මාමාගේ ඔය දුෂ්ට හිත මාමාට රිද­ව­නවා මදි! | Page 2 | සිළුමිණ

මාමාගේ ඔය දුෂ්ට හිත මාමාට රිද­ව­නවා මදි!

නරේන්ද්‍ර සහ රෝජා සඳපාණි දෙදෙනා ම නිහඬව බලා සිටියේ යළිත් කතාවට කුමන ආරම්භයක් දිය යුතු දැයි වටහා ගන්නට මෙනි.

“දෝණී”

බොහෝ වේලාවකට පසු නරේන්ද්‍ර කතා කළේ නිවුණු මුදු හඬකිනි.

“කියන්න නරේන් මාමා. මාව විශ්වාස කරලා ඕනම දෙයක් කියන්න. තමන්ගෙ හිතට දුක් පීඩා දෙන ප්‍රශ්නයක් ගැන කවුරු හරි එක්ක සාකච්ඡා කළාම හිතට ලොකු සහනයක් දැනෙනවා. මං කැනඩාවෙ ඉන්න කොට මනෝ විද්‍යාවත් ටිකක් ඉගෙන ගත්තා.”

නරේන්ද්‍ර තම මුවගට නැගි උපහාස සිනාව තරුණිය දකිනු නොරිසි විය. ඔහු දෙපා මුලට වැටුණු මල් පෙත්තක් දෑඟිලි තුඩට ගත්තේය.

ජීවිතය යනු න්‍යායක් නොව ප්‍රායෝගිකයක් බව මේ අහිංසක තරුණියට අවබෝධ වන්නට තව බොහෝ කාලයක් තිබෙනවා යයි සිතීමට පුළුවන. මව අහිමි වීම ඇයට දැරිය නොහැකි දුකක් නොවන්නට ඇත්තේ පියාගේ ආදරය කරුණාව නො අඩුව ලැබීම නිසා වීමට පුළුවන.

“දෝණි ඇයි මනෝ විද්‍යාව ටිකක් ඉගෙන ගත්තෙ? යම් දෙයක් හොඳට ඉගෙන ගත්තොත් විෂයානුබද්ධ දැනීම පූර්ණ විදිහට ලබා ගන්න පුළුවන්. ටිකක් ඉගෙන ගත්තොත් පටලවා ගන්නවා. දැනීම තියෙන බව ප්‍රදර්ශන කරන්න ගිහින් අමාරුවෙ වැටෙනවා. හරි මනෝවිදාය කතා ඕ‍ෙන නැහැ. මට කියන්න රවිහාරි මොකද මං ගැන කියන්නෙ? ඔයාට රාජඍෂි නිතර මුණ ගැහෙනවා ඇති නේද?”

“නෑ. නරේන් මාමා. මං වැඩිය කතා කරන්නෙ ම‍නෝහාරි අක්කට. අනිත් අයත් දවසට සැරයක් විතර කතා කරනවා.”

“මනෝ මං ගැන මොනවද කියන්නෙ?”

“ඇත්ත ම කියන්නද? නරේන් මාමා මනෝහාරි අක්කා එක්ක තරහ වෙනවද? මං කැමති නෑ බොරු කියන්න.”

“නෑ. නෑ. තරහක් නෑ කියන්නකො.”

“ඔයා ඉවක් බවක් නැති, ආතක් පාතක් නැති කමකට නැති වැඩ හින්දා අමාරුවෙ වැටුණ කෙනෙක්ලු. එයාට හරිම දුකයි නරේන් මාමා ගැන.”

“මනෝ හරි.”

නරේන්ද්‍ර කීවේ දුක්බර සිනාවක් පාමිනි.

“ඒක දෛවය වෙන්න ඇති.”

“මගේ පන්තිභාර ගුරුතුමිය කියපු කතාවක් දැන් මට මතක් වුණා.”

රෝජා සඳපාණි ශාන්තව කීවාය. එය දෙගිඩියාවකින් තොරව තමා කේන්ද්‍රීය කර ගත් කතාවකැයි නරේන්ද්‍රට සිතිණි.

“නරේන් මාමාට දැන් වුණත් ජීවිතේ අලුතෙන් පටන් ගන්න පුළුවන්.”

“දෝණි, මේ කැනඩාව නෙමේ ලංකාව. දෙආකාර සංස්කෘතික හැදියාවන්. රටවල් දෙකක්නෙ. ඒ කතාවත් පැත්තකට දාන්න. මොකක්ද ඔයාගෙ ක්ලාස් ටීචර් කිව්වෙ?”

“පිරිමි පෞරුෂත්වයේ ප්‍රභාව නීච විදිහට පාවිච්චි කරන අයට කවද හරි ඒ ගැන පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවලු.”

නරේන්ද්‍ර රෝජා සඳපාණි දෙස බැලුවේ තරමක් අමනාපය පළ කරමිනි.

“ඔයා මං හිතුවට වැඩිය පැහිලා දෝණි. එතකොට ඔයා කියන්න මං මගේ පෞරුෂත්වය නීච විදිහට පාවිච්චි කළා කියල ද? ඔහොම ගම්මැදි හෑලි කියවන ගෑනු ඉස්සරත් හිටියා. දැනුත් ඉන්නවා. හෙටත් ඉඳිවි.”

තම හැදියාවේ අතීතය ගැන දැන හෝ නොදැන තමා ඉදිරියේ සිටින තරුණිය පවසන්නේ අසත්‍යයක් යයි බැහැර කිරීමට නුපුළුවන්කම ඇගේ භයානක අභියෝගයට පරාජය වීමක් යයි නරේන්ද්‍ර සිතන්නට විය. තරුණිය ඔහුගේ වදන්වල කෲරත්වයෙන් සැලුුණේ නැත.

“නරේන් මාමා කලබල වුණා. මගෙන් ඇහුවෙ නැහැ කාන්තාවන් ගැනත් එහෙම කතා තියෙනවද කියලා.”

“නෑ. මට ඔය ප්‍රායෝගික නොවෙන ම‍නෝවිද්‍යා බූත දැන ගන්න ඕන කමක් නැහැ. ගෑනුන්ගෙ වැඩි පණ්ඩිතකම්වලට පිරිමි කැමති නෑ.”

“පිරිමින්ගෙ කෲර අධිපතිවාදයටත් ගෑනු කැමති නැහැ නරේන් මාමා.”

“දෝණි මං ඔය වගේ කතා ඉහේ කෙස්ගානෙ අහලා තියෙනවා. අධිපතිවාදය, ප්‍රචණ්ඩත්වය, පුරුෂාධිපත්‍ය, පර පීඩනය, ඕවා හොඳ ලිප්ටන් වට රවුමෙ උද්ඝෝෂණවලට.”

නරේන් කෝප විය. පෞද්ගලිකත්වය යනු පෞද්ගලිකත්වය මිස අන් කවරක් ද? ජීව විද්‍යාත්මකව හෝ සොබාදහමට අනුව හෝ මානව සංස්කෘතියට අනුව හෝ කුටුම්බයේ මෙන් ම සමාජ සංස්ථාවන්ගේත් පෙර ගමන්කරුවා සැබෑ පිරිමියෙකු වන්නේ ‍පෞරුෂබලය හා ශක්තිය නීච ලෙස නො හසුරුවමින් කවරාකාර හෝ පරපීඩනයකින් තොරව සිටිනා තුරු පමණකැයි යටිසිත සිට තවමත් අවසන් හුස්ම හෙළන්නට උත්සාහ ගන්නා ප්‍රියදෝණි මහමායා සෙමෙන් කොඳුරන හඬ නරේන්ද්‍රට දැනෙන්නට විය.

“නරේන් මාමා, සමාවෙන්න මෙහෙම කතා කරනවට. ප්‍රියදෝණි නැන්දට මාමා සලකන්න ඇත්තෙ නපුරු විදිහට. ඒ නිසා තමා නරේන් මාමා එයා ගැන දැනුත් දුක් වෙන්නෙ.”

නිරායාසයෙන් ම සිතින් පැන නැගි සුසුම ආයාසයෙන් යටපත් කරගත් නරේන් දෙනෙත් විශාල ‍කොට තරුණිය දෙස බලා සිටියේ ඇසපිය නොහෙළන බැල්මකිනි.

“නැන්දා? කොහොමද ඒ ගෑනි දෝණිගෙ නැන්දා වුණේ?”

අනතුරුව ඔහු ඇසුවේ උපහාසය දනවන අයුරෙනි. තරුණිය හුනස්නෙන් නැගී සිටියාය. මේ මිනිසාගේ ඇසුර අතේ දුරටත් එහා ගිය දුරකින් තබා ගන්නැයි රාහුල නැවත නැවත නොකියා කියන්නේ මේ උද්ධච්චකම නිසා යැයි ඇය තරහෙන් සිතුවාය.

“දෝණි ඇයි නැගිට්ටෙ? යන්නද?”

“නෑ. නරේන් මාමාගෙ දුෂ්ඨ හිත මාමාට රිදවනවා මදි. ඒ මනුස්සයා ජීවතුන් අතර ඉන්නවා නම් මං එයාට නැන්දා නෙමේ අම්මා කියනවා. මං හිතුවෙ නෑ නරේන් මාමා මේ තරම් අහංකාර මිනිහෙක් කියලා.”

තරුණිය සෙමින් වුවද දැඩි ශෝකයකින් පැවසුවාය. නරේන්ද්‍ර මොහොතකට තුෂ්ණිම්භූත විය. මෙවැනි කටුක ප්‍රහාරයක් ඔහු ඇයගෙන් බලාපොරොත්තු වූයේ ම නැත.

ඇය කෝපයෙන් වෙව්ලමින්, දුර්වර්ණ මුහුණින්, දැඩි ආවේගශීලී හඬකින් මේ කටුක දෝෂාරෝපණය කළා නම් ඉවසා සිටිය හැකිය. දරා ගැනීමට ද පුළුවන. නමුදු ඇගේ වචන කිසිදා තමන් දැක නැති ගැහැනියකට මිනිසෙකු විසින් කළ අපරාධ්‍යක් වෙනුවෙන් දඬුවම් නියම කිරීමක් වැනි වුණත් ඒ දඬුවම ලියැවෙන්නේ මිනිස් සිත රිදී දෙනෙතට නැගෙන දුක් කඳුළෙනි.

“දෝණි මට සමාවෙන්න. මං හිතලා කිව්වා නෙමේ. කටට ආවට නිකම කියැවුණා.”

නරේන්ද්‍රගේ හ‍ඬෙහි පසුතැවිල්ලක් විය.

“මිනිස්සුන්ගෙ තියෙන ලොකු ම දුෂ්ඨකම තමා හිතන්නෙ නැතුව වචන පිට කරන එක. අහගෙන ඉන්න එක්කෙනාගෙ හෘද වස්තුව දෙදරලා කෑලි ගියත් කමක් නැහැ.”

තරුණිය එවර දැඩි හඬකින් කීවාය.

“දෝණි ඔච්චර කියවන්න දෙයක් නැහැ. මමත් හුඟක් වෙලාවට එයාට කතා කළේ අම්මියෝ කියලා තමා.”

“ඒ කපටිකමට, වංචාවට, ඒ අහිංසක මනුස්සයා රවට්ටගන්න.”

“ගෑනු ඔක්කොම එකයි. කට ඇරියොත් තල් අත්තට බොරලු ගහන්නා වගේ. වක්කඩ කැඩුවා වගේ. මං ඒ ගෑනිව රැවට්ටුවෙ නෑ. ඒ ගෑනි මාව රැවට්ටුවා.”

“නරේන් මාමා මං දැන් හොඳට සිංහල දන්නවා. මං මේ ළඟදි පොතකින් කියෙව්වා කට හින්දා මාළුවා නහිනවා කියලා කතාවක්.”

“හරි. ඒ කතාවෙ කතා නායකයා මං. සතුටුයි නේද? ඔයා දුවක් නෙමේ. ඔයා අර ගෑනිගෙ අවතාරෙ, හෙවණැල්ල.”

රෝජා සඳපාණි ඔහු නොතකමින් ඔහුට පිටුපා සෙමින් මිදුල පියමන් කොට ආලින්දයට ආවාය. මනෝහාරි ඉතාමත් රහසින් කියන පරිදි ප්‍රියදෝණි මහමායාගේ ජීවිතය අභාග්‍යසම්පන්න කරනු ලැබුවේ නරේන් මාමා විසිනි.

ජීවිතයේ ඕනෑම සිද්ධියක් සිතුවිල්ලක් වචනයක් හොඳින් අර්ථ ගන්වන්නට දහම් උපදේශයක් ඉදිරිපත් කරන මේ මිනිසා තමා ධර්මයෙහි නොහැසිරීම තුළ විඳින දුක වටහා නොගන්නේ මන්ද?

“නංගී. නරේන් නරක ම මනුෂ්‍යයෙක් නෙමේ. අපිට මිනිස්සුන්ගෙ හොඳ නරක ඉරක් ගහලා, බෝල කරලා, මනාපයක් දීලා, හඳුනා ගන්න බැහැ. ජීවිතය සංකීර්ණයි. ඒත් එයාගෙ බණ කතා මට නම් විහිළුවක්.”

රාහුල අවවාද ස්වරයෙන් කියන්නේ ආවාට ගියාට නොව කල්පනාවෙනි. ප්‍රියදෝණි මහමායාට “නැන්දා” කී පමණින් ඔහුගේ මුහුණ විකෘති වූ සැටි දෙනෙතින් අමනාපය පළ වූ සැටි ඔහුගේ උච්චමානයට සාක්ෂි ‍නොවේ යයි සිතිය හැකිද?

ඉන් දෙතුන් විනාඩියක් ගතවූ විට ඔහු කීවේ ඔහු ප්‍රියදෝණි මහමායාට “අම්මියෝ” යැයි ඇමතූ කතාවකි. එය ඔහුගේ වංචනික කපටිකම යැයි කී සැණින් ඔහු මුළු ස්ත්‍රි වර්ගයාට ම දෝෂාරෝපණය කළේ කෝපයෙනි.

මනෝහාරි ඉතා රහසින් කියන්නේ අතීත ප්‍රදේශාධිපතියකු මෙන් පුරඟනන්, සේවක සේවිකාවන්, යාන වාහන ගේ දොර වතු පිටි ඉඩකඩම් වලින් සශ්‍රීක ජීවිතයක් ගත කිරීමේ අසීමිත කැමැත්තක් නරේන් මාමාට තිබුණ බවකි. මනෝහාරිට දැනෙන හා හැ‍ඟෙන පරිදි එය මානව ස්වභාවය තුළ සැඟවී ඇති විකෘතියේ අංශුවකි. මේ විකෘති අංශුව මිනිසෙකුට දායාද කර දෙන අමානුෂිකත්වය දිනක පාරා වළල්ලක් වීමේ අවධානම වැඩිය. නරේන් මාමා වෙත එවන් පාරා වළල්ලක ප්‍රති ප්‍රහාරය වැදී නැත්නම් ඉඳහිට පෙන්වන දුක්බර ගති සොබා විශිෂ්ට චරිතාංග නළුවෙකුගේ දක්ෂ රංගනයක් පමණි.

“අහංකාරකමයි උද්ධච්චකමයි නැත්නම් එයා හුඟක් හොඳ මිනිස්සුන්ට කරුණාවන්ත මිනිහෙක් වෙන්නත් ඉඩ තිබුණා.”

ඔහු සම්පූර්ණයෙන්ම වැරදිකරුවෙකු කර ඉවත ලෑමේ ඕනෑ කමක්ද තරුණියගේ සිත උපන්නේ නැත. ඇසූ දුටු කතා ඔස්සේ න‍රේන්ද්‍රගේ යහපත් ගුණයක් සොයා ඇය සිතුවිලි අතර අතරමං වූවාය.

හොඳ හෝ නරක හෝ මිනිසුන්, කළු හෝ සුදු හෝ චරිත ඇත්තවුන් මේ සමාජයේ සිටීද?

තරුණිය තමාගෙන් ම ඇසුවාය.

“එක අතකට නරේන් මාමා අසරණයි. කොතැනක හරි ලොකු වැරැද්දක් වෙලා. මාත් බැණගෙන බැණගෙන ගියා මිසක් එයාට නැන්දා කිව්වම මොකද කියලා ඇහුවෙ නෑ. මං නරේන් මාමා දිහා බැලුවෙ මනෝගෙයි රාහුලගෙයි ඇස්වලින්. ලජ්ජත් හිතෙනවා.”

තරුණිය තමා කෙරෙහිම මඳක් අමනාප වූවාය. නරේන්ද්‍ර මෙතෙක් හිඳ ගෙන සිටි අසුනෙන් නැගිට නිවසට එන විට රෝජා සඳපාණි මහ දොර අසලින් නැගිට විශාල ආලින්දය කෙළවරට ගියාය.

නරේන්ද්‍ර සෙමෙන් බිමට නැඹුරු කර ගත් හැඟීම්බර දෙනෙතින් ගෙතුළට ගියේය. තරුණිය රවිහාරිට දුරකථන ඇමතුමක් ගත්තාය.

“රවිහාරි අක්කා ඉක්මනට එන්නකො. මට කම්මැළියි. පාළුයි.”

ඇය මැසිවිලි නැගුවාය.

“ඇය නරේන් මාමා නැද්ද?”

“ඉන්නවා. මං එයත් එක්ක මොනවා කතා කරන්නද. සැප සනීප අහලා ගේ ඇතුළට ගියා.”

“පොතක් පත්තරයක් බලන්නකො. අපි දෙන්නම පැයකින් එනවා. මං රාහුල එක්ක එයාට ඕන බඩු වගයක් ‍තෝරනවා.”

තරුණිය යළිත් සමීපයේ වූ පුටුවකට ගියාය. අසල පුවත්පතක් විය. ඇය එය අතට ගෙන පිටුවක් පෙරළුවාය. පත්තරය මතට සුදු ලියුම් කවරයක් වැටුණෙන් ඇය තිගැස්සුණේ කිසියම් සතෙක් පැන්නාදැයි ඇය හිස නැගුවාය. නරේන්ද්‍ර ලියුම් කවරය ඇය වෙත දමා ගසා ඇයට පිටුපා යමින් සිටියේය.

තරුණිය ලියුම් කවරය තුළ වූ ඡායාරූපය පිටතට ගත්තාය. විස්මය මෙන් ම විශ්වාස කළ නොහැකි හැඟීමෙන් ඇගේ හදවත නගන හඬ ඉක්මන් විය. සැබෑවකි. මේ හාත් පසින් ම තමාට සමානකම් ඇත්තියකගේ සේයා රුවකි. එහි දකුණු පස කෙළවර දෑඟිලි තුඩක පහසින් දුර්වර්ණ හෝ සේදී ගිය හෝ සැටියක් පෙනෙන්නට ඇත.

“ප්‍රියදෝණි මහමායා...”

රෝජා සඳපාණි දැනෙන නොදැනෙන තරමින් තොල මැතිරුවාය. ඇය තුළ එකවරම උපන්නේ ඉමහත් ශෝකයකි. මනෝහාරි හෝ රාහුල හෝ මොනවා කීවත් මේ මිනිසාගේ සිත තුළ ප්‍රියදෝණි මහමායා ජීවත් වන්නීය.

සමහර විට ඔහු මේ ගැහැනියගේ වටිනාකම් දකින්නට ඇත්තේ ඇය ඔහු අත්හැර හෝ ඔහු ඇය අත්හැර දැමූ පසු විය හැකිය.

ගෙතුළ ඔහු සිටින තැනකට ඔහු සොයා ගෙන ගොස් “සමාවන්නැයි” පවසන අදහසින් ඇය නැඟී සිටියද ගෙවත්තට ඇතුළු වූ රාහුලගේ වාහනය දැකීමෙන් ඇය යළිත් අසුන් ගත්තාය.

“අපි පරක්කු නෑ නේද?”

රවිහාරි ඇයට ළං වූයේ තරමක් හඩ නඟා කතා කරමිනි. මිතුරිය අත වූ ඡායාරූපය ඇය දුටුවාය.

“ඕ මොකක්ද ෆොටෝ එකක් නේද?”

රවිහාරි ඡායාරූපය අතට ගත්තාය. ඇගේ දෙබැම ඉහළට ගියේය.

“අනේ ඔයානෙ. ඒත් ඔයා මේ ෆොටෝ එකේ වයස පාටයි. කැනඩාවෙදි ගත්ත එකක් ද? ඔයා ලංකාවට ආවට පස්සෙ හුඟක් ලස්සන වෙලා. ඔයාට හොඳ ලංකාව.”

රෝජා සඳපාණි අසා සිටියා පමණි. සමහරවිට ඇය සිතුවාය. රවිහාරි අක්කට එයාව මතක නැතුව ඇති. නිහඬ වීම වඩා හොඳය. 

ලබන සතියට

Comments