ශ්‍රීපුර වැලි­ඔයට හමු­දා­වෙන් පානීය ජලය | Page 2 | සිළුමිණ

ශ්‍රීපුර වැලි­ඔයට හමු­දා­වෙන් පානීය ජලය

වකුගඩු රෝග මර්දනයට පියවරක්

වර්තමානයේ උතුරු නැඟෙනහිර සේම උතුරුමැද පළාතේ ජනයාගේ ලොකුම මාරයා බවට පත්ව තිබෙනුයේ වකුගඩු මාරයායි. එම පළාත්වල ඉතාම ශීඝ්‍ර ලෙස පැතිර යන වකුගඩු රෝගය නිසා අසරණ ජනතාව විශාල ප්‍රමාණයක් මේ වන විට මරණයට පත්වී තිබේ. මෙම වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව බීමට ගන්නා ජලයෙහි වල්නාශක, කෘමිනාශක වැනි දෑ අඩංගු වීම බව වෛද්‍ය මතය වී තිබේ.

එවැනි අපිරිසුදු ජලය නිසා වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශයක් වන අනුරාධපුර, මුලතිව් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබෙන අතිදුෂ්කර ගම්පියසක් වන පදවි ශ්‍රිපුර වැලිඔය ප්‍රදේශවල ජීවත්වන ජනයාට පිරිසුදු පානීය ජලය ලබාගැනීම වර්තමානයේ සිහිනයක් වී තිබේ.

පිරිපහදු ජලය මුදලට විකුණන ස්ථාන එම ප්‍රදේශවල කොතෙකුත් තිබුණත් එහි වෙසෙන ජනයාට ‍ඒ වෙනුවෙන් මුදලක් වැය කිරීම ඔවුන්ගේ දරිද්‍රතාවේ හැටියට තවත් අමතර ජීවන බරකි.

එහෙත් ඒ සඳහා පිළියමක් සෙවීමට යුද හමුදා 62 වැනි සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ප්‍රමුඛ යුද හමුදා සාමාජිකයෝ සමත් වී සිටිති.

එම ප්‍රදේශවල අසරණ ජනයා වෙනුවෙන් සෑම මොහොතකම කැපවී සිටින යුද හමුදා සාමාජිකයෝ ජනාධිපති කාර්යාලය හා එක්වී දිනකට ජල ලීටර් 10000ක් පිරිපහදු කරන යන්ත්‍රණයක් ස්ථාපනය කර නොමිලේ ජලය බෙදා හැරීමට කටයුතු කළහ. පසුගිය 03 වැනිදා වවුනියාව ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම යන්ත්‍රයේ සේවය ජනතාවට ලබා ගැනීමට කටයුතු සලස්වන ලදී.

එදින පැමිණ සිටි අවට ගම්වාසීහු කිසිදු මුදලක් අය නොකර තමනට පිරිසුදු වතුර පොදක් ලබාදීමට කටයුතු කළ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පවසන්නේ මෙවන් අදහසකි.

“හමුදා මහත්තුරුන්ට ජාති ජාතිත් පින් අයිති වෙන්ට ඕනෑ අපේ ලොකුම මාරයා පරාජය කරන්න කටයුතු කෙරුවට. ඒ මහත්තුරු අපි මුලින් යුද බියෙන් මුදවගත්තා. අද අපේ අනාගත පරම්පරාව ඇතුළු සියලු දෙනා වකුගඩු මාරයාගෙන් බේරගන්න මහන්සි වෙනවා” යැයි පවසන ගම්වාසීහු අජිත් විජේසිංහ සර් අපට දෙවි කෙනෙකු හා සමාන යැයි පවසති.

එම පිරිපහදු ජලය 62 වැනි සේනාංක මූලස්ථානය අවට ගම්මානවල ජීවත්වන 3000කට ආසන්න අසරණ ජනයා වෙනුවෙන් දිනකට ප්‍රමාණවත් බව වාර්තා වේ.

යුද හමුදාවේ ශ්‍රමය සේම මුදල් වැය කරමින් කරන මෙවන් උතුම් සමාජ සුබසාධන සේවාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගෙන රට-ජාතිය වෙනුවෙන් සේවය කිරීම එම ගම්වාසීන්ගේද යුතුකමක් වේ.

Comments