් කළේ අලුත්ම පැරෂුට් පිම්මක් පනින්නයි

යුද හමුදා සාමාජිකයන්ගේ වීර වික්‍රමාන්විත ක්‍රියා අතර පැයට සැතපුම් 150ක පමණ වේගයකින් ඇදී යන ගුවන් යානයකින් නික්මී පනින විස්මිත පැරෂුට් පිම්ම අතිභයානකය. එහි ඇති බිහිසුණු බව නිසාම පැරෂුට් පිමි පැනීමට ඉදිරිපත් වන පිරිස සීමාසහිතය. එසේම එවැනි හපන්කම්පාන නිපුණයෝ ද හමුදාව සතුව සිටිනුයේ ඉතාම සීමිත පිරිසකි. මනා දක්ෂතාවකින් හෙබි නිපුණයන්ට වුවද එවන් ත්‍රාසජනක පිම්මකදී ක්ෂණයකින් වීමට තිබෙන අනතුර හා අවදානම ඉතාම ඉහළය. පැරෂුට් විරුවන් පෙළහර පාමින් නරඹන්නන්ට මනරම් විස්මිත දර්ශන විදහා පෑවත් එහි තිබෙන ත්‍රාසජනක බව දන්නේ ඔවුන්ම පමණි. එම නිසා ත්‍රිවිධ හමුදාව සතුව සිටින අතිවිශිෂ්ට කණ්ඩායමක් ලෙස පැරෂුට් ශූරයන් නම් කළ හැක.

එවැනි පැරෂුට් පිම්මකදී නොසිතූ මොහොතක මාරාන්තික අනතුරකින් ‘අනූනවයෙන්’ බේරුණු යුද හමුදා කාන්තා සෙබළියකගේ කතා පුවතක් පසුගිය 01 වැනිදා ඇඹිලිපිටිය ඉංජිනේරු සේවා කඳවුරෙන් වාර්තා විය. නවතම පැරෂුට් පිම්මක් වන ‘වෝටර් ජම්ප්’ නමැති පිම්ම වෙනුවෙන් කළ පෙර පුහුණුවීම්වලදී හත්වැනි කාන්තා බළකායේ ලාන්ස් කෝප්‍රල් නදිශානී ගුණතිලක එසේ මාරාන්තික අනතුරකට මුහුණ පෑවාය. එහිදී පාදයකට අනතුරක් වීමෙන් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන් එච්. එන්. එස්. එස්. විජේසූරිය ද ආබාධයකට ලක්විය.

නිසි පුහුණුව සේම වාසනාව නිසාම වීමට ගිය මාරාන්තික අනතුරෙන් බේරුණු අරණායක පදිංචි නදිශානීගේ අත්-පාවලට වූ පිලිස්සුම් තුවාල හේතුවෙන් ලිපිය ලියන මොහොතේත් ඇය යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ලිපිය ලියන අවස්ථාවේ නදිශානී ශල්‍යකර්මයකට සූදානම්ව සිටි බැවින් සිදුවූ අනතුර සේම එදා ඇඹිලිපිටිය කඳවුරේ කළ පෙර පුහුණුවීම ගැන මා හට කරුණු කීවේ එදා නදිශානී ඇතුළු පිරිස සමඟම පිමි පැනීමට ගුවන්ගත වූ ඌව කුඩාඔය කොමාන්ඩෝ පැරෂුට් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් නලින් කුලතුංග මහතාය.

“ඇත්තෙන්ම එදා කෝප්‍රල් නදිශානී මූණ දුන්නේ අපේ අත්දැකීම්වල හැටියටනම් දැඩි අවදානමකට. විශේෂයෙන්ම අධි බලැති විදුලි රැහැනක පැටලී බේරෙනවා කියන්නෙ හාස්කමක්. හැබැයි ඔය වගේ අවදානමකදී කළ යුතු උපක්‍රම කීපයක් අපි පුහුණුවීම්වලදී කරනවා. ඇය නියම වෙලාවට හැම දේම ‘තිත’ට කළ නිසා වගේම වාසනාව නදිශානිගේ ජීවිතය බේරීමට ඍජු ලෙසම බලපෑවා” යැයි පවසමින් මේජර්වරයා එදා කතාන්දරය අපට කියන්නට විය.

“පැරෂුට් පිමි 100කට 150කට වැඩිය පිමි පැනලා අපිට ඉන්න අත්දැකීම් බහුලම පිරිසක් තෝරගෙන මෙතෙක් ලංකාව තුළදී කරලා නැති ‘වෝටර් ජම්ප්’ කියන පිම්මකටයි එදා පෙර පුහුණුවීම් කළේ. නදිශානිත් පිමි 150ක් පමණ පැනලා හොඳ අත්දැකීම් සම්භාරයකින් යුතුයි. වෝටර් ජම්ප් කියන්නෙ පොළොවට පනිනවා වෙනුවට වතුරට පතිත වීමේ පිම්ම. එවැනි පිම්මක් ගැන මුලින්ම අදහස ආවේ ගියවර නිදහස් උලෙළේ පෙර පුහුණුවීමකදී සුළඟ නිසා ගාලු මුවදොර අසල මුහුදට අපේ අය එදා වැටුණා. ඒ නිසා යුද හමුදාපතිතුමා අපට උපදෙස් දුන්නා එවැනි අවස්ථාවකට මූණ දීමට පුහුණුවීම් කරන්න කියලා.”

ඒ අනුව මාස ගණනාවක් පුහුණුවීම්වලින් අනතුරුව පෙර පුහුණුවක් සඳහා පසුගිය 01 වැනිදා සහ 02 වැනිදා ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව සහ වැව ඉස්මත්තේ ඇති ඉංජිනේරු සේවා කඳවුර තෝරාගෙන ඇත.

“පළමු වැනිදා වතුරට පැනීමට හැකියාවක් තිබුණේ නෑ අපට තියෙන පැරෂුට් කැනපිවල හිඟකම නිසා. මොකද කැනපි තෙමුණම නිසි පරිදි ඔතන්න බැහැ වගේම දවසකින් වේළෙන්නෙත් නැහැ. ඒ නිසා අපි තීන්දු කළා පළමු දවසේ කඳවුරේ ක්‍රීඩා පිටියට ජම්ප් කරලා දෙවැනිදා වැවේ තෝරාගත් පෙදෙසකට ‘වෝටර් ජම්ප්’ දාන්න.” විශාල ක්‍රීඩා පිටියක් වන එය එවැනි පිමි පැනීමට හොඳටම ප්‍රමාණවත් බව මේජර් නලින් පවසයි.

කෝප්‍රල් නදිශානීට වූ මාරාන්තික අනතුර ගැනත් තුවාල වීමෙන් අනතුරුව ඇය පැවසූ වදනුත් මේජර්වරයා අප හා ‍මෙසේ ප්‍රකාශ කළේය.

“අපි ඔක්කොම 19 දෙනෙක් ගුවන්යානයට පිවිසුණා. මුලින් 9ක් පැනලා දෙවනුව 10ක් පනින්නයි සූදානම් වුණේ. අඩි දස දහසකිනුයි ජම්ප් කළේ. මුලින් පැනපු නවදෙනාගෙන් අවසානයටයි නදිශානී පොළොවට පතිත වීමට සිටියේ. මෙතැනදී වෙලා තියෙන්නෙ මෙහෙමයි. එයාට ඉස්සර වෙලා ආවේ පොළොවට පතිත වීමේදී කකුල තුවාල වුණු කැප්ටන් විජේසූරිය. කැප්ටන්ට වුණු ආබාධයත් සමඟ ක්‍රීඩා පිටියට පිරිස දුවගෙන ඇවිත්. ඒත් සමඟම ගිලන් රථයකුත් පැමිණිලා. විජේසූරියට පිටුපසින් ආ නදිශානී පොළොවට ආසන්නයේදී පහළ වෙන නොසන්සුන් බව දැකලා ඇයගේ අවධානය වෙනස් වෙලා.

ඒ ක්ෂණයෙන් ඇයගේ පතිත වීමේ ස්ථානයද වෙනස් වෙලා. පසුව ඇය ක්‍රීඩාංගණයෙන් එළියට යෑමත් සමඟ තීන්දු කරලා කඳවුරේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස තිබෙන ඉඩ ප්‍රමාණයට ජම්ප් කරන්න. අවාසනාවට ඇය ළඟට එනකල්ම අධිබලැති විදුලිය රැහැන් දැකලා නෑ. ඇයනම් කියන්නෙ අඩි දහය පහළොවකදී වගේ දුරකදීම ඇය විදුලිය රැහැන් දෙසට ඇදලා ගත්තා වගේ දැනුණා කියලයි.(එවන් ඇදී යෑම් අධි වෝල්ටීයතාවකින් යුතු විදුලිය රැහැනකින් විය හැකි සිදුවීමක් බව ඒ පිළිබඳ විශේෂඥයන්ගේ ද මතයයි.)

ඉන්පසු නදිශානි ක්ෂණයෙන් විදුලි රැහැන් දෙකක පැටලිවීමට නොදී එක් රැහැනකට කකුල තියා අනිත් පැත්තට වැටුණු බව නදිශානි අපට පැවැසුවා” තත්පර ගණනක් විදුලි රැහැනේ පැරෂුටය සමඟ නදිශානී එල්ලී සිටින කාල පරාසය තුළදී විශාල පිපුරුම් ශබ්දයක් නඟමින් ගිනි ජාලාවක් පිටවන අයුරු තමාද සියැසින් දුටු බව මේජර් නලින් කීවේය.

ඒත් සමඟම ඇය පැරෂුටයෙන් ඉවත්වී (කට්වේ) පොළොවට වැටී ඇත.

කෝප්‍රල් නදිශානිගේ මනා පුහුණුවත් නිර්භීතකමත් සමඟින් වාසනාව නිසාම ලංකා පැරෂුට් ඉතිහාසයට එක්වන්ට ගිය ‘කළු පැල්ලමක්’ වියැකී ගියේය. 

 

Comments