
මේ උත්සව සමයයි. ඒ නිසා ඇඟලුම් හා රෙදිපිළි අංශය දිනෙන් දින සක්‍රීය වෙමින් තිබේ.
පිටකොටුව පුරාම ඇඟලුම් හා රෙදිපිළි සුනාමියෙකි. මේ සුනාමිය මහරගම - පමුණුව දක්වාම ගලා තිබේ. කොළඹ ප්‍රදර්ශන ශාලා බොහොමයක ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන පැවැත්වේ. ප්‍රාදේශීය නගරයන්හි තත්ත්වය ද ඒ හා සමානය.
ළමා ඇඳුම්, කාන්තා ඇඳුම් ආදිය වැඩියෙන්ම අලෙවි වන බව මහරගම වෙළෙන්දෝ පවසති. රුවන් හිදැල්ලන රත්නපුර සිට හිමිදිරියේම මහරගම නගරයට පැමිණෙන්නේ ළමා හා කාන්තා ඇඳුම් මිලට ගන්නටය. රුපියල් 7000 - 8000 ඇඳුම් මිලට ගන්නා ඔහු රත්නපුර නගරයට නුදුරු පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙයි. ඇතැම් දිනවල බළංගොඩට යයි. දෛනිකව රුපියල් 3000 ක ලාභයක් ලබන ඔහුගේ උත්සාහය ත්‍රිරෝද රියක් හෝ කුඩා ලොරියක් හෝ මිලට ගැන්මයි. දැනට ඔහු සිය භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ බස් රියෙනි.
ගාල්ල - මාතර නගරයනට ද මහරගමින් ඇඟලුම් සැපයේ. ගාල්ල - මාතර අධිවේග බස් සේවාව ඒ සඳහා ලොකු මෙහෙයක් ඉටු කරයි. මහරගම සිට හැටන්, නාවලපිටිය බදුල්ල දක්වා ද බස් මඟින් ඇඳුම් පැලඳුම් ප්‍රවාහනය වෙයි.
පාන්දර පහට ඇරැඹෙන මහරගම වෙළෙඳ පොළ මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වේ. ඇඟලුම් පමණක් නොවේ.
“බොත්තම්, නූල්, සිප්, ඉලාස්ටික්, නූල් වර්ග, ඉදිකටු, මහන මැෂින් අමතර කොටස් සහ විවිධ මාදිලියේ ඇඟලුම් උපකරණ ද මහරගම වෙළෙඳ පොළේ දක්නට ලැබේ යැයි සමන්තා පීරිස් කියයි.
මේ නිෂ්පාදන බොහොමයක් දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ ගෘහස්ථ නිෂ්පාදනයෝය. මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවනගේ නිෂ්පාදන ද දක්නට ලැබේ. ඊටත් අමතරව අපනයනය සඳහා වූ නිෂ්පාදන ද මෙහි ඉඳහිට අලෙවි වේ. වෙළෙන්දන් පවසන අන්දමට පිටකොටුවට පවා මහරගමින් රෙදිපිළි ඇඟලුම් සැපැයේ.
කොළඹ නගරයේ සාප්පු සවාරි මෙන්ම ප්‍රදර්ශන ශාලා සවාරි යන්නන්ට ද අන්තර්ජාතික සන්නාම සහිත ඇඟලුම් දක්නට ලැබේ. එහෙත් කැපී පෙනෙන අඩුවක් නම් දේශීයමය අත්යන්ත්‍ර නිෂ්පාදන, දේශීය බතික් රෙදිපිළි නිෂ්පාදන සහ දේශීය පිළියෙන් සැකසු ඇඟලුම් හිඟයයි.
ඉන්දියාවේ චෙන්නායිහි කුමරන් නම් වෙළෙඳ මධ්‍යස්ථානයකි. ඉන්දියාවේ රාජස්තානි එම්බ්‍රොයිඩර් මෙන්ම බිහාරයේ සාරි ද එහිදී රාජස්ථානයේ සහ බිහාරියේ මිලටම මිලදී ගැනීමට පිළිවන. ශ්‍රී ලංකා දඹදිව සංචාරකයන්ගේ ද සිත් දිනාගෙන ඇති මේ ආයතනයේ හොඳින් සිංහල බස හසුරුවන සේවකයෝ ද වෙති. රාජස්තානි එම්බ්‍රොයිඩරි යනු එම ප්‍රදේශයට ආවේනික ගෘහාශ්‍රිත හස්ත කර්මාන්තයකි. බිහාරයේ සාරි කර්මාන්තය ද එලෙසමය.
ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය ඕලන්ද යුගයේ දී ලංකාවට හඳුන්වා දුන් ශිල්පයකැයි කියැවේ. එවක ඕලන්දයට යටත් ව තිබූ ජාවා දූපත ආසියාවේ බතික් කර්මාන්තයේ මුදුන් මුලකි. බතික් යන වචනය බටේ යන ජාවා වචනයෙන් බිඳී ආ වචනයකැයි කියති. ජාවා දූපතේ සිට ඕලන්දක්කාරයන් අතින් ශ්‍රී ලංකාවට බතික් ශිල්පය ලැබිණැයි කියති. බටේ යන වචනයේ තේරුම ඉටියෙන් කළ සිත්තම යන්නය. ජාවා දූපත ද ඇතුළු සෙසු දූපත් රාජ්‍යයක් වූ ඉන්දුනීසියාව අද ද බතික් කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින රාජ්‍යයකි.
2009 ඔක්තෝබර් 02 වැනිදා ඉන්දුනීසියාව ජාතික බතික් දිනයක් ප්‍රකාශයට පත් කළාය. ඒ අනුව රාජ්‍ය නායකයා ඇතුළු සියලු රටවැසියෝ ඔක්තෝබර් 02 වනදාට බතික් රෙදිපිළියෙන් සැරසිය යුතුය. සෑම සතියකම සිකුරාදාම බතික් රෙදිපිළියෙන් සැරසීම ද ඉන්දුනීසියාවේ සිරිතයි. ඉන්දුනීසියාව ලොව ප්‍රධානතම බතික් නිෂ්පාදකයා ද අපනයනකරුවා ද වෙයි.
තායිලන්තය, මලයාසියාව, ජපානය සහ පිලිපීනය අද බතික් කර්මාන්තයෙන් දියුණුවට පත් රටවල්ය. ඉන්දියාව, චීනය සහ වියට්නාමය දැන් ඒ මගේම ගමන් කරයි. ප්‍රධාන වෙළෙඳපොළ යුරෝපය සහ ඇමෙරිකාවයි.
සංචාරක කර්මාන්තය ඇරැඹීම සමඟ ශ්‍රී ලංකාව තුළ බතික් කර්මාන්තය දියුණුවීම ඇරැඹිණි. මෑත කාලීන බතික් ප්‍රබෝධයේ පුරෝගාමින් අතර ප්‍රේමකුමාර එපිටවෙල සහ සෝමා උඩබාගේ යන කලාකරුවනගේ නම් අමතක කළ නොහැක.
මුහුදුබඩ වෙරළ ආශ්‍රිත නගර බතික් කර්මාන්තයේ මුල් තැන පත් අතර ස්වයං රැකියා සහ ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස දෙලක්ෂයකට අධික පිරිසක් එදා එමඟින් යැපීම ද විශේෂිත තත්ත්වයකි. එසේම සේවක සේවිකාවන් සිය ගණන් සේවය කළ දැවැන්ත බතික් කර්මාන්ත ශාලා ද බතික් අපනයනකරුවෝ ද පහළ වූහ. ලක්ලූම්ස් එවැනි ආයතනයකි.
දේශීය බතික් කර්මාන්තය එදා තිබු තැන අද නැතැයි කියන බතික් කලාකරුවෝ ඒ සඳහා ගත යුතු පියවර ද යෝජනා කරති. ඔවුන් පවසන අන්දමට බතික් කර්මාන්තයට අවශ්‍ය සායම් හෙවත් ඩයි වර්ගයන්හි මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් තිබේ.
නැප්තෝල් යනුවෙන් වූ ඩයි වර්ගය පැට්ට්‍රොලියම් අතුරු නිෂ්පාදනයකි. ලෝක තෙල් මිල පහළ බැස ඇති නමුත් ඒ ආශ්‍රිත අතුරු කර්මාන්ත නිෂ්පාදනයක මිල ඉහළ යෑමට ඩොලරය හරස්ව තිබේ. නැප්තෝල් වර්ගයේ මූලික ඩයි වර්ග වන AS, හා ASG මෙන්ම RED B, BLUE B ආදි වර්ණකයන්ගේ ද මිල ඉහළ නැඟ ඇතැයි බතික් ශිල්පියෝ කියති.
බතික් කර්මාන්තයට අදාළ පැරපින් වැක්ස් යන ඉටි වර්ගය ද තෙල් කර්මාන්තයේ අතුරු නිෂ්පාදනයකි. එසේම එම කර්මාන්තය සඳහා මී ඉටි ද අවශ්‍ය වේ. මේ ඉටි දෙවර්ගයේම මිල ඉහළ ගොස් තිබේ. පිරිසුදු මී ඉටි හිඟයක් තිබේ යැයි ඔව්හු කියති.
පුහුණු ශිල්පීන්ගේ හිඟය තවත් ප්‍රශ්නයකි. බතික් වැනි ශිල්පයක් කරා යොමුවන පිරිස සොයා ගැනීම දුර්වල බව ද, නියම බතික් ශිල්පියකු වීමට අවුරුදු 3ක්වත් ආධුනික මට්ටමේ කටයුතු කළ යුතු බව ද බතික් ශිල්පිනියක වූ කටුනායක වයලට් වර්ණකුල මහත්මිය කියයි.
ඒ මහත්මිය පවසන අන්දමට ටූල් සහ පුනීල නමින් හඳුන්වන ලෝහ භාණ්ඩ දෙකකට අත හුරුකර ගත යුතුය. චිත්‍ර හා මෝස්තරයන්හි ඉටි තවරනු ලබන්නේ මේ උපකරණ මඟිනි. මේ සඳහා අවශ්‍ය උපකරණ දැන් දක්නට ලැබෙන්නේ බාල මට්ටමේ නිර්මාණ ලෙසිනි. එම නිසා ඉටි මිශ්‍රණයේ රස්නය අනුව නිර්මාණයේ තත්ත්වය බාල වේ.
බතික් සඳහා අවශ්‍ය කපු රෙදි තවත් ප්‍රශ්නයකි. කලකට පෙර නිල් ඉර පොප්ලින්, වේයන්ගොඩ පොප්ලින් සහ පූගොඩ පොප්ලින් යන කපු රෙදි වෙළෙඳපොළේ දක්නට ලැබිණි. අද වන විට කපු රෙදි මිල ගණන් මෙන්ම කපු වොයිල් රෙදි මිල ද ඉහළ ගොස් ඇතැයි ඈ කියන්නීය.
සංචාරක කර්මාන්තයට අවශ්‍ය කාන්තා ඇඳුම් බොහොමයක් වොයිල් ඇඳුමින් නිර්මිතය. ග්‍රිස්මය නිසා සංචාරක කාන්තාවෝ එම රෙදිවලට ප්‍රමුඛත්වය දෙති. කම්කරු ශ්‍රමය ද අවශ්‍ය වේ. දිනකට රු. 1200 - 1500 අතර ප්‍රමාණයක් කම්කරුවකු සඳහා වැය කළ යුතු වේ. මේ නිසා ස්ථිර ඇණවුම් නැතිව බතික් කර්මාන්තයට යළි සම්බන්ධ වීමට පැරැණි බතික් ශිල්පීන් අකමැති බව ද පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සහ බතික් කර්මාන්තය දියුණු කිරීමට රාජ්‍ය ආයතන රාශියකි. අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය සහ SLITA යන ආයතන ඒ අතර ප්‍රධානය. මේ සැම ආයතනයක්ම රටේ රෙදිපිළි ඇඟලුම් හා බතික් යන අංශ නංවාලීම සඳහා ක්‍රියාත්මක වේ.
උදාහරණ ලෙස ගතහොත් අපනයන සංවර්ධන මණ්ඩලය මෙරට ප්‍රමුඛ බතික් නිෂ්පාදකයන් කණ්ඩායමක් කැඳවා බතික් කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය පියවර සාකච්ඡා කෙළේය. එම වැඩපිළිවෙළ ඉදිරි පියවර කීපයක් ගැනීමට නියමිතය.
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් බතික් ක්ෂේත්‍රය පිළිබඳව කළ හැදෑරීමකදී ද හෙළි වූයේ ජාතික ආර්ථිකය අපනයන අංශය වෙත නැඹුරු කිරීමේදී බතික් කර්මාන්තයට විශාල දායකත්වයක් සැපයීමට හැකි බවයි.
අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය ඔක්තෝබරයේ සුළු හා මධ්‍යම පරිමාණ බතික් කර්මාන්ත කරුවන් 24 දෙනෙකු ගෙන්වා විදේශ බතික් වෙළෙඳපොළ ඉලක්ක කර සාකච්ඡාවක් පවත්වන විට අවධාරණය කෙරුණ කරුණු දෙකකි.
පළමුවැන්න ඉටි කිරීමේ සියුම්තාවයි. දෙවැන්න වර්ණ කිරීමේ උසස්තාවයි.
ඉන්දුනීසියාව සිය බතික් අපනයනයෙන් සියයට 37ක් යොමු කරන්නේ ඇමෙරිකානු වෙළෙඳ පොළටය. ජපානය ජර්මනිය සහ නෙදර්ලන්තය සෙසු වෙළෙඳ පොළවල්ය. පසුගිය මැයි මාසයේ ඉන්දුනීසියාව ද සිය බතික් කර්මාන්තය තවත් පුළුල් කර විදේශ විනිමය උකහා ගැනීම පිළිබඳව කරුණු හැදෑරීමක යෙදුණාය.
එහිදී ප්‍රධාන කරුණු පහක් හඳුනා ගත්තා ය ප්‍රථමයෙන් හඳුනාගත් කරුණ ඉන්දුනීසියාවේ බතික් කර්මාන්තය කපු පිළි සායම් සපයා ගැනීම යන අංශ දෙකෙන්ම විදේශීය සැපයීම් මත යැපෙන බවයි. කපු රෙදි සපයා ගත්තේ ඇමෙරිකාව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලිනි. ඩයි වර්ග මහා බ්‍රිතාන්‍ය හා ඉන්දියාවෙනි.
ජාතිය පුරා බතික් රෙදිපිළි භාවිතය තවත් පුළුල් කළ යුතු බවට ද හඳුනාගන්නා ලදී. ඒ සඳහා විධිමත් ප්‍රචාරක වැඩපිළිවෙළක අවශ්‍යතාව ද තවත් අංශයකි.
විවිධ බතික් මෝස්තර සහ තාක්ෂණය පිළිබඳව බතික් ශිල්පීන් දැනුවත් කිරීම ද, බතික් ශිල්පියකු වනවාට වඩා කර්මාන්ත ශාලාවක රැකියාවකට යෑමට තරුණ පෙළ උනන්දු වන බව ද අඩුපාඩු ලෙස ඉන්දුනීසියාවට පෙනී ගොස් තිබේ.
2014 ඉන්දුනීසියාව බතික් අපනයනයෙන් ලද ආදායම ඇ. ඩොලර් දසලක්ෂ 22 කි. ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 1.5 ක ඉලක්කයක් හඹා යෑම ඉන්දුනිසියාවේ සැලැස්මයි. ඉන්දුනීසියාව ඒ සඳහා දැන් කටයුතු අරඹා තිබේ. ඉන්දුනීසියාවේ පාඩම අපට ද පාඩමකි.