
මොකද්දෝ කළු ගුළියක් ඇවිත් වාහනේ හැපුණාලු
අපි කාලෙක ඉඳන් ගම්වල ඉන්න මිනිස්සු මේ ගැන ඇත්ත කතා කරන්න බෑ
කහ ඉර පෙනි පෙනී හෝ වෙනත් තැනකින් පාර පනින හෝ මාර්ග නීති කඩ කරන්නන් දකින ඇතැමෙකු පවසන්නේ හරක් වගේ පාරේ යනවා කියාය. එසේ කියූවත් ඇතැම් විට මිනිසුන්ටත් වඩා හොඳින් කහ ඉරෙන් පාර මාරුවන මෙන්ම පාරේ අයිනකට වී ගමන් ගන්නා හරක් ද නැතුවාම නොවේ. කොහොම වුණත් අද වන විට ඇතැම් ප්‍රදේශවල නිදැල්ලේ යන ගවයන් මහ මඟ රියැදුරන්ට මෙන්ම ජනතාවට මහත් හිරිහැරයක් වී ඇත්තේය. එමෙන්ම අයිතිකරුවන් ඇතිව හෝ නැතිව මහ මඟ නිදැල්ලේ හැසිරෙන ගවයන් මස් පිණිස රැගෙන ගිය අවස්ථා ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් විටින් විට වාර්තා වී ඇත්තේය. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ඉකුත් දිනෙක හිමිදිරියක මාකොළ පාරේ මී ගවයකු පාර පැනීම නිසා සිදු වූ රිය අනතුරකින් මියගිය අයකු හා එම ප්‍රදේශයේ ජනතාව නිදැල්ලේ යන ගවයන් නිසා මුහුණ දෙන ගැටලු සම්බන්ධවය.
දයානන්දගේ පදිංචිය මාකොළ ගුණරත්න මාවතේය. පසුගිය මාර්තු මස පළමුවැනිදා ද හිමිදිරියේම ඔහු සුපුරුදු පරිදි සිය ත්‍රීවිලයේ නැඟී තම පත්තර ඒජන්සියේ කටයුතු ඇරැඹිම සඳහා ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය. නමුදු ඔහුට ගල්පොත්ත හන්දිය පසුකරන්නට සිදුවූයේ නැත. ඔහුගේ ත්‍රීරෝද රථය අනතුරකට පත් වුයේය. ගවයකු පාර හරහා පැනීම නිසා ත්‍රීරෝද රථය පෙරැළී ගියේය. දයානන්ද ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව හරිහැටි අවබෝධයක් ද නොවුයේය. කෙසේ හෝ මෙම අනතුරෙන් පසුව ඔහු ඒ හිමිදිරියේ කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කරන ලද්දේය.
පාන්දර තුනයි හතළිස් පහට වගේ තමයි අනතුර වෙලා තියෙන්නේ. මට උදේ දුරකථන ඇමතුමක් ආවා තාත්තාට අනතුරක් කියලා. ඊට පස්සේ මම කිරිබත්ගොඩ රෝහලට ආවා. තාත්තා රෝහලට ගෙනගිය අය තමයි මට ඇමතුම දීලා කිව්වේ. තාත්තා තමයි ඒ අයට මගේ නොම්බරය දීලා තියෙන්නේ. කිරිබත්ගොඩ රෝහලින් පසුව තාත්තා කොළඹ ජාතික රෝහලට මාරුකර එව්වා. අපි හිතුවේ තාත්තාට හොඳ වේවි කියලා. ඒත් හිතපු නැති දෙයක් මේ වුණේ.” රන්දික ජයවර්ධන පවසන්නේ සිය පියාගේ හදිසි අභාවය පිළිබඳව කනගාටුවෙනි.
සිය සැමියාගේ හදිසි වියෝවෙන් තැවෙන බිරිය ශ්‍රියානි අනතුර සිදු වූ පසු සැමියා තමා හා කළ කතාබහ ගැන හැඬු කඳුළෙන් පවසන්නේ මෙවැනි කතාවකි.
“මහත්තයයි මමයි විවාහ වෙලා මේ සැප්තැම්බර් මාසෙට වසර තිස් නවයයි. හිතුවේ නැහැ මේ වගේ විපතක් වේවි කියලා. මහත්තයාට අනතුරක් කියලා පුතා කිව්වම මම ඔහු බලන්න ගියා. එයා හොඳට කතා කළා. මම ඇහුවා එයාගෙන් මොකක් ද වුණේ කියලා . ඒ වෙලාවේ මහත්තයා කිව්වා මොකක්දෝ ලොකු ගුළියක් ඇවිල්ලා ත්‍රීවිල් එකේ වැදුණා කියලා. ඊට පස්සේ ත්‍රීවිල් එක පෙරළුණා කියලා තමයි එයා කිව්වේ. කොහොම හරි එදා පොඩි පුතා මහත්තයාට කලින් එජන්සියට ගිහින් තිබුණෙත් ඔය පාරෙන්මයි. පුතා මා එක්ක කිව්වා එයාගේ ත්‍රීවිල් එකටත් මී හරකෙක් පනින්න ගියා. ඒත් එයා දුරසිටම දැක්ක නිසා වාහනේ අයින් කරගත්තා කියලා. පොඩිපුතා කිව්වේ එයාගේ වාහනේට පනින්න ආව මී හරකා තාත්තගේ වාහනයට පනින්න ඇති කියලා. මහත්තයා ජාතික රෝහලට ඇතුළත් කළාට පස්සෙත් හොඳින් හිටියා. වෛද්‍යවරු කිව්වේ අනතුර නිසා එයාගේ ඉල ඇට බිඳිලා කියලා. පස්වෙනිදා දක්වා මහත්තයා හොඳින් කතා කළා. ඒත් එයා අටවැනිදා නැති වුණා. මොන දෙයක් වුණාද කියලා අපට හිතා ගන්න බැහැ. මිනිස්සු නම් කියනවා මේ හරියේ නිදැල්ලේ යන හරක් ඉන්නවා කියලා.”
සැබැවින්ම දයානන්ද මහතා ගමන් ගත් ත්‍රීරෝද රථයට ඒ හිමිදිරියේම පැන්නේ මී ගවයෙක් ද එසේත් නැත්නම් ගම්මුන් කියන ආකාරයට මි හරක් අවතාරයක්ද? මේ හදිසි අනතුරත් සමඟ මාකොළ අවට ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ පැතිර යයි. ඒ ගැන තොරතුරු සෙවීමේ අරමුණින් අපි ගම්මුන් කිහිප දෙනෙකුගෙන්ම තොරතුරු විමසුවෙමු. ඇතැමෙක් නම කීමට මෙන්ම ඡායාරූප ගැනීමටද අකමැති වූහ. අප හා කතාබහට එක්වූ අය පැවසූ තොරතුරු මෙසේය.
“අපි මේ ගම්වල කාලයක් තිස්සේ ඉන්න මිනිස්සු. කාවවත් තරහා කරගන්නත් බැහැ . ඒත් ඉතින් මේ කතාව නොකියත් බැහැ. කාලයක පටන් මේ පාරවල නිදැල්ලේ යන ගව රැළක් ඉන්නවා. සමහර දවස්වලට මේ පාරවල් දිගේ යනවා දකින්න පුළුවන් . නමුත් දැන් ටික දවසක ඉඳලා පේන්න නැහැ. උදේ පාරට බහින ගව රැළ රෑ වනතුරු පාරවල් දිගේ ඇවිදලා උලා කාලා පාන්දරට තමයි ළගින තැන්වලට යන්නේ. මේ ගමේ දෙතුන් දෙනෙකුටම අයිති ගවයෝ තමයි මෙහෙම නිදැල්ලේ යන්නේ”
නම ගම නොකියා අපත් සමඟ තොරතුරු සපයන ගැමියාගෙන් අපි ප්‍රශ්නයක් ඇසුවෙමු.
“මේ පාර දිගේ නිදැල්ලේ යන ගවයන්ට අයිතිකාරයෝ නැද්ද?”
“මොකද නැත්තේ? මේ ගවයන්ට අයිතිකාරයෝ ඉන්නවා. මුන් කිරි ගන්න හදනවාද එහෙම නැත්නම් මසට හදනවද කියන්න මම දන්නේ නැහැ. එළහරක් වගේම මී හරක් රංචුවකුත් ඉන්නවා. මීට කලිනුත් පාර හරහා හරක් පැනලා රිය අනතුරු වෙලා තියෙනවා. ඒත් කවුරුවත් මේවා ගැන හරක් අයිතිකාරයන්ට පැමිණිලි කරන්න යන්නේ නැහැනේ.”ගැමියා පවසන්නේ චෝදනාත්මක හඬිනි.
දයානන්ද මහතාගේ මරණය පිළිබඳව දන්නා අයකු මීට පෙර ද මාකොළ පාරේ සිදු වු අනතුරු කිහිපයක් පළිබඳ පැවැසුවේය.
“මීට අවුරුදු ගානකට කලින් මම දන්න ග්‍රේරෝ කියලා මිත්‍රයෙක් රෑ දහයට විතර මේ පාරේ මෝටර් සයිකලයක ගියා. එදා එයාගේ මෝටර් සයිකලය අනතුරකට පත් වුණා. කකුල කැඩිලා ඔහු මාස ගානක් ප්‍රතිකාර ගත්තා. ඔහු පසුව කිව්වේ මෝටර් සයිකලය ඉස්සරයට මී හරකෙක් පැන්නා කියලා. ඔහු මා එක්ක කිව්වේ එදා රැ මෝටර් සයිකලයේ යද්දි ඔහුගේ අතේ මස් වගයක් තිබුණා කියලයි. ඔහු කියන්නේ ඒ නිසයි ගවයෙක් පනින්න ඇත්තේ කියලා. ඔහු කිව්වේ ඒ මී ගවයා හිතාගන්න බැරි තරම් විශාල එකෙක් කියලා. නමුත් කිසිම දවසක අනතුරක් වුණාට පස්සේ ඒ අහල පහළකවත් මී හරකෙක් දකින්න ඉඳලා නැහැ. මීට කාලෙකට කලිනුත් තරුණ ළමයෙක් මෝටර් සයිකලයේ යද්දී හරකෙක් පැනලා මරුණා. එක එක අය එක එක කතන්දර කියනවා. ඇත්තම නම් ඉතින් අපි කවුරු වාහනයක ගියත් කල්පනාවෙන් යන්න ඕනෑ. සමහර වෙලාවට බල්ලෝ පැනලත් මාරක අනතුරු වෙනවනේ. නමුත් පහුගිය දවස්වල මේ පැත්තේ හරියට හරක් නිදැල්ලේ ගියා . ඒත් මේ මරණයෙන් පස්සේ නම් එක හරකෙක්වත් පාරේ යනවා දැක්කේ නැහැ.”
ගැමියා පවසන්නට වුයේ තමන් දන්නා කියන තොරතුරුය.
පසුගිය දිනවල නිදැල්ලේ හැසිරුණු ගවයන් ඇතැම් විට මඟ දෙපස එළවළු පලතුරු වෙළෙද සැල්වල විකිණීමට තබා ඇති එළවළු පලතුරු කන්නට ද හුරුව සිටිති. මේ බව අපත් සමඟ පැවැසුවේ ගැමියෙකි. ඒ තොරතුරු සනාථ කර ගැනීමේ අරමුණින් අප පලතුරු වෙළෙඳසල් හිමියකු හා කතා කෙරුවෙමු.
“අයියෝ කියලා වැඩක් නැහැ හරක්ගෙන් තියෙන කරදරය නම්. පාර දිගේ නිදැල්ලේ යන හරක් රැළක් ඉන්නවා. උන් මේ පාර දිගේ යන ගමන් ලෑල්ලේ තියෙන පලතුරු කනවා. අපි උන් එළෙව්වම උන් පාර පැත්තට යන්නේ . මේක මාකොළ ප්‍රධාන පාර. හරියට නුවර පාර වගේ වාහන යනවා . සත්තු අහුවෙලා මැරෙයි කියලා බයයි. මේ හරක්ගේ අයිතිකාරයෝ කවුද කියන්න දන්නේ නැහැ. අපේ නරක් වන පලතුරු එළවළු ඌරන්ට දෙන්න කියලා එකතු කරගෙන යන්න අය එනවා. නමුත් ඔවුන් කාගේ කවුද කියන්න අපි දන්නේ නැහැ. ඒත් මේ පැත්තේ අය නම් කියන්නේ ඌරෝ අයිති අයටම තමයි හරක් අයිති කියලා .එත් අපි ඒ ගැන කියන්න දන්නේ නැහැ. මොනවා වුණත් දැන් ටික දවසක ඉඳලා හරක් රැළ මේ පැත්තේ නැහැ. ඒ නිසා අපිට සැනසිල්ලයි. ”
ගැමියෝ විවිධ දේ පවසති. අවේලාවේ මී හරක් පාර පැනීම ගැන ද ඔවුහු විවිධ දේ කියති. ඒත් මේ කිසිවක් සනාථ කරගත හැකි තොරතුරු කිසිවක් නැත.
“ඇත්ත. මිනිස්සු කියනවා මේක හරක් හොල්මනක් ද කියලා. මෙහෙමයි මිනිස්සුන්ට කැමැති දෙයක් කියන්න පුළුවන්. හරක් ඇති කරන අය උන් නිදැල්ලේ යැවීම නිති විරෝධි වැඩක්. ඒ නිසා එහෙම නිදැල්ලේ යන හරකෙක් පැනලා මේ වගේ අනතුරක් වුණාම එය ගවයන්ගේ අයිතිකාරයන්ට නඩු පැවරිය හැකි වරදක්. ඒ නිසා කවුද දන්නේ හරක් අයිතිකාරයෝ ඌ මස් කඩේට දක්කනවද කියලා ඒ නිසා වෙන්නැති ඒ සතා ආයේ පාරේ දකින්න නැත්තේ. ”තොරතුරු සොයා ගිය ගමනේදී අපට හමු වූ ගල්පොත්ත ප්‍රදේශවාසියෙකු පැවැසුවේ එවැනි කතාවකි...
“අනතුර සිදුවෙලා ටිකකින් මම එතැනට ගියා. ඒ වෙලාවේ අනතුරින් තුවාල ලබා හිටිය මහත්මයා මා සමඟ කතා කළා. ඔහු ඒ වෙලාවේ අමාරුවෙන් හිටියේ. දයානන්ද මහතා ප්‍රතිකාර ලැබුවේ ජාතික රෝහලේ 72 වාට්ටුවේ. මම ඔහුගෙන් කට උත්තරය ගන්න ගියේ තුන් වැනිදා. එහිදි ඔහු කට උත්තර දුන්නේ ලොකු මී හරකෙක් වාහනේ ඉදිරියට පැන්නා. ඊට පසු ත්‍රීරෝද රථය පෙරළුණා කියලයි. මම හිතුවේ ඔහු හොඳවෙලා ගෙදර යාවි කියලා. නමුත් ඔහු මිය ගියා . මේ පාරවල නිදැල්ලේ යන ගවයෝ දකින්න ලැබෙනවා. නමුත් කවුරුවත් මේ ගවයන්ගෙන් හිරිහැරයි කියලා පොලිසියේ පැමිණිලි කරලා නැහැ. ”සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශයේ පො. කො. සුසිල් (45529) පවසන්නේ එවැනි කතාවකි.
මේ සිද්ධිය වී දැන් සති කිහිපයක්ම ගත වී ඇත්තේය. නමුදු මාකොළ හන්දියේ ආර්. එන්. එම් ඇඩ්වර්ටයිසින් ආයතනයේ ප්‍රධානී හැට එක් හැවිරිදි දයානන්ද ජයවර්ධන මහතාගේ අකල් වියෝව පිළිබඳව වූ උණූසුම තාමත් මැකී ගොස් නැත. මේ ඛේදවාචකය සිදු වූයේ නිදැල්ලේ හැසිරෙන ගවයන් නිසා නම් ගවයන්ගේ අයිතිකරු මීට වඩා තමන්ගේ සතුන් පිළිබඳ වගකීමෙන් කටයුතු කළ යුතුය. ගවයන්ට හරි වැරැද්ද වටහා ගැනීමට අවබෝධයක් නැත. එනමුත් මේ සතුන් ගේ ක්‍රියා නිසා විපතට පත් වන්නේ මඟ යන එන මිනිසුන්ය. මෙවැනි සිදුවීම් නිසා වු පළමු මරණය දයානන්ද මහතාගේ මරණය නොවේ. එනිසා මේ පිළිබඳ අවධානය යොමු කර කවුරු කවුරුත් තම වගකීම් ඉටු කරන්නේ නම් දයානන්ද මහතාගේ මරණය වැනි ඛේදවාචකයන් ගේ අවසානයක් දැකීමට හැකිවනු ඇත.