බර වැඩිම කොල්ලා ඇවිදින්න බෑ හුස්මගන්නත් බෑ | සිළුමිණ

බර වැඩිම කොල්ලා ඇවිදින්න බෑ හුස්මගන්නත් බෑ

ලොව ස්ථුලතාවෙන් වැඩිම කාන්තාව ලෙස වාර්තා වී ඇත්තේ ඊජිප්තු කාන්තාවකි. ශරීර බර අඩුකර ගැනීම සඳහා ඇය ඉන්දියාවේ රෝහලකට රැගෙන ආ පුවත පසුගියදා ලෝකය පුරා මාධ්‍ය වාර්තා කළේය. දැන් මේ වාර්තා වන්නේ ලොව අධික බරකින් හා ස්ථුලතාවෙන් වැඩි දරුවා ගැනය. ඉන්දුනීසියාවේ බටහිර ජාවා හි සිපුර්වසාන් ගමේ ජීවත් වන මේ දරුවා දස හැවිරිදිය. නමින් ආර්යා පර්මානාය. ඔහුගේ දැන් බර කිලෝ 192කි.

ආර්යාගේ මව රොකායා පවසන පරිදි උපතේ දී ආර්යා ද කිලෝ දෙක හමාරක් බරැති සාමාන්‍ය දරුවෙකි. ඒත් ඔහුගේ සාමාන්‍ය ශරීරය පැවතියේ වසර දෙකක් පමණි.

“වයස අවුරුදු දෙකෙන් පස්සේ පුතාගේ බර වැඩි වෙන්න ගත්තා. ඒ කාලේ පුතාට නිතරම බඩගිනි වුණා. පසුව එක වේලකට වැඩිහිටියො දෙදෙනකු කන ප්‍රමාණය එක වේලකට කෑවා. පුතා මේ වෙද්දි පාසල් ගියා. එයා හොඳට ඇවිද්දා. ඒත් වැඩිකල් යන්න පෙර අඩි දෙක තුනක් යද්දී මහත වැඩිනිසා සමබරතාව ගිලිහී වැටෙන්න ගියා. ඉන්පසු පුතා පාසල් යෑම නැවැත්තුවා. කල් යද්දී පුතා වේගයෙන් වැඩී මහත් වුණා. ඔහුගේ සෞඛ්‍ය ගැන මං බය වුණේ එවිටයි.” ආර්යාගේ මව පවසන්නීය.

මේ පවුලට ආර්යා හැර තවත් වැඩිමල් පුතණුවෙක් ද සිටී. එහෙත් ඔහු සාමාන්‍ය දරුවෙකි. ආර්යාගේ පියා අදේ සොමානිරි දුප්පත් ගොවියෙකි. ආර්යාගේ අධික කුසගින්න ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ මේ දැවැන්ත දරුවාගේ කුසගිනි නිවීමට ආහාර මිලදී ගැනීමට තරම් ඔවුන්ට ආදායමක් නොවීමය. එහෙත් දුක් විඳිමින් එදා වේල සොයා ගැනීමට වෙහෙසෙන පියා කෙසේ හෝ පුතාගේ කුස පිරවීමට උත්සාහ ගත්තේය. ඔහුගේ ආහාර වේලකට බත්, හරක් මස්, එළවළු සුප් සහ සෝයා අවශ්‍ය වේ. ඔහු දිනකට බුදින ආහාර වේල් ගණන පහකි‍. එය වැඩිහිටියන් පස් දෙනකු දිනකට ගන්නා ආහාර ප්‍රමාණය වේ.

අධික ස්ථුලතාව නිසා ආර්යාට හරිහමන් ඇඳුමක් ඇඟලා සිටිය නොහැකිය. ඔහුගේ යන්තම් විළි වැහෙන්නේ සරොම් කඩමාල්ලකිනි. පැදුරක ඇලවී සිටින ඔහු නින්දේ නොසිටින සෑම අවස්ථාවකම සිටිනුයේ ගේ පිටුපස ඇති වතුර ටැංකියට බැස දිය නාමිනි. මෙලෙස දිනකට පැය ගණන් දිය නෑමට ඔහුට අවශ්‍යය.

සිය දරුවා මෙලෙස ස්ථුලවීම කිසියම් හෝ රෝගයක් නිසා යැයි සිතූ දෙමවුපියෝ ඔහුගේ ආහාර පාලනය කිරීමට සිතූහ. එහෙත් එය ද පහසු කටයුත්තක් නොවූයේ ආර්යා ආහාර ඉල්ලා පෙරැළි කිරීම නිසාය.

“අපේ දරු‍වාගේ ශරීරය ගමේ අනෙක් දරුවන්ට වඩා විශාල වෙද්දී අපට කරන්න පුළුවන් වුණේ ඔහුට රතු හාල් බත් පමණක් කෑමට දීමයි. එහෙත් මේ කිසිවක් ආර්යාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් කලක් යද්දී එයා හුස්ම ගන්න අමාරුයි කිව්වා. ඉන්පසු අපි ගමේ අයගේ කීමත් අහලා ගමේ වෛද්‍යවරුන්ට ආර්යා පෙන්නුවා. ඒත් ඔවුන් කිව්වේ දරුවාට කිසිම රෝගයක් නැති බවයි. එහෙත් අපට ඕනෑනම් හොඳ වෛද්‍යවරුන්ට පෙන්නන්න යැයි කිව්වා.

මං මට පුළුවන් තරම් මගේ දරුවා වෙනුවෙන් වියදම් කළා. මං දුප්පත් ගොවියෙක්. හොඳ වෛද්‍යවරුන්ට දරුවා පෙන්වන්නත් රෝහල් ගාස්තු ගෙවන්නත් මට වත්කමක් නෑ.” යැයි ආර්යන්ගේ පියා පවසයි.

 

Comments