ළඳුනේ.. ළඳුනේ ගෙල දිගැති ළඳුනේ! | Page 2 | සිළුමිණ

ළඳුනේ.. ළඳුනේ ගෙල දිගැති ළඳුනේ!

නගරය පසු කරමින් කඳුකර මාවතක් දිගේ වාහනය ඇදී යද්දී මඟ දෙපස පසු කෙරෙන විසල් ගස් මා නෙතට ගෙන ආවේ සුපුරුදු බවකි. අප කවුරුත් හොඳින් හඳුනන කොස්, කැන්ද, අඹ, අරලිය හා ඇහැළ ගස් අතරින් මා නොදන්නා විසල් ගස් සමූහයක් ද වේගයෙන් අප පසුකරගෙන යයි. වාහනය බෑවුම නඟිමින් තවත් ඉහළට ඇදෙද්දී මට දැනුණේ මා මේ පසු කරන්නේ අප රටේ කන්ද උඩරටට ප්‍රවේශ වන කඩුගන්නාව පේරාදෙණිය ඉසව්ව ලෙසය. හාත්පස පෙනෙන දර්ශනය අප රටේ මෙන්ම චමත්කාරජනකය. එහෙත් මා සිටින්නේ අන් රටකය. තායිලන්තයේ බැංකොක් අගනුවරින් ගොඩබිමින් නම් පැය දොළහක දුරකය. ගුවනින් ඒ දුර ගෙවීමට ගත වන කාලය පැය එකහමාරකි.

උතුරු දිග තායිලන්තයේ කඳුකර ප්‍රාන්තයක් වන චියන් මායි සාමාන්‍යයෙන් සිසිල් දේශගුණයකින් යුතු ප්‍රදේශයකි. එහෙත් අප එහි සංචාරය කළ අප්‍රේල් මාසයේ නම් අප රටේ මෙන්ම එහිද වූයේ තරමක උණුසුම් කාලගුණයකි. තායිලන්තයේ උතුරු දිග ලාඕස සහ කාම්බෝජ දේශ සීමා ආසන්නයේ වනගත ගම්මානවල ජීවත් වන ජිරාෆ් ගැහැනුන් හෙවත් ගෙල දිගු කාන්තාවන් පිළිබඳ මා අසා තිබුණේ අන්තර් ජාල තොරතුරු මගිනි. චියන් මායි පළාතට පා තැබූ දා පටන් මා සිත වෙළී පැවතියේ එම කාන්තාවන් දැක බලා ගැනීමේ දැඩි කුතුහලයකි. චියන් මායි ප්‍රධාන නගරයෙන් බැහැරව රටේ තවත් උතුරු දිග ප්‍රදේශයක් කරා අප රැගත් වාහනය ඇදී ගියේ ඒ කුතුහලය සමනය කරගනු සඳහාය.

එම කාන්තාවන් වාසය කරන ගෝත්‍ර ගම්මාන කරා ළඟා වූ මට සිහිපත් වූයේ අප රටේ ඈත පිටිසර දුෂ්කර කඳුකර ගම්මානයකි. චියන් මායි පළාතට විශේෂ සංචාරක ආකර්ෂණයක් ගෙනෙන ගෙල දිගු කාන්තාවන් වෙසෙන ගම්මානය කරා ළඟාවූ අපි ගම්මානයට පිවිසීමට ප්‍රවේශ පත් මිලදී ගත යුතු වෙමු. අප පසුව දැනගත් පරිදි ගම්මානයේ යටිතල පහසුකම් නඩත්තුව සඳහා වැය කෙරෙනුයේ එම ප්‍රවේශ පත්වලින් ලැබෙන ආදායමයි. ප්‍රවේශ පත් රැගෙන ගම්මානයට පිවිසුණු වහාම අප වෙත දිව ආයේ ඉතා විචිත්‍ර වර්ණවත් ලෝගුවැනි ඇඳුමින් සැරසුණු වයස අවුරුදු 11ක 12ක තරමේ වූ දැරියන් දෙදෙනෙකි. ඔවුන්ගේ හිස් වර්ණවත් රෙදිකඩවලින් හා මල් ඔටුනුවලින් සරසා තිබිණ. සිනාමුසු මුහුණින් අප වෙත ළඟාවූ මේ දැරියෝ අප කණ්ඩායමේ වූ ඔවුන්ගේම වයසට සමාන වයසකින් යුතු අප දියණියන් දෙදෙනකුගේ අතින් අල්ලා ගත්හ. එතැන් පටන් ගමවටා අප කැටුව යන ගමනේ මාර්ගෝපදේශිකාවන් වූයේ ඔවුන්ය.

දිගු ගෙල සහිත කතුන් දැකීමට පැමිණෙන අප මෙන් වූ සංචාරකයන් ඔවුනට හොඳට හුරුපුරුදුය. නිතරම සිනාමුසු මුහුණින් සිටියත් ඔවුහූ වදනකුදු නොදොඩති. ඊට හේතුව කෙතරම් සංචාරකයන් ගමට පැමිණියද ඔවුන් ඉංග්‍රිසි වදනක් හෝ නොදැනීමය. ඒ දැරියන් හා අප අතර සියලු අදහස් හුවමාරු වූයේ කෙටි ඉංග්‍රිසි වදනින් හා හස්ත මුද්‍රාවෙනි. නුහුරු නුපුරුදු ජාතියක වුව කුඩාවුන් වූ නිසාම මද වේලාවක් යද්දී එම දැරියන් අප දියණියන් හා මිතුරු වූයෙන් එතැන් පටන් ඔවුන් හා අදහස් හුවමාරුව පහසු විය.

අපි ප්‍රථමයෙන්ම ඉන් එක දැරියකගෙන් ඇගේ නම හා වයස විමසීමු. දැඩි පරිශ්‍රමයකින් පසු අප අසන්නේ කුමක්දැයි ඇය තේරුම් ගත්තාය.

“ලා” දැරිය පැවසුවාය. අවසන දෑඟිලි එක්කර ඇගේ වයස අවුරුදු 11ක් බවද දැක්වූවාය. ලා ගේ පිළිතුරත් සමඟ අනෙක් දැරියගේ මුවින් ද වදනක් පිටවිය. එයද තනි අකුරේ පදයකි.

“ නේ” ඳෑඟිලිවලින් පැවසූ පරිදි ඇගේ වයස 12කි.

ලා සහ නේ මෙලෙස අප කැටුව යන්නේ එම ගම්මානයේ පදිංචි ගෙල දිගු කාන්තාවන් පදිංචි නිවෙස් කරාය. කුඹුරු යායක් මැදිකර පිහිටි ඒ ගෝත්‍ර ගම්මානයේ නිවෙස් බොහොමයක් තනා තිබුණේ ලී දඬු හා කොළ අතුවලිනි. විශාල කොට්ටම්බා සහ තේක්ක කොළ අපූරුවට එක පෙළට තබා ලී කූරු ගසා අමුණා වියන ලද පොල් අත්තක් මෙන් තනා ඉන් නිවෙස් ආවරණය කර තිබිණි. එම නිවෙස්වල ගඩොල් බිත්ති නොමැති තරම්ය. ඉඳහිට නිවෙසක ටකරන් සෙවිලි කර තිබූ වහලවල් මතද උණුසුමෙන් ආරක්ෂා වීමට කොට්ටම්බා කොළ පැළලි අතුරලාය. මේ සෑම නිවෙසක්ම ලී කොට උඩ තනා නිවෙස්වලට ගොඩවීමට ලීයෙන් කළ කෙටි ඉණි මං තබා තිබිණ.

ගමේ සිරියාව බලමින් මදක් ගම මැදට යද්දී “අන්න අන්න, අර බලන්න” යනුවෙන් පවසමින් එක්වරම නිවෙසක් පෙන්වමින් අප දියණියක් හඬ නැඟුවාය. එදෙස බැලූ මා දුටුවේ මා මෙතෙක් දැකීමට බලා සිටි දිගු ගෙලැති කාන්තාවක අත් යන්ත්‍රයකින් රෙදි වියමින් සිටින අන්දමය.

සැබැවින්ම ඇගේ ගෙල අපගේ ගෙල මෙන් තුන් ගුණයක් පමණ දිගය. ඒ ගෙල වටා එතුණු තඹ කම්බි දඟරයකි. අමුතු සතකු දුටුවාක් මෙන් පුදුමයට පත් අපි සැවොම ඇය වටකර ගත්තෙමු. එහෙත් අපේ වටකර ගැනීම ඇ‍යට වගේ වගක් නැත. සිනාමුසු මුහුණින් ඇය පාඩුවේ රෙදි වියන්නීය. අප සමඟ පැමිණි දැරියන්ගේ මෙන් ඇගේ ද ඇඳුම් විචිත්‍රය. වර්ණවත්ය. හිසේ වෛර්ණ රෙදිකඩක් බැඳ ඊට උඩින් මලින් සරසා ගෙනය. අප වැනි සංචාරකයන්ගේ නෙතට රසඳුනක් දීමට සැරසී සිටිනවා වැනිය. සැබෑවද එයමය. ඔවුන් එලෙස සැරැසී දෛනික දිවියේ කටයුතුවල යෙදෙමින් බලා සිටින්නේ අප වැනි සංචාරකයන් එනතුරුය. සංචාරකයන් පැමිණ මිලදී ගන්නා යමක් ඔවුන්ගේ එකම ආදායම වේ.

ගම්මානයේදී අප පළමුවෙන් දුටු කාන්තාව හා මම හස්ත මුද්‍රාවෙන් සහ අපගේ මඟ පෙන්වන්නියන්ගේ ආධාරයෙන් අසීරු කතාබහක යෙදුණෙමි.

ඇය මතාක් ය. ඇයට අනුව වයස අවුරුදු 65කි. ගෙලට දමා ගත් තඹ වළලු හැරුණු විට ඇය දෑතට හා දෙපයේ වළලු කරටද තඹ වළලු දමා සිටියාය. මතාක් රෙදි වියමින් සිටියේ ඔවුන්ටම ආවේණික ඉතා ප්‍රාථමික මට්ටමේ යන්ත්‍රයකිනි.

“ මගේ කරේ වළලු දැම්මේ වයස අවුරුදු පහේදී” ඇය පැවසුවාය. ඒ වළලු ගලවා පෙන්විය හැකි දැයි ඇසූ කල හිස වනා ඇය ඒ ප්‍රතික්ෂේප කළාය.

කාරේන් නම් වන මේ ගෝත්‍රික ජනයාගේ මුල් බිම බුරුමයයි. තායිලන්ත‍ දේශ සීමාව ආසන්න බුරුම කඳුකරයේ පදිංචි මේ ගෝත්‍ර ජනතාව අතරින් කොටසක් අසූව හා අනූව දශකයන්හි දී එරට කාරෙන්නි බෙදුම්වාදීන් හා රජයේ බුරුම හමුදාව අතර ඇතිවූ සිවිල් කලකෝලාහල හේතුවෙන් දේශ සීමාව හරහා උතුරු තායිලන්තයට පලා ආහ. එසේ පැමිණ තායිලන්ත කඳුකරයේ තැනින් තැන පදිංචිව වගා කටයුතුවල හා සතුන් ඇති කරමින් ගෝත්‍ර වශයෙන් ජීවත්වෙති. තායිලන්ත රජය ඔවුනට පුරවැසිභාවය ලබා නොදුන්නද මෙලෙස තැනින් තැන සරණාගතයන් ලෙස පදිංචිව තමන්ම හම්බ කර ගනිමින් ජීවත් වීමට අවසර ලබා දී තිබේ. ඇතැම් පළාතක රජය මගින් ආදර්ශ ගම්මාන සකසා ගෝත්‍ර පහක් පමණ එක ගම්මානයක රඳවා ජීවත් වීමට ඉඩ සලසා ඇත්තේය. එසේම ඔවුන්ට වෙන්වූ ගම්මානවලින් පිට පදිංචියට ද අවසර නැත. ඒ නිවෙස්වලට විදුලි බලය නැත. දරුවන්ට පාසල් නැත. සෞඛ්‍ය පහසුකම් ද නැත. එසේ වුව සිය මවු රටේ ජීවත් වනවාට වඩා මෙරට ජීවත් වීම ඔවු‍න්ට දාහෙන් සම්පතකි.

අප මතාක් ගෙන් දැන ගත් පරිදි ගෙල වටා වළලු පැලඳීම ඔවුන් දැන් සිදු කරනුයේ විලාසිතාවක් හා සම්ප්‍රදාය රැක ගැනීමක් ලෙසිනි. මේ වළලු පැලැඳීමේ ඉතිහාසය සොයා බලද්දී සඳහන් වන්නේ ඈත අතීතයේ දර කැඩීමට යන කාන්තාවන්ගේ ගෙලට කොටින් පැනීමෙන් සිදුවන හානි වළක්වා ගැනීමට මෙසේ තඹ වළලු පැලැඳි බවය. එහෙත් පසුව රූමත්බවේ අංගයක් ලෙස හා අන් ගෝත්‍ර අතරින් වෙන්ව පෙනීමට තඹ වළලු පැලැඳීම දිගටම කර ඇත්තේය.

ගම්මානය මැද්දේ ඇවිද යන අතරතුරදී අප දුටුවේ තැනින් තැන තම නිවෙස්වලටවී එදිනෙදා වැඩපළෙහි යෙදෙන ගෙල දිගු කතුන්ය. ගෙල වටා වළලු හිර කරගත් වයස්ගත, මැදිවියේ මෙන්ම තරුණ වියේ පසුවන කාන්තාවෝ ද එහි වූහ.

“අනේ ඉතින් මෙයාටත් තව ටික දවසකින් මේ දේම තමයි” නිවෙසක් ඉදිරිපිට දුව පැන සෙල්ලම් කරමින් සිටි අවුරුදු පහක තරම් වූ කුඩා දැරියක දුටු අප අතරින් කෙනකුගේ මුවින් ගිලිහිණි.

වයස අවුරුදු පහක් තරමේ දී ඔවුන්ගේ ගෙල වටා ‍එතෙන්නේ වට පහක් හයක් තරම් වූ තඹ කම්බියකි. වසරින් වසර දැරිය වැඩෙද්දී එයට තවත් කම්බි රවුම් එකතු වේ. මෙලෙස එතෙන මුළු තඹ කම්බි වළලු ගොන්නක බර කිලෝ 10කට වැඩිය. මේ කතුන් රාත්‍රියේ නින්දට යනුයේ ගෙලට බංකුවක් තබා ගෙනය. කම්බි එතීමද කාන්තාවන් විසින්ම කරන අතර තවත් එකක් එකතු කිරීම මිස එතූ කම්බි වළල්ලක් කිසිසේත්ම නොගලවති. එක වළලු දඟරයක් එතීමට පැය දෙකක පමණ කාලයක් ගතවන බව මතාක් අප හා පැවසුවාය.

මෙහිදී අප දුටු විශේෂයක් වූයේ ගම්මානයේ ඒ දිවා කාලයේ වයස්ගත පිරිමින් හැරුණු කොට වැඩිපුර සිටියේ කාන්තාවන් වීමය. ඒ ගැන විමසීමේදී දැන ගත්තේ පිරිමි බොහෝ දෙනෙක් ඒ ආසන්න සංචාරකයන් සඳහා අලින් පෙන්වන ස්ථානවල අලි බලන්නන් ලෙස සේවයට යන බව සහ තවත් අය කම්කරු රැකියාවල යෙදෙන බවය. නිවෙස්වල සිටින කාන්තාවෝ රෙදි වියමින් අත්කම් භාණ්ඩ තනමින් එදිනෙදා යමක් උපයා ගැනීමට උත්සාහ කරති.

මරියා ගමේ ඇවිද යද්දී අප කතාබහ කළ තවත් තරුණියකි. ඇය 18 හැවිරිදිය. ඉතා පැහැපත් මේ තරුණියෝ මුව ආලේපන ගල්වා විසිතුරු ඇඳුමින් සැරසී සිටිති. තමන් මේ තඹ වළල්ල ගැලවීමට කැමැති බවත් එහෙත් එවිට කිසිවකු හෝ ඇය දෙස නොබලනු ඇති බවත් ඇය පැහැදිලි කළාය.

මේ තඹ වළලු නිසා ඔවුන්ගේ ගෙල දිගු වෙතැයි සිතුවද එය එසේ නොවන බව වෛද්‍යවරුන් විසින් කළ පැහැදිලි කිරීම්වලදී හෙළිවිය. එහිදී සිදු වන්නේ ගෙලට බරැති වළලු පැලැඳීම නිසා උරහිස් ඇටයේ හැඩය වෙනස්වී පහළට තල්ලුවීමෙන් ගෙල දිගුවට පෙනීමය.

“මෙය කුමන නම් කරුමයක්ද?” මේ කාන්තාවන් දෙස බලා සිටි මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි. ගෙලෙහි තුවායක් හෝ ඔතාගෙන අප සිටින්නේ කුමන අපහසුතාවකින්ද? මේ සියල්ල අප වැනි සංචාරකයන් මෙතැනට ගෙන්වා ‍ගැනීමටය යන සිතුවිල්ලෙන් මිදීමට නොහැකිව මම බලා සිටියෙමි. බටහිර රටවල සංචාරකයන් මෙවැනි ගම්මාන හඳුන්වන්නේ මිනිස් සත්ත්වෝද්‍යාන ලෙසය. මිනිස් අයිතිවාසිකම් ගැන මහ ඉහළින් සිතන ඇතැම්හූ මෙවැනි ගම්මාන නැරැඹීමට යෑමෙන් වැළකී සිටින ලෙස සමාජ ජාල ඔස්සේ ඉල්ලා සිටිති. එහෙත් මේ ජනතාව අතට කීයක් හෝ ලැබෙන්නේ සංචාරකයන්ගෙනි. ඔවුන් බඩ වියත රැක ගන්නේ එමගිනි.

Comments