මේ අධි­ෂ්ඨා­නයේ ප්‍රතිඵ­ලයි | Page 2 | සිළුමිණ

මේ අධි­ෂ්ඨා­නයේ ප්‍රතිඵ­ලයි

වියළී ගිය කර්කෂ පොළොවෙන් ඉඳහිට අගනා මුතු මැණික් මතුවන්නා සේ වසරක් පාසා විදු පියසෙන් පුංචි පුංචි මිණි කැට මතුවෙන්නේ පාසල් දිවියේ තවත් කඩ ඉමක් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ය. එය මෙවරද එසේම විය. බොහෝ දෙනා ඔවුන් ගැන කතා කරන්නට වූයේ අනාගතයේ තවත් දරු පිරිසකට ආශිර්වාදයක් ගෙන දෙන්නට ය. දුෂ්කර පාසලින් ඔබ්බට ගිය මෙවර සාමාන්‍ය පෙළ තරු කැට මතුවූයේ ගමේ පාසලින් නොව නගරයේ පාසලින් වීම විශේෂයකි. මෙවර නව විෂය නිර්දේශයෙන් ඔවුහු නොබියව විභාගයට මුහුණ දුන්නේ සුළුපටු නොවූ මේ දුෂ්කර අභියෝගය ජය ගන්නටය. ඔවුනට තිබුණේ ජනප්‍රිය පාසල්වලින් ලද ශක්තිය නොවේ. තම සිත්හි උපන් ධෛර්යය හා පොතපතටම නොව ඉන් ඔබ්බට බාහිර දැනුම සොයා සමාජයට පියමං කිරීමෙන් ඔවුහූ ජීවිතයේ ලද අත්දැකීම් මේ හපනුන්ට ජයග්‍රහණය කරා යෑමට දැවැන්ත ශක්තියක් විය. මේ ඔවුන්ගේ ජයග්‍රහණයේ කතාය. ඒ තවත් පිරිසකට ආදර්ශයක් දෙන්නටය.

 

බාහිර වැඩ නැවැත්තුවේ විභාගය ළංවෙලයි

ලංකාවෙන්ම පළමුවැනියා විශාකාවේ චෙස්වලට දක්ෂ අනූකි

ඇය අනූකි චමත්කා පැස්කුවල් ය. පළමු වසරේ සිට කොළඹ විශාකා විදුහලෙන් සිප් සතර හැදෑරූ ඇය මෙවර සුවිශේෂ වාර්තාවත් තබන්නට සමත් වූයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතරින් දිවයිනේ ප්‍රථමයා වෙමිණි. කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක වන හේමාලි පැස්කුවෙල්ගේත් මොරටුව විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයකු වන පැස්කුවල් මහතාගේත් වැඩිමහල් දියණිය වන අනූකි උපන්නේ ජපානයේ ය. “ මමයි මහත්තයයි පශ්චාත් උපාධිය හදාරන්න ජපානයේ ගිහින් ඉන්න විට තමයි ලොකු දුව අපිට හම්බවුණේ. එයා එහේ අවුරුදු එකහාමාරක් පමණ අපිත් එක්ක හිටියා. අපි දෙන්නත් ගොඩාක් කටයුතු කළේ පොත් එක්ක නිසා දුවත් නිතරම පොත් පත් කියවන්න කැමති වුණා. අන්තිමට එයා මොන්ටිසෝරි යන කාලේ පුංචි පොතක් පවා ලිව්වා. මගේ දුව ගොඩාක් දක්ෂ නිසා අපි එයාගේ මේ ජයග්‍රහණය බලාපෙරොත්තුවෙන් තමයි හිටියේ. එයාගේ පාසලේ වැඩවලට අපි කොහොමවත් බලපෑම් කළේ නැහැ. බාහිර දේ එනම් චෙස් ක්‍රීඩාවට එයා කාලය ගොඩාක් වෙන් කළා. අන්තිම මාස කිහිපය තමයි එයා බාහිර දේ කරන එක නැවැත්තුවේ. බාලදක්ෂ වගේම කුඩා මිතුරි කණ්ඩායම්වලත් දුව හිටියා. දුව අමතර පංතිවලට ගියේ සිංහලට විතරයි. ඉතුරු කාලය එයා වෙන් කළේ පාඩම් වැඩ කරන්න. විභාගය කිට්ටු වෙනකම් එයා රූපවාහිනියේ හොඳ වැඩ සටහන් නැරැඹුවා. ඒත් විභාගය ළං වෙත්ම එයාම ඒවායින් පාලනය වුණා. චෙස් කරන නිසා නිතරම අන්තර් ජාලයත් සමඟ හිටියා. අපි දුවගේ හැකියාව ගැන දන්න නිසා මේ කිසි දෙයකට බලපෑම් කළේ නැහැ. එයා එයාගේ ඉලක්කය ජයගත්තා....” අනූකිගේ මව එසේ පවසයි.

සිය ජයග්‍රහණය ගැන අනූකිටද පවසන්නට බොහෝ දේ තිබුණි. “ මට අපේ රටට සේවය කරන්න ඕනෑ ඒ නිසා මං උත්සාහ කරන්නේ ඉංජිනේරුවරියක් වෙන්නයි. මගේ මේ ගමනට පාසලේ ගුරුවරුන් වගේම මගේ අම්මා තාත්තා වගේම ආච්චිත් උදවු උපකාර කළා. මගේ ආච්චි ගණිත ගුරුවරියක්. මගේ ඉලක්කය තිබුණේ ඒ සාමාර්ථ 9 ක් ගන්නයි. නමුත් මගේ ගුරුවරු විස්වාස කළා මම හොඳ ලකුණකට එයි කියලා. මම විභාගයට වි‍ශේෂ වෙහෙසක් ගත්තේ නැහැ. ඒ වගේම පාඩම්වලට හිරවී හිටියෙත් නැහැ. මම වාර පරීක්ෂණ, විභාගටය පෙර පුහුණුවක් කර ගත්තා.....”යැයි අනූකි පවසන්නී ය.

 

විභාගය මට පීඩනයක් වුණේ නෑ

දෙවැනියා මහනුවර මහමායාවේ චමිදි කරාටේ ශූරියක්

ඇය මහනුවර මහමායාවේ චමදි මන්තිළිණි මුණසිංහ ය. ඇය සාමාන්‍ය පෙළ විභාගයටය මුහුණ දුන්නේ සිය උත්සාහයම විභාගයේ එකම ධෛර්යය කර ගනිමිණි. පියා අනිල් මුණසිංහ වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන අතර මව සුජීව සමරසිංහ විශේෂඥ වෛද්‍යවරියකි. ‘උත්සාහය තියෙනවානම් බැහැ කියලා දෙයක් නැහැ‘ චමිදිගේ ජයග්‍රහණයේ අඩිතාලම ඇය තුළ වූ මේ අධිෂ්ඨානයයි. ඇය ලංකාවෙන්ම දෙවැනි තැනට පත්වූයේ මේ ගමන් මඟ ජීවිතයටම පදනමක් කරගත් නිසාය.

“ මම හොඳට පාඩම් කළා. ගොඩාක් මහන්සි වෙලා පාඩම් කළ නිසා ගුරුවරු පවා දැනගෙන හිටියා මම විභාගය හොඳට පාස් වෙයි කියලා. පාසලේ දැනුම මිනුම තරගවලට වගේම කරාතේ ක්‍රීඩාවටත් මම ගොඩාක් දස්කම් දැක්වුවා. කරාතේ ක්‍රීඩාවට සහභාගී වෙලා දක්ෂතම ක්‍රීඩකයන් 8 දෙනා අතරට ආවා. බාහිර දේත් හොඳින් කළ නිසා විභාගය මගේ හිතට කිසිම පීඩනයක් ගෙන දුන්නේ නැහැ. ....” චමිදි පවසන්නී ය.

චමිදිගේ සහෝදරියද මහාමායාවේම අධ්‍යාපනය ලබන අතර සහෝදරයා මහනුවර ධර්මරාජයේ අධ්‍යාපනය ලබන්නේ ය. සිය මව පියාගේ අඩිපාරේ යෑමට පෙරුම් පුරන චමිදි හෙට දිනයේ විභාගයට පෙනි සිටීමට පෙරුම් පුරන සහෝදරියන්ට අගනා උපදෙසක් දෙයි. චමිදි පවසන්නේ හොඳින් මහන්සි වී පාඩම් කළොත් ජයග්‍රහණය නියත බවයි. එසේම විභාගයද අභියෝගයක් නොවන බවයි.

 

හිතා හිටියේ ලංකාවෙන් පළමුවැනියා වීමටයි

කොළඹ ආනන්දයේ සුගත් රවිඳු සංවර තුන්වැනියා

ඔහු කොළඹ ආනන්දයේ සුගත් රවිදු සංවර ය. ලංකාවෙන්ම තුන්වැනියා බවට පත්වෙමින් ආනන්දයට ආනන්දයක් වූ රවිඳුගේ පියා ව්‍යාපාරිකයෙකි. මව ගෘහණියකි. “ පුතාට පාඩම් කරන්න කියලා කවදාවත්ම කියන්න මට අවශ්‍ය වුණේ නැහැ. මුලින්ම පුතා ගියේ ගොඩගම සුභාරතීයට. එතැනින් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තමයි ආනන්දයට ආවේ. එයා කවමදාවත් නිදි මරාගෙන පාඩම් කළේ නැහැ. විද්‍යාවටයි ඉංග්‍රීසි වලටයි පමණයි පංති ගියේ. පංති දෙකකට පමණක් ගිය නිසා පුතාට පාඩම් කරන්න ගොඩාක් වෙලාව තිබුණා. ඒත් එයා ටීවී බැලුවා. බාහිර දේ කළා. දැනුම මිනුම තරගවලට වගේම පිහිනුම් ක්‍රීඩාවටත් සහභාගි වුණා. එයාගේ මහන්සියෙන් තමයි එයා මේ ජයග්‍රහණය ලබා ගත්තේ. එයාගේ දස්කම් දැක්ක නිසා ලංකාවෙන්ම පළමුවෙනියා වෙයි කියන අධිෂ්ඨානය තිබුණා. එයා ගොඩාක් නිහතමානීයි. එයාගේ නම වගේම එයාත් සංවරයි.....” සුගත්ගේ මව ඉන්ද්‍රා මාලනී පවසන්නී ය.

“ මම කවමදාවත් පාසල් නොගොස් හිටියේ නැහැ. මේ නිසා මට කවමදාවත්ම පාසල් වැඩ අතපසු වුණේ නැහැ. විභාග ප්‍රථිපල ඒ 9 ක් කියලා දැන ගත්තේ අන්තර්ජාලයෙන්. ඒත් තුන්වැනියා කියලා දැන ගත්තේ යාළුවන්ගෙන්. මගේ එකම ආසාවත් ජීව විද්‍යා අංශයෙන් ඉහළම තැනකට යෑමයි....” අනාගතයේ බොහෝ බලාපොරොත්තු ගොන්නක් ඉටු කර ගැනීමට සුගත්ට ඇවැසි ය. ඔහුගේ ඒ අපේක්ෂාවට මුල් පදනම සපයා ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයෙනි.

 

‍ලෝක චෙස් තරගවලටත් සහභාගි වුණා

මාතර රාහුලේ දිමුත් ඕෂධී මිරිස්ස - තුන්වැනියා

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් තවත් තුන් වැනියෙකු බිහි වූයේ මාතර රාහුලෙනි. මාතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී චන්දන මිරිස්ස පියාගේත්, තෙලිජ්ජවිල බෙහෙත් ශාලාවේ වෛද්‍ය නිලධාරිනී පබෝධා මල්ලවාරච්චිගේත් එකම අරමුණ වූයේ බාහිර වැඩ කටයුතු කරන අතරම සිය පුතු වන දිමුත් ඕෂධ රට තුළ කැපී පෙනෙන විශිෂ්ටයකු කිරීම ය.

“ මගේ පුතා ඉගෙනීම් කටයුතු දැඩි අධිෂ්ඨානයෙන් කළේ බාහිර වැඩත් කරමින්. පුතා ආසියානු හා ශ්‍රි ලාංකිය චෙස් තරගාවලිවලින් රන් රිදිීපදක්කම් ගොඩාක් දිනා ගෙන පාසලට කීර්තියක් අත්කර දුන්නා. 2008 වියට්නාමයේ හා 2014 දකුණු අප්‍රිකාවේ ලෝක චෙස් ශූරතාවලි දෙකටම සහභාගි වී ආසියානු රන් හා රීදි පදක්කම් 3 ක් දිනා ගැනීමට මට හැකිවුණේ විභාග වැඩ කටයුතු කරන අතරමයි. ඒ අතරම මම අන්තර්ජාලයේ වැඩි වේලාවක් නියැළී සිටියා මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. බාහිර වැඩ නිසා මට කාල සටහනකට අනුව විභාගයට සූදානම් වෙන්න බැරිවුණා. ඒත් මම එදා දවසේ වැඩ එදාම කළා. ඒ ගොඩ නැගුණු ශක්තිය තමයි මගේ මේ ජයග්‍රහණයේ රහස...............” දිමුත් පවසයි.

එදා පාසල‍ට කීර්තියක් ගෙන දුන් දිමුත්ට නැවත වරක් පාසලේ නම රැන්දවීමට හැකියාව ලැබුණේ පොතපතට පමණක් සීමා නොවී විභාගයට මුහුණ දුන් නිසාය. හෙට දිනයේ ඔහුගේ අභිමතාර්ථය ජීව විද්‍යා විෂය හදාරා විශේෂඥ වෛද්‍ය වෘත්තියට පිවිසීම ය.

වෛද්‍යවරියක වීමේ අභිලාශයෙන් බලාපොරොත්තු ගෙන්නක් පොදිබැඳ ගෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ පබසරා මලිති කුමාරි හේරත් දිවයිනේ හතරවැනි ස්ථානයට පත්වූයේ උගත් පාසලට පමණක් නොව මුළු ගම්පහ දිස්ත්‍රීක්කයටද අභිමානයක් කැන්දමිණි. ඇය මෙන්ම වෛද්‍යවරියක වීමේ අභිලාසයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දේවී බාලිකාවේ රනුමි දිසරණී නානායක්කාර මුළු දේවි බාලිකාවටම අභිමානයක් වෙමින් දිවයිනේ පස්වැනි ස්ථානයට පත්වූයේ භාවනාව මඟින් සිත එකලස් කරගනිමින් විභාගයට මුහුණ දුන් නිසාවෙනි. ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ඒ දම්සරා මේධාවී පොත පතට පමණක් සීමා නොවී බාහිර දේටත් මුල් තැන දෙමින් විභාගයට මුහුණ දුන්නේ සාර්ථක ප්‍රථිපලයක් අපේක්ෂාවෙනි. ඇයද දිවයිනේ පස්වැනි ස්ථානයට පත්වූවා ය. සිය මවගේත් පියාගේත් අරමුණ වු වෛද්‍යවරයෙකු විමේ අභිලාශයට පදනම සපයමින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් යාපනය හින්දු විදුහලේ අරුලානන්දම් අභිනන්දන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පස්වැනි තැනට පත්වූයේ උගත් පාසලට අභිමානයක් ගෙන දෙමිණි.

මේ සියල්ලෝම විශිෂ්ටයෝ ය. ඔවුහු නගරයේ ජනප්‍රිය පාසල්වලින් අකුරු කළත් ඔවුන්ගේ හැකියා සුවිශේෂි වන්නේ තම සිත් තුළ වූ මේ අධිෂ්ඨානයම ඔවුන්ගේ ජයග්‍රහණයට පාර කැපූ නිසාවෙනි. එළඹෙන හෙට දිනයේ ඔවුහු උසස් පෙළ හරහා තම දිවියට ආලෝකයක් කැන්දනු නියතය. සිළුමිණ අපි සාමාන්‍ය පෙළ සමතුන්ට සුබ පතමු.!


 වැලිකඩ හිටියත් ඉංග්‍රීසි පාස් සක්විතිගෙන් ටියුෂන්

ඉගෙනීමට වයස් භේදයක් නැත. එමෙන්ම කාලයක් නැත. මිනිස්සු මැරෙන තුරු ඉගෙන ගනිති. එය එසේ වුව දඑල්ලුම් ගහ පෙනී පෙනී මරණය කොයි මොහොතේ ළඟා වේදැයි නොදන්නෝ ද දැන් ඉගෙනීමට පෙලැඹී සිටිති. එපමණක් නොව ඔවුහූ ජයග්‍රහණ ද ලබා ගනිති.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් වී තවමත් වැඩි දවසක් නැත. ඉන් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ දරුවන් සතුටු වෙද්දී විභාගය අසමත්ව සිත්තැවුලෙන් එහි පීඩාව දරා ගැනීමට නොහැකිව සිය දිවි අහිමි කරගත් දරුවන් දෙදෙනකු පිළිබඳ ද වාර්තා විය. මේ කියන්නට යන්නේ උත්සාහය අත් නොහළ පුද්ගලයන් කීප දෙනෙකුගේ ජයග්‍රහණ පිළිබඳවය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට වැලිකඩ බන්ධනාගාරයේ වැඩිහිටිහිටි රැඳවියෝ කිහිප දෙනෙ‍ක්ද පෙනී සිටියහ. වැලිකඩින් විභාගයට පෙනී සිටි සංඛ්‍යාව විසි පහකි. ඒ සියල්ලෝම පෙනී සිටියේ ඉංග්‍රීසි විෂය සඳහාය. සමත් වූ සංඛ්‍යාව එකොළොස් දෙනෙකි. මේ අතරින් එක් අයෙක් 'බී' සාමාර්යක් ද ලබා ඇත්තේය. මෙහි විශේෂත්වය නම් මේ රැඳවියන් සඳහා ඉංග්‍රීසි විෂය උගන්වා ඇත්තේ මරණීය දණ්ඩනය නියමව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවියන් විසින් වීමය.

රැඳවියන් ඉගෙනීමට දක්වන උනන්දුව පිළිබඳ අදහස් දක්වන වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී චන්දන ඒකනායක මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට විවිධ විෂයන් ඉගෙන ගැනිමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා විෂයට පිළිතුරු ලියු රැඳවියන් සියලුම දෙනා වයස අවුරුදු හතළිහ ඉක්ම වූ අය වීමයි. ඒ වගේම තමයි පාසලේ හයේ පන්තියට හා නවය පන්තිය දක්වා පමණක් ඉගෙන ගත් අයත් මේ අතර හිටියා. කෙසේ වෙතත් අඩු පහසුකම් යටතේ ඉගෙන ගත් මේ රැඳවියන් මරණ දඩුවම හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වු අය. ඒ වගේම තමයි මේ අයට විභාගයට ඉගැන් වු අයත් මරණ දඬුවම හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු අයයි. රැඳවියකු වන සක්විති ඇතුළු ගුරුවරුන්ගේ කැපවීමත් රැඳවියන්ගේ කැපවීමත් තමයි මේ ජයග්‍රහණ ලැබීමට හේතුව වුණේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමාගේ උපරිම අනුග්‍රහය අපට මේ කටයුත්ත සඳහා ලැබුණා. මෙය බන්ධනාගාරයට ආඩම්බරයක්”. බන්ධනාගාර අධිකාරීවරයා පවසන්නේ සතුටිනි.

 


 ලෙඩ ඇඳේ සිට විභාගය ලියා A- 8ක් ගත් රාධා

ජිවිත කාලය තුළදී අපට පැමිණෙන අභියෝග බොහෝම ය. නොසිතු නෙපැතු අභියෝග අප වටා කැරකෙන්නේ අපේ දෛවයටත් සරදම් කරමිණි. එහෙත් ඒ දෛවයටත් සරදම් කරමින් පැමිණෙන දුක් කරදර තම ජිවිතයට ශක්තියක් බවට පත්කළ මේ දියණිය අපට හමුවන්නේ තිස්සමහාරාමයෙනි. ඇය ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ අධ්‍යාපනය ලබමින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් රාධා ආරියරත්න නම් දක්ෂ සිසුවියයි. ඇගේ මේ කතාව වඩත් ශෝකජනක වුවත් එහි අවසානය නෙතට සතුටු කදුළක් එක කරයි. එසේම තවත් දරු පිරිසකට දිවිය දිනන්නට අගනා අත්වැලක් ද සපයයි.

“මගේ දුව 5 වසර දක්වා ගියේ තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලට. එතැනින් ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වෙලා ගාල්ල සවුත්ලන්ඩ් පාසලට ගියා. දිනය ගිය අවුරුද්දේ අප්‍රේල් 11 වැනිදා. අවුරුදු කටේ. මේ දුවයි , තාත්තයි, එයාගේ අක්කයි තුන්දෙනාම බයිසිකලේ ගියා අච්චිලාගේ ගෙදර. රෑ එද්දි මේ තුන්දෙනා ඇක්සිඩන්ට් වුණා. ජීප් එකක් ඇවිත් බයිසිකලය හප්පගෙන ගිහින් මේ තුන්දෙනා වෙලකට වැටිලා තුන්දෙනාගේම කකුල් කැඩුණා. දුවලා දෙන්නා කරාපිටි රෝහලට ගෙනාවා. මහත්තයා කොළඹට ගෙනාවා. රෝහලෙන් කිව්වා මේ තුන්දෙනාගේම කකුල් කැඩිලා කියලා. මේ දුව පැය 12 ක ශල්‍ය කර්මයක් කළා. ඒත් ඒක අසාර්ථක වුණා. පස්සේ කොළඹට ගෙනාවා. එහේ දොස්තරලා කිව්වා දුවගේ කකුල ඉවත් කරන්න ඕන කියලා. අපි මේ ප්‍රශ්නය හින්දා ගොඩාක් අසරණ වුණා. දුවන්න කරන්න හිටියේ මම විතරයි.

මේ තුන්දෙනාම රෝහල්වල ඇඳන් උඩ. ඒත් මම මේ දුවගේ කකුල් කපන්න දුන්නේ නැහැ. මම ආයිත් කරාපිටිය රෝහලට දුව ගෙනාවා. එහේ දොස්තරවරු දෙවිවරු වගේ මගේ දුවගේ කකුල් කපන්නේ නැතුව හොඳ කරන්න පොරොන්දු වුණා. මාස එකහාමාරක් ඇඳ උඩට වෙලා හිටියා, එක ඉරියව්වෙන්ම. මේ නිසා අප්‍රේල් මාසයෙන් පස්සේ මගේ දුවලගේ පාසල් ගමන නතර වුණා. ඒත් මේ දුවට ලොකු ශක්තියක් තිබුණා එයා විභාගය කොහොම හරි කරනවා කියලා. මම එයාට රෝහලේ ඇඳ උඩ ඉදගෙන පාඩම් කරන්න පොත් ගෙනත් දුන්නා. ඉඩ තියෙන වෙලාවට ගුරුවරු ඇවිත් පාඩම් කියලා දුන්නා. ඒත් නිතරම දුව හිටියේ රෝහලේ නිසා හැමෙදේම එයාට අතපසු වුණා. ඒත් එයාගේ හිතේ ධෛර්යය තිබුණා. මොන බාධක ආවත් විභාගය කොහොම හරි කරනවා කියලා විස්වාසයක් එයාගේ හිතේ තිබුණා. දුවට තාම ඇඳෙන් බහින්න බැහැ. එයා විභාගයට ලිව්වේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් විදියට. පාසලේ නේවාසිකාගාරයේ ඇඳේ ඉඳගෙන තමයි විභාගයට පිළිතුරු ලිව්වේ. එත් එයා අන්තිමේදි එයාගේ ශක්තියෙන්ම මේ හැම බාධකයක්ම ජයගෙන ඒ 8 ක් හා සි සාමාර්තයක් ලබා ගත්තා............” මව කේ.එල් මල්ලිකා මහත්මිය පවසන්නී ය.

ඒ සාමාර්ථ 8 ක් ලබා ගනිමින් අභියෝගයන්ට අභියෝග කළ රාධාගේ අරමුණ උසස් පෙළ ජයගෙන වෛද්‍යවරියක වීමය. “ මට ශක්තියක් වුණේ මගේ අම්මා. ඒ වගේම මගේ ජීවිතයේ අපිට පිහිට වුණු වෛද්‍ය සතිෂ් විජේමාන්න මෙන්ම වෛද්‍ය ඩග්ලස් ජයසේකර මහත්වරු අපිට අමතක කරන්න බැහැ. මගේ ජීවිතේ මට පිහිට වුණු වෛද්‍යවරු වගේ මමත් කවදා හරි වෛද්‍යවරයෙක් වෙලා රටට සේවය කරනවා. මට විභාගයට සූදානම් වෙන්න කියලා කාලයක් තිබු‍ණේ නැහැ. ඒ මාස ගණනාවම හිටියේ ඇඳක් උඩ, රෝහලේ. තාමත් එහෙමමයි. ඒත් මට ලොකු ශක්තියක් තිබුණා. මගේ අම්මා, මගේ ගුරුවරු මම වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කළා. මේ නිසා මම හිතට අධිෂ්ඨානයක් ගත්තා කොහොම හරි හොඳට සමත් වෙනවා කියලා. අද මට හරිම සතුටුයි. මගේ ජිවිතේ මාව පරද්දන්න ආපූ හැම අභියෝගයක්ම මම පරාජය කළා වෙනවා.....” රාධා පවසන්නී ය.

අධිෂ්ඨානය ඇත්නම් පැමිණෙන අභියෝග අභියෝගයන්ද නොවන්නේය. අවශ්‍ය ජය ගැනීමේ අරමුණ පමණි. පැමිණි බාධා මැද ඒ සාමාර්ථ 8 ක් ගත් රාධා ගේ මේ කතාවෙන් කියා දෙන්නේ ඒ අපූරු ආදර්ශයයි.

Comments