
කුණු ප්‍රශ්නයට තිරසර විසඳුමක් ගෙන එනවාට නැඟෙන විරෝධය අලුත් නීති හා දැඩි පියවර මඟින් මැඬලීමට කටයුතු කරන බව රජයේ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවසීය.
පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිතුමාගේ නියෝග පරිදි ඉකුත් 20 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය එවැනි පියවරක් බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ගේ කුණු අනුන් මත පැටවීමේ සිට කුණු කඳු කොමිස් හා ජාවාරම් බවට පත් කරගෙන ඇති ‘කුණු පාතලය’ද මෙයින් මැඬලීමට පියවර ගැනේ.
බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසන පරිදි අප රටේ දිනකට එකතු වන මුළු කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6400කි. ඒ අනුව අප රට තුළ සෑම පුද්ගලයකුම දිනකට කුණු ග්රෑම් 290ක් රටේ පරිසරයට එක් කරන බවත්, පොදුවේ රටේ සියලු දෙනාම මේ කුණු ගැටලුවට වගකිව යුතු බවත් ලේකම්වරයා පවසයි.
මේ අනුව කුණු කසළ එපා යයි කරන උද්ඝෝෂණ පදනම් විරහිත බවද ඔහු කීය.
දැනට කර ඇති අලුත් ගවේෂණ අනුව කොළඹ නගරයේ දිනකට එකතු වන කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000–1200 අතර වේ. ඒ අනුව කොළඹ නගරයට එන පුද්ගලයකු දිනකට කුණු කසළ ග්රෑම් 850ක් කොළඹ නගරයට දමන බවත් බස්නාහිර පළාතේ අන් නගරවල අය දිනකට කුණු කසළ ග්රෑම් 750ක් එම නගරවල පරිසරයට දමන බවත් ලේකම්වරයා පවසයි.
මේ පිළිබඳව ‘සිළුමිණ’ට අදහස් දැක්වූ පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පැවසුවේ ජනාධිපතිතුමා මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාර නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හා ලබන සතියේ සිට කුණු කසළ වෙන් කර එකතු කිරීම අනිවාර්ය කිරීම හා විද්‍යාත්මක කසළ කළමනාකරණ විසඳුම් මඟින් මේ කුණු කසළ ගැටලුවට තිරසර විසඳුමක් ලැබෙනු ඇති බවයි.
නිවෙසේ කුණු කසළ ජනනය අවම කිරීමටත් ඒවා කඩදාසි, පොලිතීන්, යකඩ හා දිරන දෑ ලෙස වෙන් කර පළාත් පාලන ආයතනවලට බාරදීමටත් අලුත් වැඩපිළිවෙළක් මේ යටතේ සකස් කරන බවද ලේකම්වරයා කියයි. ඒ අනුව කිසිම නිවෙසකින් ලබන සතියේ සිට වෙන් නොකරන ලද කුණු බාර නොගන්නා අතර, කුණු කසළ එකතු කරන ස්ථානවලටද පළාත් පාලන ආයතනවලට බාරදිය හැක්කේ වෙන් කළ කුණු කසළ පමණක් බවද ලේකම්වරයා අවධාරණය කරයි.
මේ අනුව මේ කුණු කසළ ගැටලුව රජයේ බලධාරීන්, නිලධාරීන් හා පරිසර සංවිධාන පමණක් නොව මුළු රටේම ජනතාව එක් වී තිරසර හා සාමූහික ලෙස විසඳිය යුතු ගැටලුවක් බව විද්‍යාඥයෝ හා පරිසරවේදීහුද පෙන්වා දෙති.
මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න හා එම විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අංශයේ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න හා පරිසරවේදී සජීව චාමිකර යන මහත්ම-මහත්මීන් පවසන්නේ මේ ගැටලුවට විසඳුම් සෙවීමට මහජනතාව, පළාත් පාලන ආයතන, දේශපාලනඥයන්, ඉහළ නිලධාරීන් සමඟ විද්වතුන්ද අත්වැල් බැඳගත යුතු බවයි. දියුණු රටවල දැනට භාවිත කරන නව තාක්ෂණික ක්‍රම අපේ රටේද ක්‍රියාවට නැංවිය යුතු බවද ඔවුහු පවසති.
මේ පිළිබඳව අපට විශේෂයෙන් කරුණු දැක්වූ සම්මානිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම හා මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ දැනට යෝජනා වී ඇති පුත්තලමේ අරුක්කාල් සෞඛ්‍යාරක්ෂිත කසළ පිරවුම අපේ රටට ඉතා සුදුසු බවයි.
මහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේ එහි මීටර් 30ක් ගැඹුරු හෙක්ටයාර් 40ක් පැතිරුණු විශාල වළක් තිබෙන නිසා මීතොටමුල්ල කුණු කසළ පමණක් නොව, අවට නගර 25– 30ක කුණු එහි සෞඛ්‍යාරක්ෂිත ලෙස, හානි නොවන පරිදි පිරවිය හැකි බවයි. පසුව එයට උඩින් වන වගාවක් කළ හැකි බවද ඔහු කියයි.
මේ පිළිබඳ කරුණු දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා පැවසුවේ ඉදිරියේදී පිළිසරු වැඩසටහන යටතේ ගෙදරදොර නිතර පාවිච්චි කරන පොලිතීන්, ප්ලාස්ටික් වැනි දේවල් පාවිච්චිය අවම කිරීමට, නැවත නැවත පාවිච්චි කිරීමට හා ප්‍රතිචක්‍රීකරණයට අලුත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් හා නව තාක්ෂණික වැඩසටහන් ක්‍රියාවට නංවන බවයි.