අන්තර් මෝසම් වැස්ස සමඟ බක්මහ අකුණු වැඩි වන ලකුණු | සිළුමිණ

අන්තර් මෝසම් වැස්ස සමඟ බක්මහ අකුණු වැඩි වන ලකුණු

 සිංහල අලුත් අවුරුද්ද උදාවන මේ කාලයේ සිංහල අවුරුදු ප්‍රීතිය යම් තරමක් අඩු කළ හැකි බක්මහ අකුණු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. බක්මහ අකුණු මේ අප්‍රේල් මාසයට ආවේණික වූවත් එය මෙවර එතරම් සක්‍රීය වූ බවක් පෙනෙන්නට නැත. සාමාන්‍යයෙන් තෙත් කලාපයේ සවස 5 සිට 8 දක්වා මේ බක්මහ අකුණු බහුලව ඇතිවීම සාමාන්‍ය තත්ත්වයයි. ඒත් මෙවර ඒ අකුණු ඇතිවීමේ ප්‍රවණතාව තරමක් අඩු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ වුවත් කාලගුණ විද්‍යා දත්ත තොරතුරු අනුව අපේ රටේ තෙත් කලාපයට අප්‍රේල් 8න් පසු බක්මහ අකුණු තව වැඩිවීමට හැකියාව තිබේ. විශේෂයෙන්ම රටේ සමහර ස්ථානවලට මේ දිනවල අකුණු බහුලව ඇතිවීමේ සම්භාවිතාවක් තිබේ.

රත්නපුරය, කිරිඇල්ල, ගම්පොළ, නෙළුව, දැරණියගල, යටියන්තොට වැනි ප්‍රදේශවල අකුණු අනතුරු වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. එමෙන්ම තෙත් කලාපයට සවස 3 සිට රාත්‍රී 10 දක්වා අකුණු වැඩිපුර ඇතිවන බව ද පර්යේෂණ අනුව පැහැදිලි වී ඇත.

අලුත් සමීක්ෂණ අනුව අපේ රටේ අකුණු වැඩියෙන්ම ඇතිවන්නේ අප්‍රේල් මාසයේදීය. අපි මේ අප්‍රේල් මාසයේ අකුණුවලට බක්මහ අකුණු ලෙස හැඳින්වුවත් මේ දිනවල අපට ලැබෙන්නේ අන්තර් මෝසම් වැස්ස සමඟ එන අකුණුය. මේ අන්තර් මෝසම් වැසි සමය වසරේ මුල්ම අන්තර් මෝසම් වැසි සමය වේ. කෙසේ වුවත් මුළු තෙත් කලාපය පුරාම අධික වැසි ඇතිවිය යුතු අන්තර් මෝසම් වැස්ස මෙවර අඩුවී ඇති බව වාර්තා වී තිබේ. පසුගිය නියං සමයෙන් පසු යම් වැස්සක් ලැබුණත් මේ අන්තර් මෝසම් සමයෙන් මීට වඩා වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ හා කෘෂිකර්ම බලධාරීහු අපේක්ෂා කළහ. ඉදිරියේදීවත් එය ඉටුවනු ඇතැයි ගොවි ජනතාවත් අපේක්ෂා කරති.

ප්‍රථම අන්තර් මෝසම් වැසි, නියඟය අවසන් කරන බවට අප බලාපොරොත්තු තබා ඇත. අන්තර් මෝසම් සංවහන වැසි වර්ධනය වීම සඳහා අවශ්‍ය පාරිසරික සාධක වර්ධනය වීමේලා බලපාන සංසිද්ධි සැකෙවින් සලකා බලමු.

හිරු වටා, අර්ධ විෂ්කම්භය කිලෝමීටර කෝටි 15ක් වන ඉලිප්සාකාර මාර්ගයක් ඔස්සේ, ආසන්න ලෙස දින 365ක කාලයක් තුළදී අප පෘථිවිය සම්පූර්ණ වටයක් ගෙවමින් අවකාශය තුළින් ගමන් කරන අතර ඉලිප්සයේ එක් නාභියක සූර්යයා පිහිටා ඇත. මෙම ගමන ගෙවන අතරේ අප ලෝකය එම ගමන් තලයට අංශක 23.5 ක ඇලයකින් තම අක්ෂය තබාගෙන සෑම පැය 24කට (ආසන්න ලෙස), එනම් දිනකට, එක් වටයක් බැගින් කරකැවීම නිසා මෙම ගමන ඉතා සංකීර්ණ එකක් බවට පත් වී තිබීම ස්වාභාවිකය.

මෙම සංකීර්ණතාවයේ ඵලයක් ලෙස හිරු එක් අර්ධ වසරක් ඇතුළත උත්තර අර්ධ ගෝලයටත් අනෙක් අර්ධ වසරේ අනෙක් අර්ධ ගෝලයටත් මුදුන් වී පායයි. මෙම කාලයේදී මාර්තු මස 20, 21 දිනවල හිරු නිරක්ෂයට මුදුන් වී අප්‍රේල් මස 4 දා පමණ සිට 15 දා පමණ දක්වා අප රට තුළ විවිධ ස්ථානවලට මුදුන් වේ. මේ මුදුන් වීමත් සමඟ අප බිම් තලයට හිරු තාපය ඍජුවම පතිත වී ධරණීතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස සංවහන වැසි වර්ධනය වී අපට අකුණු සහ ගිගිරුම් සහිත වැසි ලැබීම පළමු අන්තර් මෝසම් කාලයට ආවේණිකය. ෙමවර අන්තර් මෝසම් සමය සාමාන්‍යයෙන් මාර්තු මස මැද පමණ සිට මැයි මස දෙවන සතිය පමණ වන තෙක් පැවතුණ ද හිරු මුදුන් වීමේ ඵලයක් ලෙස මෙම වැසි වැඩියෙන්ම අපට ලැබෙන්නේ බක් මාසයේය. අන්තර් මෝසම් දිනවල ප. ව. 2, 3 පමණ වන විට සමහර විට තරමක් දැඩි සුළං ද සහිතව අකුණු සහිත වැසි වැටෙන්නට පටන් ගන්නේ ලෝකය විනාශ කිරීමට එන ප්‍රචණ්ඩත්වය ලෙස වුවද, විනාඩි 20 - 30 කින් ඒ සියලු චණ්ඩිකම් අහවර කොට නිසංසල වීම මෙම වැසිවල සාමාන්‍ය ලක්ෂණයකි. මෙම වැසි දවසේ වේලාසනම දක්නට ලැබෙන්නේ කඳුකර කොටස්වලය.

අන්තර් මෝසම් සමයට වැටෙන වැසිවල අන් සාධක සමහර විට හානිදායක වන්නේ ඒ සමඟ අකුණු පමණක් නොව සමහර අවස්ථාවල ඉතා දැඩි සුළං සහිත ටොනේඩෝ පවා වර්ධනය වීම නිසයි. දිවයිනේ ප්‍රථම අන්තර් මෝසම් සමයේ සක්‍රීය වූ සංවහන ධාරාවල උද්දීපනයක් වර්ධනය වී අකුණු සදාලන විශේෂ වලාකුළු ප්‍රභේදයක් වන කැටි වැහි වලාවන් සෑම ප්‍රදේශයකම පාහේ වර්ධනය වේ. එසේ කැටි වැහි වලාවන් වර්ධනය වන නිසා එම වලාවන් අප වෙත ලබා දෙන අකුණු සහ ගිගිරුම් වගේම චණ්ඩ සුළං සහිත ටොනේඩෝවල බලපෑම්වලට ද මුහුණ දීමට අපට සිදු වේවි. මෙනිසා අන්තර් මෝසම් සමයට ආවේණික වන කාලගුණ සාධක වන අකුණු, ටෝනේඩෝ සමඟ එන ප්‍රචණ්ඩ සුළං සහ ක්ෂණික ධාරාණිපාත වර්ෂාව හා සම්බන්ධ ආපදාවලින් වැළකීම හෝ අඩුකරලීමට ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය බව පැහැදිලිය.

සෑම වසරකම අකුණු අනතුරුවලට ලක් වීමෙන් අප රටේ සිදු වන මරණ සංඛ්‍යාව 50 ඉක්මවන බවට පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ඒ අතර බොහෝ දෙනෙක් විවිධ ආබාධවලට භාජන වේ. එය සැලකිය යුතු තරම්ය. අකුණු අනතුරුවලින් වැළකීමට ගත හැකි පියවර දියත් කිරීමේලා රටවැසියන් දක්වන නොසැලකිලිමත්කම නිසා ජීවිත සහ දේපළ රාශියක් විනාශ වන බවට උදාහරණ බොහෝය. අකුණු අනතුරුවලට ලක් වන්නෝ බොහෝමයක් ගොවි ජනතාව ඇතුළු කම්කරු ජනතාව වගේම විවිධ කාරණා සඳහා එළිමහන්ගත වන දරුවෝය.

අකුණු පහරක් යනු විද්යුත් ලෙස ආරෝපණය වූ කැටි වැහි වලාකුළක් තුළ හෝ වලාකුළු අතර හෝ වලාකුළක සිට පෘථිවිය වෙත සිදුවන විද්යුත් විසර්ජනයකි. එනම් විදුලි ධාරාවකි. මෙම විසර්ජනය එක පහරක් හෝ පහර කිහිපයකින් සමන්විත විය හැකිය. කැටි වැහි වලාකුළු වර්ධනය වන ඕනෑම කාලගුණ තත්ත්වයක අකුණ ඇති ‍වෙන බව අවධාරණය කළ යුතුය. මෙම හේතුව නිසා අකුණු අනතුරු පිළිබඳ අපේ අවබෝධය සහ ඒවා නිවාරණය කිරීම පිළිබඳ උනන්දුව සැමදාම අලුත් කර ගත යුතුය. ඒ සඳහා දැනුම්වත් වීම ප්‍රමුඛ අවශ්‍යතාවයි.

අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර 25000ක් පමණ වන අතර වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 100ක් පමණ වේ. ඒ අනුව කුලෝම්බ් 5ක පමණ විද්යුත් ආරෝපණයක් පෘථිවිය වෙත ගෙන එන අකුණු ධාරාවක් සතු ශක්තිය ජූල් මිලියන 500ක් පමණ විශාල අගයකි. අකුණු ඇති වීම වැළැක්විය නොහැකි වුවද ආරක්ෂක පූර්වෝපායයන් පිළිබඳ සැලකිලිමත් වුවහොත් අකුණුවලින් සිදුවිය හැකි ජීවිත සහ දේපළ හානි බොහෝ සේ අඩු කරගත හැකි වේවි.

අකුණු අනතුරු විවිධාකාරය. ඒවායින් වැළකීම සහ අනතුරු අවම කරලීම සඳහා ගොඩනැඟිලි වෙත ළඟා වන අකුණු පිළිබඳ විශේෂයෙන් සැලකිය යුතුය.

පරිසරයට නිරාවරණය වීම අකුණු අනතුරුවලට අත වැනීමක් වන බව එම අනතුරු වාර්තා විමසන විට පෙනී යයි. එසේ වුවද නිවෙසේ හෝ වෙන යම් ගොඩනැඟිල්ලක් තුළ සිටි විට පවා අකුණු පහරවලින් විවිධ අනතුරු හෝ ජීවිත හානි සිදුවන අවස්ථා ඇති වන බව අසන්නට ලැබේ.

අකුණු සහිත වැසි වසින වාතාවරණයකදී ගොඩනැඟිලි වෙත අකුණු ධාරා ගලා ආ හැකි අයුරු විවිධාකාරය. හුදෙකලා හෝ සැලකිය යුතු තරම් උසස් වූ ගොඩනැඟිලි වෙත ඍජු ලෙසම, පහසුවෙන් අකුණු ළඟාවීම ඍජු අකුණු පහර ලෙස නම් කෙරේ. ගොඩනැඟිලි අසල පිහිටි උස් වූ වස්තුවක් වෙත ළඟා වන අකුණු පහරකින් කොටසක් හෝ සම්පූර්ණ ධාරාවම ගොඩනැඟිල්ල හා සම්බන්ධකම් ඇති සන්නායකයක් ඔස්සේ ගමන් කිරීම හෝ කෙළින්ම අවකාශය ඔස්සේ විසර්ජනය වීම පාර්ශ්වික අකුණු පහර නම් වේ. කොයි ආකාරයට ළඟා වුවත් අකුණු ධාරාවක් මහා විනාශයක් කිරීමට පෙලඹෙනු ඇත. ගොඩනැඟිල්ලක් වෙත ළඟා වන අධික විදුලි ධාරා පොළොව වෙත ගමන් කිරීමට පහසු මාර්ග සලසා තිබීම අකුණු අනතුරු අඩු කරලීමට අප විසින් කළ හැකි වඩාත් සුදුසුම උපක්‍රමයයි.

අකුණුවලින් ගොඩනැඟිලිවලට සිදු වන ආපදා අඩු කරලීමට ගත යුතු ආරක්ෂක පියවර ක්ෂණිකව ගත නොහැක. ඒ සඳහා මනා සැලසුමක් මෙන්ම නිවැරැදි ක්‍රියාමාර්ගයක් ගත යුතුය. අකුණු අනතුරු අඩු කරගැනීම සඳහා සවි කළ යුතු තාක්ෂණික මෙවලම් කල් වේලා ඇතිව නියමිත ප්‍රමිතීන්ට එකඟ වන පරිදි සවි කිරීමට අපි සැම වග බලා ගත යුතුය.

වෙනත් අකුණු ආරක්ෂක පියවර කිහිපයක් විමසා බලමු.

a. නි‍ෙවස සහ අවට ගස් අතර යකඩ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍ය මඟින් සම්බන්ධ කිරීම් නොතබන්න. කම්බි යොදා සකස් කළ රෙදිවැල් ද අබලන් ගස් බැඳ තැබීමට යොදන කම්බි ද අනතුරුදායක බවට උදාහරණ වේ.

b. අකුණු පහරක අධික ධාරාව අර්ධ ලෙස හෝ සම්පූර්ණ ලෙස තැනින් තැනට රැගෙන යෑමට පරිසරයේ ඇති සන්නායක කම්බි ආධාර වේ. විදුලි බල සැපයුම් කම්බි, රූපවාහිනී ඇන්ටෙනා කම්බි සහ දුරකථන කම්බි අකුණු ධාරා සන්නයනය කිරීම නිසා දේපළ සහ ජීවිත හානි වූ අවස්ථා බොහෝය.

මේ නිසා අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ගැන අනාවැකි ප්‍රකාශ වූ විටෙක,

(i) විදුලි උපකරණ විද්යුත් පරිපථවලින් විසන්ධි කර තබන්න.

(ii) රූපවාහිනී ඇන්ටෙනා එම යන්ත්‍රවලින් විසන්ධි කොට ඇන්ටෙනා පේනුව නි‍ෙවසින් බාහිරව පෘථිවියට ආසන්න වන පරිදි තබන්න.

(iii) විදුලි ස්ත්‍රික්ක, ශීතකරණ, ලෝහ ජනෙල් රාමු, ගුවන් විදුලි යන්ත්‍ර වැනි උපකරණ ස්පර්ශයෙන් හා පරිහරණයෙන් වැළකී සිටින්න.

(iv) උස් ලෝහ ආකෘති, කම්බි වැටවල් හෝ කම්බි රෙදිවැල් අසල සිටීමෙන් හා ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින්න.

(v) රැහැන් දුරකථන භාවිතය අඩු කරන්න. නොවැළැක්විය හැකි අවස්ථාවලදී දුරකථන සාකච්ඡා හැකි තරම් අවම කරන්න.

අකුණු සහිත කාලගුණ තත්ත්වයකට පෙර,

පරිසරයට නිරාවරණය වීම අවම කිරීම සඳහා ආරක්ෂක ස්ථානයක් වෙත යන්න. සංවෘත ගොඩනැඟිල්ලක් හෝ වඩාත්ම සුදුසු වන සංවෘත වාහනයක් තුළ ආරක්ෂාව පතන්න. අකුණු දර්ශනය වීම සහ ගිගුරුම් හඬ ඇසීම අතර කාලය තත්පර 15කට අඩුනම් හෝ ඉතා ආසන්නයේ අකුණු ඇතිවන අවස්ථාවල හෝ මෙම කටයුත්ත යුහුසුලුව කළ යුතුයි.

අකුණු සහිත කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවලදී,

(i) ක්‍රීඩා පිටියක්, තේ වත්තක් හෝ කුඹුරක් වැනි විවෘත ස්ථානවල ගැවසීම සීමා කරන්න. විශේෂයෙන්ම උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කරමින් එළිමහනේ කටයුතු කිරීමෙන් වළකින්න. මෙය නොවැළැක්විය හැකි නම් දෙපා ආසන්නව තබා පහත් වෙන්න. වියළි පාවහන් පැලඳීම හෝ පරිවාරක ද්‍රව්‍යයක් මත සිටීම ආරක්ෂාව වඩාත් තහවුරු කරයි.

(ii) හුදෙකලා වෘක්ෂ අසල හෝ උස් භූමිවල නොරැඳෙන්න. නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගසක් අසල සිටීමට සිදු වේනම් අතු විහිදී ඇති සීමාවෙන් පිටත සිටීමට උත්සාහ කරන්න.

(iii) ස්ථානය කුමක් වුවත් ශරීරයේ ක්‍රියාකාරී උස ප්‍රමාණය අඩු කරලීම සඳහා වාඩිවී හෝ සයනයක දිගාවී සිටින්න.

(iv) විවෘත බෝට්ටුවකදී නම් වාඩිවී සිටින්න. නැතිනම් තරමක් උස්වූ ජැටියක් හෝ පාලමක් යට ඒ හා ඍජු ස්පර්ශයක් නොමැතිව නැංගුරම්ලෑම ආරක්ෂාව වැඩි කරයි.

(v) අශ්වයන් පිට යාම, පාපැදි, යතුරුපැදි, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන පැදවීම නොකරන්න.

(vi) ජලාශවල පිහිනීම හෝ ජලය ඇති ස්ථාන මත ඇවිදීමෙන් වළකින්න.

කැටි වැහි වලාකුළක ආයුෂ විනාඩි 30ක් පමණ කෙටි වේ. මේ නිසා විශේෂයෙන් සංවහන වැසි වැටෙන විට ඉතා අනතුරුදායක අකුණු ඇතිවන්නේ කෙටි කාල සීමාවක් තුළය. එම කාලය තුළ අකුණු ආරක්ෂක පියවර ගැනීමට උත්සුක වීනම් හානි අවම කර ගත හැකි වේ. අකුණු වැස්සක ප්‍රථම අකුණු පහර හෝ මඳ විරාමයකින් පසු ළඟා වන පහර මඟින් අනතුරු වැඩි වශයෙන් සිදුවන බව මෙහිදී අවධාරණය කළ යුතු වේයැයි සිතමි.

අකුණු අනතුරු සෑම විටම මාරාන්තික නොවේ. අනතුරේ ස්වභාවය, අකුණු ධාරාව ශරීරය හරහා ගමන් කරන මාර්ගය ද, අකුණු ධාරාවේ තීව්‍රතාව ද යන කරුණු මත රඳා පවතී. අකුණු අනතුරකට ලක්වූවකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ආරෝග්‍ය ශාලාවකට රැගෙන යන තෙක් හැකි අයුරින් ප්‍රථමාධාර ලබා දෙන්න.

අකුණු පහරකින් අත් පා හිරි වැටීමකට හෝ දරදඬු වීමකට ලක්වූවකු හට සම්භාහනය මඟින් ප්‍රකෘති තත්ත්වය ලබා දෙන්න. ශ්වසනය නැතිවී ගිය අයෙකුට කෘතීම ශ්වසනය ලබා දී ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරන්න. රෝගියාගේ මුවට මුව තබා කිහිප වරක් පිඹීමෙන් මෙය සිදුකළ හැකිය. අනතුරේ ස්වභාවය අනුව කෘතීම ස්වසනය සහ සම්භාහනය එකවර ලබාදීම කළ යුතුය. සාමාන්‍ය ශ්වසනය නැවත ආරම්භ වන තෙක් කෘතීම ස්වසනය ලබාදිය යුතුය.

මේ කරුණු අනුව මේ ඉදිරි දිනවලදී බක්මහ අකුණු බහුලව ඇතිවීමට ඉඩ තිබේ. ඒ සමඟම අන්තර් මෝසම් වැසි තවත් දරුණු වුවහොත් තෙත් කලාපය ආශ්‍රිතව ගංවතුර හා නායයෑම්, මාළු වැහි, පාට වැහි සමඟ ටෝනේඩෝ ඇතිවීමට ඉඩ තිබේ. තදබල ලෙස අකුණු ඇති අවස්ථාවලදී ද වැසි ඇති අවස්ථාවලදී ඉතා කල්පනාකාරීව කටයුතු කොට අනතුරු වළක්වා ගැනීමට කටයුතු කිරීම ප්‍රඥාගෝචර වේ.

 

Comments