
අප නිවෙස අසල ගුරුපාර අද්දර වතුර වළක් ළඟ කුඩා කුරුලු පැටියකු සිටිනු මම දුටුවෙමි. කොහේ හෝ සිට විත් පූසකු පැටියා ඩැහැගෙන යනු ඇතැයි සිතු මම, ඌ අල්ලා අත්තක් උඩ තැබුවෙමි. පසුව බලන විට නැවතත් ඌ වතුර වළ ළඟ සිටිනු පෙනුණි. මා කනගාටුවෙන් මේ අනාථ කුරුලු පැටියා දෙස බලා සිටියදී අහම්බෙන් එතනට ආ පොල්කිච්චියක් වතුර වළ අද්දර වසා වතුර බොන්නට වූවා ය. ඒ දුටු කුරුලු පැටියා ඇය ළඟට ගොස් කෑම ඉල්ලා හැඬුවා ය. පොල් කිච්චිය කර උස්සා පැටියා දෙස හොඳින් විපරං කර බලා ඉගිළ ගියා ය. සැණෙකින් ලොකු පණුවෙක් රැගෙන ආ ඇය එය පැටියාට ගිල්ලුවා ය. එය උගේ උගුරේ හිරවිය. වහා හොට ඇතුළට දමා පණුවා එළියට ඇද ගත් ඇය කෑලිවලට කඩා පැටියාට ගිල්ලවිය. ඇය දෙවන වර කෑම රැගෙන එන විට පුංචි කුරුලු මවුපියෝ දෙදෙනා පැටියා සොයාගෙන පැමිණ සිටියෝ ය. පොල්කිච්චිය වහා ඔවුන්ට කොටා පන්නා දමා නැවත නැවතත් කෑම ගෙනැවිත් පැටියාට කවන්නට වූවා ය.
දැන් පැටියාගේ ආරක්ෂාව මගේ හිතට මහා වධයකි. අත්හැර දමා යෑමට ද නොහැකි ය. දැනක් මගේ කුඩා පුතු ද මේ දෙස ආශාවෙන් බලා සිටී. කුරුලු පැටවාට අනතුරක් වුවහොත් දරුවාගේ හිත සසල වනු ඇත.
නොසිතූ මොහොතක අහම්බෙන් උඩහ ගෙදර විශ්‍රාමලත් ගුරුතුමිය මෙතැනට පැමිණියා ය.
“අනේ මේ අපේ විදුලි මීටර් පෙට්ටිය උඩ කූඩුවේ හිටපු කුරුලු පැටියනේ” ඇගේ ඒ කාරුණික වදන මට මහා සැනසිල්ලක් විය. මම ඉක්මනින් ම පැටියා රැගෙන ගොස් කූඩුවේ තැබුවෙමි.
නැවතත් තුඩගේ කෑමක් තබාගෙන ආ පොල්කිච්චි පැටියා නැති සොවින් හඬා වැටෙන්නට වූවාය.
තවත් දිනක මම මෙවැනිම අපූරු සිදුවීමක් අත් දුටුවෙමි.
පුවක් අත්තක් ගැලවී වැටීමෙන් එහි මුල සාදා තිබූ ගොයං කුරුලු කූඩුව බිමට වැටුණි. අත්තටු වැඩී සිටි කුරුලු පැටවු වැටි වැටී ඒ මේ අත යන්නට වූහ. අසල මාළු වෙළෙඳාම් කරමින් සිටි තරුණයාත් මමත් වහ වහා පැටවුන් අල්ලා කූඩුවට රිංගෙවුවෙමු. මේ අතර කොණ්ඩ කුරුලු ජෝඩුවක් එක් පැටියෙකුගේ අත්තටු දෙකෙන් ඇදගෙන යනවා පෙනුණි. අපි වහා ඔවුන් එළවා දමා ඒ පැටියා ද අල්ලාගෙන කූඩුවට රිංගවා එය කරපිංචා ගහේ රැඳෙවුවෙමු. තේ පඳුරු අතරට පැන ගිය පැටවා අපට සොයා ගැනීමට නොහැකි විය.
ටිකෙන් ටික අඳුර වැටුණි. පසුදින හිමිදිරි පාන්දරම මම කුරුලු කූඩුව දෙස විපරං කෙරුවේ පැටවුන්ගේ ආරක්ෂාව ගැන විස්සෝපයෙනි. කුරුලු මවුපියන් කූඩුවට රිංගනු දැකීමෙන් මසිතට සහනයක් ලැබුණි. ඒ අතරතුර කොණ්ඩ කුරුලු යුවළ වරින් වර තේ පඳුරු අතරට ඉගිළී යනු දැක මම ඒ දෙස එබී බැලුවෙමි. පෙරදින අඳුරේ අපට සොයා ගැනීමට නොහැකිවූ පැටවාට ඔවුහු කෑම ගෙන ගොස් කවමින් සිටියහ.
රත්නපුර, ගෝණකුඹුරේ, එච්.වී. චන්ද්‍රසිරි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
බත් පත
එදින ද ඒ මිත්තණිය සිය කුඩා මිනිබිරිය සමඟ පදික වේදිකාවේ සිටිනු හනි හනික කාර්යාලය බලා යමින් සිටි මම ඈත තියා ම දුටිමි.
ගමන වෙහෙසකර වුව ද වෙලාවට වැඩට යා යුතු ය. බසයක නැගී පැමිණ ඉන් බැස තවත් බසයක නැගී පැමිණ ඉන් ද බැස පයින් යන මේ ගමන දරුවකු බිහි කිරීමට ළංව සිටින මට වඩාත් වෙහෙසකර ය.
මම ඔවුනට ළං වීමි. ඔවුන්ගේ අහිංසක හිනාවේ සුපුරුදු බලාපොරොත්තුව රැඳී ඇතැයි මට සිතේ. මගේ ගතට ද රස්නය දැනෙන ඒ වන විටත් අත්බෑගයේ රැඳී ඇති බත් මුල ඔවුනට නොදී යෑමට මගේ හිත මට ඉඩ නොදෙයි.
මගේ ගමන ඔවුන් ළඟ නැවතිණි. මම බෑගය හැර බත්මුල අතට ගෙන ඔවුන් ගේ මුහුණු දෙස බැලීමි. මුහුණ දෙකේ ම ඇඳී ඇති යාන්තම් හිනා අහිංසක ය.
‘ආ ගන්න’ මම එය මිත්තණියට දෙමි.
‘පින් සිද්ද වෙන ඕනැ’ ඇය මුමුනයි.
දැරිය අම්මා දෙස බලන්නාක් මෙන් සෙනෙහසින් මදෙස බලා සිටියි.
මගේ හිත පිරෙයි.
‘දෙන්න ම ටික ටික කන්න’ කියමින් මම යළි ගමන අරඹමි.
******
එදින අප ආයතන ප්‍රධානියා මා කැඳෙව්වේ ය.
“මිස් චක්‍රලේඛ වගයක් හොයා ගන්නත් තිෙයනව. හදිසි ලේඛන වැඩ වගේකුත් තියෙනව. ඒකයි මං එන්න කිව්වෙ’ මඳක් වියපත් ප්‍රධානියා කාරුණිකව කීවේ ය.
‘හොඳයි සර් කරමු’ මම වැඩට බැස්සෙමි.
දිවා විවේකය එළඹිය ද කටයුතු නොනැවතිණ. උදේ සිට හිත පිරී තිබූ බැවින් බඩගින්නක් ද වෙහෙසක් ද නොදැනිණ.
මා මිතුරියෝ මදෙස එබිකම් කරමින් ඉඟි - බිඟි පාන්නට පටන් ගත් හ. ඔවුන් නොකියා කියන්නේ “බඩගිනියි, එන්න, කමු!’ කියා ය. ඔවුන් බලාගෙන ඉන්නේ තමතමන් ගේ බත් පතින් සම්මාදම් කරන ලද බත්පතක් මට පිරිනැමීමට ය.
මිතුරියන්ගේ ඉඟිබිඟිය ප්‍රධානියාට ද වැටහිණ.
‘එහෙනං මිස් කෑම කාලම ඉතුරු ටික සම්පූර්ණ කරමු’ ඔහු කීවේ ය.
ඒ අවසරයෙන් මම ඔහුගේ මේසයෙන් මිදුණෙමි. එහෙත් මට යෑමට හැකි වූයේ පියවර කිහිපයකි.
‘ඔය යන්නෙ කෑමට ද? මං දැක්ක උදේ බත් පාර්සලේට වෙච්ච දේ!’ යි කී ඔහු සීනුව නාද කෙළ් ය.
මම ආපසු හැරී ඔහු දෙස බැලුවෙමි. කාර්යාල කාර්ය සහායක ආවේ ය.
‘අර ගෙනා කෑම දෙකෙන් එකක් ගේන්ඩ!’ කී ප්‍රධානියා සේවක තෙමේ ගිය පසු ‘හැමදාම ඔහොමද කරන්නෙයි’ මගෙන් විමසී ය.
මම සිනාසී ගොළුවත රැක්කෙමි.
සේවක තෙමේ කෑම පාර්සලයක් ගෙනාවේ ය.
‘ඕක දෙන්ඩ ඔය මිස්ට’
ප්‍රධානියාට ස්තුති කළ මම එය ද රැගෙන මිතුරියන් අතරට ගියෙමි.
මා අර මිත්තණියත් මිනිබිරියත් කෙරෙහි සංවේදී වූ ආකාරයට ම ආයතන ප්‍රධානියා ද මා කෙරෙහි සංවේදී වී තිබේ.
මට මහා සතුටක් දැනිණ.
කඳානේ අයිරාංගනී ප්‍රනාන්දු මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.