ගුරු සේවයේ රස­කතා | Page 2 | සිළුමිණ

ගුරු සේවයේ රස­කතා

නිකං ඉන්නව අයිසේ

සරත් විජයරත්න

ලුණුවිල

ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇති පරිසරය අතිශයින් ම චමත්කාරය‍. එක් පසෙකින් ගමේ පන්සලත්, අනෙක් පස නිල්වන් ජලයෙන් සපිරුණු වැවත්, වැව පසුබිම් කරගත් ක්‍රීඩා පිටියත් විදුහලට අමුතුම සුන්දරත්වයක් ගෙන දුන්නේ ය. මෙම ආස්වාදජනක පරිසරයට අපි බෙහෙවින් ඇලුම් කෙළෙමු. අපි උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 60 ‍දශකයේ මෙම පාසල හැඳින්වූයේ ලුණුවිල මහා විද්‍යාලය නමිනි. ජවන පිටිය මලල ක්‍රීඩා අංශයෙන් අප විදුහල ‍ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අවදි‍යකි.

විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළ, විජය, ගැමුණු, තිස්ස නිවාස අතර ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය විය. නිවාස බාර ගුරුවරුන් පත්කිරීමේදී, ක්‍රීඩා නායකත්වය දැරූ ගැමුණු නිවාසය බාරවූයේ ඉංග්‍රීසි ගුරුවරයකු වූ වීරමන් සර්ට ය. එතුමා පිට පළාතකින් පැමිණියකු වූ අතර ගමේ ප්‍රභූ නිවෙසක නවාතැන් ගෙන සිටියේ ය. සෙසු ගුරුවරු ද තම නිවාස ජයග්‍රහණය සඳහා ඇප කැපවී ක්‍රීඩා පුහුණු කිරීම් කටයුතු නොකඩවා කරගෙන යන අතර දර්ශනීය ලෙස නිවාස ඉදිකිරීම් උදෙසා සිසුන් යොමු කරන්න වූහ.

නියමිත දිනය උදාවිය. විශේෂයෙන් ඉදිකළ මඩු කූඩාරම් මවුපිය ඇතුළු අමුත්තන්ගෙන් පිරී ඉතිරී තිබිණි. ජය ඝෝෂා මැද ක්‍රීඩකයෝ තරග බිමට අවතීර්ණ වූහ.

ක්‍රමයෙන් කාලය ඉක්ම යද්දී ගැමුණු නිවාසය මලල ක්‍රීඩා ඉසව්වලින් ප්‍රථම ස්ථානය ලබා ඇති බව ඔල්වරසන් හඬ මැද වරින්වර නිවේදනය විය. විශිෂ්ටතම නිවාස නිර්මාණයට විජය නිවාසය පළමු තැන ලබාගත්තේ ය.‍

එසැණින් විජය නිවැසියෝ ජය ඝෝෂා නගමින් තම නිවාස ධජය පෙරටු කොට අභියෝග කරමින් පිටිය වටා යමින් ගැමුණු නිවාසය ඉදිරිපිටදී ගැටුමක් ඇති කරගත් හ.

ගැමුණු නිවාසය බාර වීරමන් සර් ඉතා සංවේදී, සාමකාමී අහිංසක ගුරුවරයකු වූ අතර කිසි වි‍ෙටකත් ගැටුම් නොරිස්සූ එතුමා වහාම පිටියෙන් ඉවත්ව ගියේ ය. මලල ක්‍රීඩා විජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි අපි, “අ‍ෙප් සර්ව උස්සගෙන පිට්ටනිය වටේ යමු... වරෙල්ලා...” යැයි කෑගසමින් සර් පිටවී ගිය ඉසව්ව දෙසට දුව ගියෙමු. ළමයි සර්ට පහරදීමට පන්නාගෙන එනවා යැයි වරදවා වටහාගත් අපේ ගුරුතුමා මහපාර දෙසට වේගයෙන් පියවර නැඟීය.

“සර් නවතින්ඩ! නවතින්ඩ! මම යටගිරියෙන් කෑගසමින් යහළුවන් සමඟ ‘සර්’ පසුපස ලුහුබැන්දත් එතුමා නොපෙනී ගියේ ය.

යන්තම් අඳුර වැටෙමින් තිබිණ. පාපැදියක පිටුපස නැඟී යමෙකු යනවා දුටු අපි ඒ පසුපස හඹා ගියෙමු. වැව් කණ්ඩිය ඔස්සේ ගිය පාපැදිය සර් නවාතැන් ගත් නිවෙස පිහිටි ගුරුපාරට හැරෙනවාත් සමඟම අපි එය හරස් කර ‘සර්’ ඔසවා ගත්තෙමු.

“නිකා ඉන්නව අයිසේ! මට කරදර කරන්ඩ එපා! යන්ඩ දෙනව අයිසේ! ‘සර්’ කෑගසද්දී අපි එතුමා ඔසවාගෙන, ගැමුණු කොඩිය ලෙළවමින් ජයඝෝෂා කරමින් පිට්ටනිය වටා නටමින් ගමන් කරද්දී නරඹන්නෝ අත්පොළසන් දෙන්න පටන් ගත්හ.

ඒ මොහොතේ අපේ නිවාස බාර ගුරුතුමාගේ මුහුණේ ඇදී ගිය අහිංසක සිනහව මගේ මතකයේ තවමත් රැඳී ඇත.

 

ඉබි හබය

ආනන්ද සරත් ගුණසේන

කන්දෙගෙදර

එය ප්‍රධාන නගරයෙන් තතරමක් ඈතින් පිහිටි මධ්‍ය මහා විද්‍යාල‍යකි. විදුහල්පතිතුමාගේ සහායට නියෝජ්‍ය විදුහල්පති දෙපළක් පත්කර සිටියත් දෙදෙනා එකිනෙකා නුරුස්සන්නෝ වූහ. දෙදෙනාම හැමවිටම උත්සාහ කළේ එකිනෙකා අබිබවා කටයුතු කිරීමයි. මේ නිසා මේ දෙදෙනා අතර නිතර ම බහින් බස්වීම් ඇති විය. මේ හබය විදුහල්පතිතුමාට ද ලොකු හිරිහැරයක් විය.

නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනාට රාජකාරි කිරීමට කාර්යාලය අසලම කාමරයක් වෙන් කර දුන් විදුහල්පතිතුමා වාද බේද නොවී සමගියෙන් වැඩ කටයුතු කරගෙන යන ලෙස දෙදෙනාටම අවවාද කළේ ය.

මේ දෙදෙනාගෙන් සිරිල් නම් ව‍ූ නියෝජ්‍ය විදුහල්පතිතුමා කාමරය ලැබුණු දිනයේම එය අස්පස් කර, මේස පුටු සපයාගෙන කාමරයේ දොරට තඩි ඉබ්බෙක් දමා ගෙදර ගියේ ය.

පසුදින වේලාසනින් පාසලට පැමිණි අබේතිලක නියෝජ්‍ය විදුහල්පතිතුමා, පොත අත්සන් කර කාමරයට යනවිට ඔහු දුටුවේ එය ඉබ්බෙකු දමා වසා ඇති ආකාරයයි. ඉන් කෝපයට පත් එතුමා වහාම කඩ මණ්ඩියට ගොස් අලුත් කුඩා ඉබ්බෙක් රැගෙන විත්, ලොකු ඉබ්බා අසලින් ම එල්ලා කැන්ටිමට ගියේ ය.

තරමක් ප්‍රමාද වී පැමිණි සිරිල් නියෝජ්‍ය විදුහල්පතිතුමා පොත අත්සන් කර, සිය කාමරයට යන විට දුටුවේ, කාමරයේ දොරට ඉබි දෙකක් දමා ඇති ආකාරයයි. අබේතිලක මහතාට මහ හඬින් බැණ වදිමින්, කාර්යාලය වෙත ගිය එතුමා විදුහල්පතිතුමාට මේ ගැන පැමිණිලි කළේ ය. විදුහල්පතිතුමා පැමිණ, කාමරයේ දොරට ඉබි දෙකක් දමා තිබෙනු දැක, ආයාසයෙන් සිනහව යටපත් කරගත්තේ ය. දොර අරින්නට නම් ඉබ්බන් දෙදෙනාම ඉවත් කළ යුතු විය.

අබේතිලක මහතාට කාර්යාලයට පැමිණෙන ලෙස, විදුහල්පතිතුමා පණිවිඩ පිට පණිවිඩ යැව්ව ද, මගහැර සිටි අබේතිලක ‍මහතා උදේ දහයට පමණ කාර්යාලයට පැමිණියේ ය. ඉන්පසුව ඉබ්බන් දෙදෙනා විවෘත කර කාමරයේ දොර ඇර ගැනීමට හැකි විය. විදුහල්පතිතුමා එදිනම වෙනත් කාමරයක් අබේතිලක මහතාට ලබාදුන්නේ ය. ඉන්පසුව ‘ඉබි හබය’ නිමාවට පත් විය.

 

බිඳුණු බලාපොරොත්තුව

සිරිසේන හෙට්ටිගේ

උඩනිරිඇල්ල

විජේසිංහ ගුරුමහතා සබරගමු පළාතේ ග්‍රාමීය පාසලක ඉතිහාස විෂය ඉගැන්වීම සඳහා පැමිණියේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඒ වන විටත් ඔහු තනිකඩයෙකි. ආචාර්ය මණ්ඩලයේ සිටි එකම අවිවාහකයා ඔහුය. මෙසේ කල් යද්දී නවක ගුරුවරියක් එම විදුහලට පත්ව ආවාය. ඇය පැහැපත් රූ සපුවකින් යුත් තැනැත්තියක් වූවාසේම විවාහක බවක් ද නොපෙනිණි.

විජේසිංහ මහතා ඈ පිළිබඳව කිසියම් පිළිබඳ සිතක් ඇතිකර ගත්තේය. පාසලේ වැඩ කරන අතර තුරේදී ද විවේක අවස්ථාවලදී ඈ ගැන සොයා බලා කතා බහකිරීමට පසුබට නොවීය. ගුරු මඬුල්ලේ අනෙක් අයද දෙදෙනා ගැන වඩාත් සෙවිල්ලෙන් පසුවූහ. එහෙත් මේ ගැන කිසිදු දෙයක් නවක ගුරුවරිය නොදැන සිටියාය.

දිනක් ගුරු විවේකාගාරයේදී දෙදෙනා ම සිටින අවස්ථාවක ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් තම තමාගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ කතා කළහ.

“අපේ පුතත් ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ. දුව මේ දවස්වල තාත්ත එක්ක පෙර පාසල් යනව.” හිටි හැටියේ නවක ගුරුවරිය නොපැකිළව ප්‍රකාශ කළාය. මෙය අසා සිටි විජේසිංහ මහතා අන්දුන් කුන්දුන් විය. මහත් කනගාටුවකින් මෙන් හුන් තැනින් නැගිට ඉවතට ගිය විජේසිංහ මහතා ආයෙත් නවක ගුරුවරිය දෙස හොරැහින්වත් නොබැලුවේය. 

Comments