මේ ආහාර ද? වසවිස ද? | සිළුමිණ

මේ ආහාර ද? වසවිස ද?

අාහාර කියන්නේ මිනිසාට ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවන්ගෙනුත් මූලිකම අවශ්‍යතාව. ඉතින් ආහාරවල වැදගත්කම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ආහාරවල අන්තර්ගත වෙන්නේ පෝෂණය විතරක්ම නෙමෙයි. ඕනෑම රටක, ජන සමාජයක සංස්කෘතික අනන්‍යතාව විදහා පෙන්වන ප්‍රධානතම සාධකයක් ලෙසත් ආහාර සලකන්න පුළුවන්.

ආහාරවලින් කෙරෙන සන්නිවේදනයත් අමතක කරන්නම බැහැ. ජන සමාජයක නොයෙක් පැතිකඩ තේරුම් ගන්න ඔවුන්ට අනන්‍ය වූ ආහාර මගින් කෙරෙන සන්නිවේදනය ඉතා වැදගත්. අපේ දූපතේ ආහාර සංස්කෘතිය ගත්තත් මේ සියල්ල සාධාරණයි.

අතීතයේ අපට තිබුණා බොහෝම වැදගත්, සභ්‍ය යැයි සැලකිය හැකි වූ ආහාර හා පෝෂණ ක්‍රමවේදයන්. නොයෙක් ජාතිකයන්ගේ ආක්‍රමණත් සමග මේ ආහාර සංස්කෘතිය සම්මිශ්‍රණය වෙලා වඩාත් රසවත් වුණා, සුන්දර වුණා. අපේ ආහාර සංස්කෘතිය අපේ දේශීය අනන්‍යතාවේ කැඩපත ලෙස ක්‍රියා කළා.

ඒ විතරක් නෙමෙයි, අපේම ආහාර නිපදවා ගැනීමේදී අපටම ආවේණික වූ උසස් තාක්ෂණ ක්‍රම අප භාවිත කළා. ජලය සපයා ගන්න, පස සරු කර ගන්න, වැඩි අස්වැන්නක් ලබන්න, කෘමින් මෙන්ම වල් පැළෑටි නසා දමන්නත් මේ ක්‍රම යොදා ගත්තා. සුවිශේෂම කරුණ වෙන්නේ මේ ක්‍රම සියල්ල පරිසරය සමග තදින් බැඳුණු පරිසර හිතකාමී ක්‍රම වීමයි. අස්වැන්න ලබා අවසානයේ පරිසරය පෙර පැවති අන්දමින්ම ඉතිරි කර ගන්න අපේ මුතුන්මිත්තන්ට හැකියාව ලැබුණේ මේ පරිසර හිතකාමී ක්‍රම හින්දයි.

වැඩිවන ජනගහනයට සාපේක්ෂව ලැබෙන අස්වැන්න වැඩි කර ගත යුතු වෙනකොට, වැඩිපුර කය වෙහෙසවා වැඩ නොකර සියල්ල බටහිර තාක්ෂණයට බාර දෙන කොට අපේ පරිසර සමතුලිතතාව අප අතරින් වියෝ වුණා තමයි. මේ වියෝවීම පුරවන්න බටහිරින් අප අරගත්ත නොයෙක් අධි තාක්ෂණික ක්‍රම අප අතරට එක් වුණා. ඒත් අප අමතක කළ දේ තමයි මේ ක්‍රම කොතෙක් දියුණු වුණත් ඒවායේ යම් යම් හානිකර ලක්ෂණ පවතින බව. යන්ත්‍ර සූත්‍ර භාවිතය හොඳයි, ඒත් භාවිත කරන රසායනික ද්‍රව්‍ය හොඳයි කියන්න බැහැ.

හයිබ්‍රිඩ් එළවළු සහ පලතුරු ගැන අපි අහන්න ගන්නේ ඒ බලපෑම්වල ප්‍රතිඵලයක් වශයෙන්. වැඩි අස්වනු තාක්ෂණය, ශරීරයට හිතකර මෙන්ම අහිතකර පොහොර වර්ග මේ සියල්ලේ ක්‍රියාකාරීත්වය අපේ ආහාරවල හැඩතල පමණක් නොවෙයි පෝෂණ හැකියාවන්ගේ සීමාමායිම් පවා වෙනස් කළා.

මෙතන සිදුවන්නේ විද්‍යාව හා තාක්ෂණය අවභාවිත වීමක්. ඒ බව තේරුම් ගත්ත බටහිර රටවල් කෘත්‍රිම පොහොර වගේ දේවලින් ඈත් වෙනකොට අප තවමත් ඒවා පස්සේ හඹා යනවා. බටහිර රටවල් හැකිතාක් පරිසර හිතකාමී ක්‍රම නවීන තාක්ෂණය සමග මුසු කරමින් යහපත් පෘථිවි ගෝලයක් සහ මිනිස් වර්ගයාට යහපත් හෙට දවසක් උදා කිරීම වෙනුවෙන් කටයුතු කරද්දී අපි තවමත් ඔවුන් භාවිතයෙන් විසි කරන කසිකබල් සමග පොර බදනවා.

අපේ ආහාර රටාවන්, කාලානුරූපව ඒවාට සිදු වුණු බලපෑම් සහ එමගින් මිනිස් සිරුරට ලැබුණු අමතර ගැටලු මෙන්ම ඒවාට කළ යුතු පිළියම් සම්බන්ධවත් කතා කරන්න අපි තීරණය කළේ ඒ අනුවයි.

විද්‍යාව කියන්නේ ඇසට පෙනෙන දෙයට නොපෙනන අර්ථයක් එක් කිරීම. මේ විදිහට අපේ ආහාර රටාවන් ගැන අපේ ජනතාව අවධානය යොමු නොකර සිටියොත් අපට ඉතිරි වන්නේ රෝගී අනාගත පරපුරක්‍.

අපේ ආහාර රටාව ගැන, විද්‍යාව හා තාක්ෂණය එතුළ අවභාවිත වන අන්දම සහ එයින් අපට වන හානිය ගැන ජනතාවගේ අවධානය යොමු කළ යුතුමයි.

අද සිට ඇරඹෙන මේ විශේෂාංගයෙන් ආහාර සහ තාක්ෂණය ගැන කතා කරන්න විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වීමට නියමිතයි. ආයුර්වේද, බටහිර සහ පෝෂණවේදී මේ සියලු අංශ අවරණය වන අන්දමින් විවිධ වෛද්‍යවරුන්ගේ මතය අප විමසා සිටියේ නිරෝගී අනාගත පරපුරක් රටට අවශ්‍ය නිසයි.

“ආහාරද වසවිසද“ සංවාදයට ප්‍රථමයෙන් එක් වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය වෛද්‍ය එල්.සී.ඒ. කරුණාතිලක මහතා පැවසූ අදහස් ලබන සතියේදී 3D වෙතින්...

Comments