ආගමික භක්තියෙන් ඉහළට සාරධර්ම අතින් පහළට | සිළුමිණ

ආගමික භක්තියෙන් ඉහළට සාරධර්ම අතින් පහළට

 ලෝකයේ ආගමික නැඹුරුව වැඩිම රටවල් අතරින් සිව්වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව 'මුහුණු පොත' ඔස්සේ දැනගන්නට ලැබිණි. මුහුණ පොතට මේ තොරතුර එක් කර තිබු⁣ණේ අශෝක හඳගම විසිනි. ඒ තොරතුරට අනුව ලෝකයේ ආගමික නැඹුරුව වැඩිම ජනතාවක් වෙසෙන්නේ ඉතියෝපියාවේය. දෙවැනි තැන සිටින්නේ මලාවි නම් වන තවත් අප්‍රිකානු රටකි. තුන්වැනි තැන හරියටම මතක නැති වුවද එය අමෙරිකා හෝ යුරෝපා මහාද්වීපවලට අයත් දියුණු රටක් නොවන බව නම් මතකය. සිව්වැනි තැන සිටින්නේ අපිය.

ආගමික නැඹුරුව අතින් වැඩිම රට කියූ පමණින් බොහෝ දෙනා කියනු ඇත්තේ 'ඉතිං හොඳයිනේ' කියාය. හරි ඉතිං හොඳයි තමයි. එහෙත් එසේ වන්නේ සැබවින්ම ආගමික නැඹුරුව වැඩි ජනතාවක් සිටිනවා නම්ය.

අපේ ජනතාව වැඩි නැඹරුවක් දක්වන්නේ අාගමට නොවේය; මිථ්‍යාවටය. ප්‍රශ්නය ඇත්තේ එතනය.

ඔය සමීක්ෂණය කරන විට අපේ මිනිසුන් ආගමික සිද්ධස්ථානවල ගෙවන කාලය ආගමික සිද්ධස්ථානවලට යන වාර ගණන ආදිය නොඅනුමානව ගණන් බලන්නට ඇත. අපේ මිනිසුන් බැලූ බැල්මට ජීවිතෙන් වැඩිම කාලයක් ගෙවා දමන්නේ පන්සලේය. පෝයටත් පන්සල් යන්නේය. අවුරුද්දටත් පන්සල් යන්නේය. උපන් දිනයටත් පන්සල් යන්නේය. කොටින්ම කිව්වොත් දැන් වෙඩින් එක ගන්නෙත් පන්සලේය. ඉතින් ආගමට නැඹුරු නැතැයි කීම⁣ට කාටවත් බැරිය.

අමතරව පන්සල් ගොස් බෝධි පූජා තබන්නේය. බෝධියේ කොඩි ගැටගහන්නේය. දේවාලයටත් යන්නේය. පන්සල් යන අය සුවිශේෂ පල්ලිවලටද යන්නේය. පල්ලි යන අය පන්සල්වලටද යන්නේය. මේ කවුරුකවුරුත් කෝවිල් යන්නේය. මේ කොහේ නොගියත් දෛවඥයා ළඟට නම් යන්නේය. ඉතිරි වැඩ ටික ඒ අනුව පිළියෙල කරගන්නේය.

අපේ ආගමික නඹුරුව අන්න එහෙමය. අපි ඉතියෝපියව හා කරට කර සටනක නියැළෙන්නේ ද ඒ අනුවය. අදත් රටක් ජාතියක් ලෙස ඉබාගාතේ යමින් සිටින්නේද ඒ අනුවය. ආගමික නැඹුරුව අතින් සිව්වැනි තැනට පැමිණීම ගැන දුක හිතෙන්නේ ඒ නිසාය. ඒ ආගමකට වඩා දර්ශනයට සමීප අප සතු අති ශ්‍රේෂ්ඨ බුදුදහම වෙනුවට මිථ්‍යාව සමීප කරගැනීම නිසාය.

බුදුදහම ආමන්ත්‍රණය කරන්නේ මනසටය; හිතටය. එය පුද්ගලබද්ධය. පුද්ගලයා හික්මීම යනු අවසානයේ සමාජය හික්මීමය. නියම බුදු දහම අනුගමනය කළේ නම්, ඔය කියන තරම් වන නැඹුරුව නියම බුදු දහම කෙරෙහි වූයේ නම් අද රටක් සමාජයක්⁣ ලෙස අප අතිවිශාල දියුණුවක් අත්පත් කරගෙන සිටිය යුතුය. ජාතිවාදය, ආගම්වාදය පැත්ත පළාතකවත් නොතිබිය යුතුය. පන්සිල් සුරකින සමාජයක් බිහිව තිබිය යුතුය. ඒ අනුව ජන සමාජය ලබන දියුණුව විශේෂයෙන්ම ආධ්‍යාත්මික දියුණුවක්ද වනු ඇත. එහෙත් ලෝකයේ සිව්වැනි තැනට ආවද අප අත්පත් කරගෙන ඇති භෞතික හෝ ආධ්‍යාත්මික දියුණුවක් නැත. ඒ වෙනුවට සිදු වන්නේ දිනෙන් දින වළ පල්ලට යෑමය.

කණගාටුට කරුණ එයය. අතිඋතුම් දර්ශනයක් පදනම ලෙස තිබියදී මිථ්‍යාව පසුපස හඹා යෑමය.

මේ මිථ්‍යා වන්දනය අද ඉස්මුරුත්තාවේ ගොස්ය. එය සිදු වන්නේ ක්‍රමිකවය. මිථ්‍යා වන්දනය ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් පැවතුණද ක්‍රමිකව අද එය රාජ්‍ය ආගම බවට පත් වන තැන දක්වා පැමිණ තිබේ. මෑත කාලීනව තරම් මිථ්‍යාවට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු යුගයක් ඉතිහාසයේ නැත.

කලෙක අප රටේ සියල්ල තීරණය කිරීමේ බලය රාජකීය දෛවඥයා සතු විය. පාලකයා තම ඇඟිලිවල වෙරළු ගෙඩි තරම් විශාල මැණික් සහිත මුදු දමාගෙන, යන-යන තැන ජය ගෙන දෙන ජය කුන්ත අතේ තබාගෙන සිටින්නේය. රටේ ජනතාවට පූර්වාදර්ශය වන්නේ පාලකයාය. ඉතින් පාලකයා මෙසේ වන කල ජනතාව ගැන කුමන කතාදැයි අමුතුවෙන් කිව යුතු නොවන්නේය.

අපේ රටේ පාලකයන් මිථ්‍යාව පසුපස ගියේ අද ඊයේ නොවේය. ඒ සම්බන්ධයෙන් ලස්සන ඉතිහාසයක් තිබුණද ඒ අතීතය ගැන කතා කිරීම තනිකරම කාලය කාදැමීමකි. අනික් අතට ගැටලුව ඇත්තේ අතීතයේ නොවේය. අතීතය මත ගොඩනැගී ඇති වර්තමානයේ අපේ ජනතාව ලෝක වාර්තා අතරට යන තරමට මිථ්‍යාව පසුපස දිව යමින් සිටින අතර, ඒ හේතුවෙන්ම අනාගතය ගැනද බිය විය යුතුව තිබේ.

මිථ්‍යාව පසුපස ගොස් දියුණු වු ර⁣ටක් ජාතියක් මෙලොව නැත. එසේ වේයැයි සිතීමද උගහටය. පසුගිය අලුත් අවුරුද්දේ නැකත් දෝෂසහගතයැයි ඇතිවූ කතාබහකදී දෛවඥ ඉන්දික තොටවත්ත අගය කළ යුතු කතාවක් කියා තිබුණේය. ඔහු කියා තිබුණේ අවුරුදු චාරිත්‍ර යනු හුදෙක් සංස්කෘතික කටයුත්තක් පමණක් බවත්, සුබ අසුබ කියා දෙයක් එයින් බලාපොරොත්තු විය යුතු නැති බවත්, එසේ නැති නම් සුබයැයි පොදු මතයක පැවති නැකත්වලට චාරිත්‍ර කළ අවුරුදුවල රටට මහා සෞභාග්‍යයක් අත් විය යුතුව තිබු බවත්ය. එහෙත් එසේ නුවූ බවද ඉන්දික තොටවත්ත අවධාරණය කර තිබිණි.

සියල්ල ජ්‍යොතිෂය මත පටවා ගත් විට ලැබෙන ප්‍රතිඵලය සැබවින්ම දැන් අපේ ජන සමාජය වැනිය.

ජ්‍යෝතිෂ සම්පූර්ණ මිථ්‍යාවක්යැයි කිසි සේත් බැහැර කළ යුතු නැත. සැබවින්ම එය විද්‍යාවකි. එමගින් ගණනය කර පෙන්වා දෙන්නේ අප විසින් කරන ලද කර්මයන්හි පලවිපාකයන්යැයි සරලව පැවසිය හැකිය. දහමට අනුව 'කළ පව් පල දෙවා මිස' නපුරු කල නික්ම යන්නේ නැත. කාලය පැමිණි විට තමන් හිඳ සිටින පුටුවේ සිට ජීවිතය දක්වා අත්හැරීමට සිදු වීම සැමට පොදු ධර්මතාවකි. එහෙත් කිසිවකුත් මේ දහම වටහා ගන්නා බවක් පෙනෙන්නට නැත‍.

අපේ මිනිසුන් අල්ලාගන්නේම වැරදි තැනින්ය. මේ තරම් අගනා දහමක් ගුරු කොට ගැනීමේ පින තිබුණද ඔවුන් ඒ ගැන අල්ප මාත්‍රයක අවධානයක් යොමු කරන්නේ නැත. බුදු දහම ගැන සොයනවා වෙනුවට ඔවුහු බුදුන් උපන් තැන සොයමින් යන්නෝය; බුදුන් 'අපේ' කරගන්නට යන්නෝය. බුදුන් උපන්නේ ලංකාවේයැයි කියමින් ඒ ගැන මරාගෙන මැරනේනට යන්නෝය. එහෙත් ඒ දක්වන දැඩි උනන්දුව දහම හැදෑරීමට දක්වන්නේ නැත. දුක හිතෙන්නේ ඒ ගැනය.

බුදු හාමුරුදුරුවන් වරක් පැවසුවේ තමන් දෙසූ දහම අවබෝධ කරගැනීමට කිසියම් නුවණක්ද අවශ්‍ය වන බවය. ඒ අනුව අපට හිතන්නට ඇත්තේ නුවණ නොමැතිකම මේ සියල්ලට හේතු වී ඇති බවය. යළිත් දුක හිතෙන්නේය. එහෙත් දුක් විය යුතු නැති වන්නේ අප කිසියම් දෙයකින් ලෝකයේ අංක එකට ආසන්න වෙමින් සිටින එක ගැනය. ඒ, ආගමික නැඹුරුව හෝ සියදිවි නසාගැනීම හෝ මොන ඉටිගෙඩියක් හෝ විය හැකිය. එහෙත් අපි ලෝකයේ අංක එකට ඔන්න මෙන්න කියා සිටින්නෙමු.

'ආඩම්බරයි ලෝවා මහ පායේ කණු...'

 

Comments