අපටත් ළඟදීම ගෑස් මුහුණු? | සිළුමිණ

අපටත් ළඟදීම ගෑස් මුහුණු?

 “නිදහසේ හුස්ම ගන්න නකල්ස් එන්න” යැයි විශේෂාංග ලිපියක් සිළුමිණ පුවත්පතේ පසුගිය සතියේ පළ විය. එසේ නමුත් අලුත්ම පර්යේෂණ දත්ත අනුව අපේ රටේ මහනුවර, කොළඹ, නුගේගොඩ, කොහුවල, මහරගම, පුරහල, පෑලියගොඩ, මට්ටක්කුලිය, කිරිබත්ගොඩ යන නගරවල වායු දූෂණය නිදහසේ හුස්ම ගැනීමට බැරි මට්ටමට එන්න එන්නම වැඩි වෙමින් පවතී. අධික වාහන තදබදය හා බස් ධාවනය විධිමත් නොවීම වාහන නඩත්තු නොකිරීම ඊට ප්‍රධාන හේතු බව ද පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.

පසුගියදා පේරාදෙණිය සරසවියේ සම්මානිත මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පැවසුවේ මහනුවර නගරයේ විවිධ ස්ථානවල පවතින වායු දූෂණය ඉතා ඉහළ බවයි. එය ජනතාවගේ සෞඛ්‍යයට ඉතා අහිතකර බවත් ඒ අනුව ඉදිරියේදී මහනුවර නගරයේ ජනතාවට ඔක්සිජන් ටැංකි සහිත ගෑස් මුහුණු පැලඳීමට සිදුවනු ඇති බවත් මහාචාර්යවරයා පවසා ඇත.

කෙසේ වුවත් මේ පිළිබඳව අප කළ විමසීමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා අංශයේ ආචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා පැවසුවේ ගෑස් මුහුණු පාවිච්චි කිරීමේ මට්ටමට වායු දූෂණයක් මහනුවර නගරයේ නැති බවයි.

“මහනුවර නගරය රටේම වැඩියෙන්ම වායු දූෂණය තිබෙන නගරය ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසේ වුවත් මහනුවර නගරයේ ගුඩ් ෂෙඩ් බස් නැවතුම්පළ වැව රවුම, සුදුහුම්පොළ, උසස් බාලිකා විද්‍යාලය, විලියම් ගොපල්ලව මාවත, ඊරැස්සගල හන්දිය, කිංස්වුඩ් විද්‍යාලය අසල හා කැප්පෙටිපොළ මාවත යන ස්ථානවල පවතින වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත වායු දූෂණ මට්ටම්වලට වඩා වැඩියි. කෙසේ වුවත් ‍රටේ කොතැනක වුවද වායු දූෂණ මට්ටම ස්ථිරව තීරණය කිරීමට නම් ස්ථාන කීපයක විනාඩි 5න් 5ට වායු දූෂණය මැනීමේ ගැඹුරු පරීක්ෂණයක් කළ යුතුයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචක අරමුදල මඟින් අපි එවැනි පරීක්ෂණයක් ආරම්භ කරලයි තියෙන්නෙ. එය අවසන් වූ වහාම අපිට මහනුවර වායු දූෂණ මට්ටම පිළිබඳව ස්ථිර නිගමනයකට එන්න පුළුවන්. අද තත්ත්වය ඊට වඩා වෙනස්. කෙසේ වුවත් අද මහනුවර පවතින වායු දූෂණය ජීවත්වීමට සුදුසු එකක් නොවන බවනම් පැහැදිලියි” ආචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා පවසයි.

“මේකට ප්‍රධාන හේතුව වාහන තදබදයයි. වාහන තදබදය අඩු කිරීමට පොදු ප්‍රවාහන සේවාව දියුණු කළ යුතුයි. දුම්රිය මාර්ග දෙකක් හදා ඒවා මඟින් ජනතාවට යාමට ඒමට පහසුකම් සැලැසිය යුතුයි. කටුගස්තොට පේරාදෙණිය ප්‍රදේශවලට මහනුවර නවත්වන්නේ නැතිව කෙළින්ම යන බස්රථ සේවා දියුණු කළ යුතුයි.

විශේෂයෙන්ම මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ බස් ගාල් කිරීම හා පිටත් කිරීම විධිමත් කළ යුතුයි. සැම බස් රථයක්ම පිටත්වන වේලාවටම පමණක් පණ ගන්වා තැන තැන නවත්වන්නේ නැතිව කෙළින්ම පිටත් කළ යුතුයි. මේවා රථවාහන පොලිසිය හා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය කළ යුතු වැඩ.

දුර ගමන් බස් සේවා නැවතුම නගරයෙන් පිටත ස්ථානගත කළ යුතු අතර පිටතින් නගරයේම එන කුඩා මෝටර් රථ ලොරි රථ සීමා කිරීමට හා ඔවුන්ට තම ගමනාන්තයට යාමට සුදුසු විකල්ප මාර්ග පෙන්වා දීමට පොලීසිය කටයුතු කළ යුතුයි. ආචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා තවදුරටත් පෙන්වා දෙයි.

මේ අතර අප කළ විමසීමකදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සම්මානිත මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පැවසුවේ මහනුවර නගරය අද පිළිකා කාරක වායු දූෂක නගරයක් බවට පත්වී තිබෙනවා. 2000 සිට 2005 වසර දක්වා මහනුවර නගරයේ වායු දූෂණය පිළිබඳව පේරාදෙණි සරසවියේ විශේෂ විශ්ලේෂණයක් කළා. ඒ අනුව අපිට දැනගන්න ලැබුණේ මහනුවර නගරයේ වාහනවලින් නිකුත් වන අවලම්බිත සියුම් අංශු මඟින් නගරයේ පදිංචි එහා මෙහා යන ජනතාවට පිළිකා ඇති විය හැකි බවයි.

“මහනුවර නගරයේ ස්ථාන කීපයක වායු දූෂණය මෙරට පරිසර අමාත්‍යාංශය නියම කර ඇති උපරිම වායු තත්ත්වය ප්‍රමිති මට්ටමට වඩා වැඩියි. ඒ මට්ටම ඒ ඉහළ ප්‍රමිති මට්ටමට වඩා සියයට 50කට වැඩි වූ ස්ථාන අපි ඒ පරීක්ෂණයේදී හඳුනා ගත්තා. එහිදී අප කළ යෝජනාවක් අනුව 2002 දී පමණ සාම ගිවිසුමත් සමඟ මහනුවර දළදා මාලිගය අසල පාර විවෘත කළා. ඉන් පසුව අප කළ පරීක්ෂණ අනුව අපිට තේරුම් ගියා ඒ සමඟම නගරයේ වායු දූෂණය අඩු වූ බව. නමුත් 2005 දී ඒ පාර වැහුවා. එවිට යළිත් මහනුවර වායු දූෂණය වැඩි වුණ බව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්.

මේ වාහනවලින් පිටවෙන දුම මඟින් පිටවෙන වායුන් හා අවලම්බිත සියුම් අංශු නිසා හෘදය රෝග, ස්වසන රෝග හා පිළිකා ඇති වෙනවා. මේ තත්ත්වය අනුව මහනුවර නගරයේ මේ වායු දූෂණය අවම කිරීමට රජය පියවර නොගතහොත් මහනුවර නගරයේ සිටින ජනතාවටත් විශේෂයෙන් වැව රවුමේ පාසල්වල දූ දරුවන්ටත් ගෑස් මුහුණු පලඳින්නත් වෙයි.

මහනුවර නගරයේ එදා එහා මෙහා ගියේ වාහන 60000ක් පමණයි. ඒත් අද වාහන 12000ක් නගරයේ ඇතුළත එහා මෙහා යනවා. ඒ නිසයි මහනුවර වාහන තදබදය වැඩි වෙලා තියෙන්නේ.

මේකට ඉක්මනින් විසඳුමක් දිය යුතුයි. පේරාදෙණිය නුවර පාරේ එක පැත්තකට වාහන ගමන් කිරීම කළ යුතුයි. ප්‍රධාන බස් නැවතුම් පොළ නගරයෙන් ඉවත් කළ යුතුයි.

ඒ සමඟම මේ නගරයේ වායු දූෂණය අඩු කිරීමට ප්‍රධාන විකල්පය වන්නේ දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කිරීමයි. එවිට වැව රවුමේ වාහන ගමනාගමනය විධිමත් වෙලා තදබදය අඩු වේවි.

ලෝකයේ රටවල්වල ප්‍රධාන නගරවල සෙනඟ බහුල ස්ථානවල ඒ ඒ නගරයේ වායු දූෂණ මට්ටම පිළිබඳ දැන්වීමක් හෝ දෙකක් ඉදිරිපත් කරනවා. එය අද විදියට නම් ඩිජිටල් ලෙස ඉදිරිපත් කරනවා. ඒකේ විනාඩියෙන් විනාඩිය ඒ නගරයේ තිබෙන වායු දූෂණ මට්ටම ඉදිරිපත් කරනවා. ඒ අනුව නගරයේ ජීවත්වීම පිළිබඳ තර්ජනයක් තිබේනම් ඒ පිළිබඳව එහි සිටින ජනතාවට තීරණය කළ හැකියි.

මේ අනුව මම යෝජනා කරන්නේ අපේ රටේ කොළඹ මහනුවර ගාල්ල මාතර බොරැල්ල, නුගේගොඩ, කොහුවල, මහරගම, පෑලියගොඩ, කුරුණෑගල, වැල්ලවත්ත යන නගරවල වායු දූෂණය දක්වන ඩිජිටල් දර්ශක ඉදිරිපත් කරන ලෙසයි. එය රටේ සැමටම ඉතා වැදගත් දෙයක්.” මහාචාර්යවරයා අවධාරණය කරයි.

පසුගියදා මම පැවසූ තොරතුරු වසර 10ක් විතර ඉඳන් කියන එකක්. ඒත් පාලකයෝ කවුරුවත් මේක කෙරෙහි අවධානය යොමු කරන්නෙ නැති එක ලොකු දුකක්. පරිසර අමාත්‍යාංශය මේ පිළිබඳව මීට වඩා මේ ගැන අවධානය යොමු කළ යුතුයි.” මහාචාර්ය ඉලේපෙරුම පවසයි.

මේ සියලුම කරුණු දෙස බලන විට වායු දූෂණයට ප්‍රධාන හේතුව වන්නේ වාහනවලින් පිටවන දුමයි. මේ වායු දූෂණයට ප්‍රධානම පිළියම වාහනවලින් පිටවෙන දුමේ පිරිසුදු බව ඉහළ නැංවීමයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන වායු විමෝචන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. දිසානායක මහතා පවසන පරිදි නියමිත පරිදි නඩත්තු නොකළ වාහනවලින් කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, අවලම්බිත ක්ෂුද්‍ර අංශු සල්ෆර් ඩයොක්සයිඩ් හා හයිඩ්රෝ කාබන් වැඩිපුර පිටවේ.

ඕනෑම වාහනයක දුම පිට කිරීම ප්‍රමිතියට අනුව සිදුවේනම් එය පරිසරය සුරැකීමට පමණක් නොව වාහන හිමියාගේ සාක්කුව සුරැකීමටත් වාහනයේ ආයු කාලය සුරැකීමටත් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වීමටත් හේතු වෙනවා. ඕනෑම වාහනයක වායු පෙරහන ඉන්ධන පෙරහන ඔයිල් පෙරනය නියමිත කාලයට මාරු කිරීම පිටාර පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යෑම කාබියුලේටරය ඉන්ජෙක්ට පොම්ප නිසි ප්‍රමිතියට අනුව පවත්වාගෙන යෑම නියමිත ප්‍රමිතියට අනුව වාහන පැදවීම මඟින් පරිසරයට පිටවන දුම ප්‍රමිතියට අනුව පවත්වාගෙන යාමට පුළුවන්.” දිසානායක මහතා පවසයි.

මෙරට වායු දූෂණය පිළිබඳව වැදගත් පර්යේෂණ කර ඇති මොරටුව විශ්ව විද්‍යාලයේ හා කොළඹ විශ්ව විද්‍යාලයේ වායු තත්ත්ව පිළිබඳ බාහිර කථිකාචාර්ය කාර්මික තාක්ෂණ ආයතනයේ රසායනාගාර තාක්ෂණ නිලධාරී පරිසර අමාත්‍යාංශය ආර්. එන්. ආර්. ජයරත්න මහතා වායු විමෝචන වැඩ මුළුවකදී පැවසුවේ අපේ රටේ වායු දූෂණයට ප්‍රධාන හේතුව වාහන නඩත්තු කටයුතු අලුත්වැඩියා කටයුතු නියම වේලාවට නොකිරීම බවයි. ඊට අමතරව අධික වාහන තදබදය හා යහපත් ක්‍රමවත් හොඳින් සංවිධානය කළ ප්‍රවාහන සේවාවක් නොමැති වීමත් ගල්අඟුරු දැවිතෙල් විදුලිබල නිපැයුමට භාවිත කිරීම නිසාත් අපේ වායු දූෂණය බහුල වී ඇත. එවැනි විදුලි බලාගාර අසල වායු දූෂණ මැන බැලීමේදී එම ස්ථානවල සල්ෆර් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ ගොස් තිබුණු බවත් ජයරත්න මහතා එම මාධ්‍ය වැඩමුළුවේදී තම පර්යේෂණ වාර්තා ගෙනහැර පාමින් අපට විස්තර කළේය.

ජයරත්න මහතා පවසන පරිදි අපේ රටේ වායු දූෂණයෙන් නිකුත් වන භයානකම විෂ කාරකම වායුව කාබන් මොනොක්සයිඩ්ය. වර්ණයක් හෝ ගන්ධයක් නොමැති මේ වායුව නිසා ශරීරයේ ඇති ඔක්සිජන් භාවිතයට ගන්නා මොළයේ සෛලවලට ප්‍රබල ලෙස හානිකරය. එය මොළයේ මරණයට හේතුවකි.

සල්ෆර් ඩයොක්සයිඩ් පරිසරයට ගිය විට අම්ල වැසි ද ඇතිවීමට පුළුවන. සල්ෆර් ඩයොක්සයිඩ් නිසා ශ්වසන මාර්ගයේ දැවිල්ල ශ්වසන ආසාධන, කැස්ස හුස්ම ගැනීමේ අපහසුව ඇතිවේ. ඇදුම වැලඳුණ රෝගියකු වැඩිපුර සල්ෆර් ඩයොක්සයිඩ්වලට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පවා පත් විය හැකි බව ද ජයරත්න මහතා තම පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත. වාහනවල විස දුමේ ඇති අවලම්බිත කාබන් අංශු පෙණහලු සදහටම අක්‍රිය කිරීමට ඉඩ ඇත. මෙහි ඇති නයිට්‍රජන් ඔක්සයිඩ් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය හා ආරක්ෂක යන්ත්‍රණය සම්පූර්ණයෙන් අවුල් කර ඇදුම හා ශ්වසන ආබාධ බහුලව ඇති කරනු ලැබේ. වාහනයේ ඇන්ජිමේ දෝෂ ඇත්නම් නිතරම ජනතාවට අහිතකර අවලම්බිත කාබන් අංශු හා විෂ වායු බහුලව අවට පරිසරයට නිකුත් වී ජනතාවට අහිතකර බලපෑම් ඇති කරන බව ද කථිකාචාර්ය ජයරත්න මහතා පවසයි.

වායු දූෂණය පිළිබඳව කතා කරන විට කොළඹ නගරය ද අමතක කළ නොහැකිය. එය දැනට පෑලියගොඩ මට්ටක්කුලිය යන ප්‍රදේශවල ද කොළඹ ප්‍රධාන පාසල් අසල ද ප්‍රබල වායු දූෂණයක් ඇති වේ. ප්‍රධාන ලෙසම කොළඹ තර්ස්ටන්, රාජකීය, කොහුවල ලයිසියම්, ආනන්ද නාලන්ද හා ශාන්ත තෝමස් පාසල් අසල ප්‍රදේශවල බලවත් වායු දූෂණයක් සිදු වේ. මොරටුව සරසවියේ සිවිල් ඉංජිනේරු හා ප්‍රවාහන කටයුතු පිළිබඳව මහාචාර්ය සමන් බණ්ඩාර මහතා පවසා ඇත්තේ මට්ටක්කුලියේ හා කැලණි පාලම අසල අලුත් ගුවන් පාලම් 3ක් අවශ්‍ය බවයි. කොළඹ වරාය අසල කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නිතරම දරුණු වායු දූෂණයක් පවතින බව මහාචාර්ය රංජිත් මහානාම මහතා පෙන්වා දී තිබේ. මේ වායු දූෂණ මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපරිම වායු දූෂණ මට්ටම් අබිබවා ගොස් ඇතැයි ඉහත විද්වත්හු අවධාරණය කරති. මීට අමතරව කොළඹ ප්‍රධාන පාසල් හා ප්‍රධාන ළදරු පාසල් අසල පෙරවරු 6.45 - 7.30 දක්වාත් පස්වරු 12.00 සිට 2.00 දක්වාත් විශාල වායු දූෂණයක් ඇතිවන බවත් එය දරුවන්ට ඉතා අහිතකර බවත් කොළඹ සරසවියේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මනෝරි සේනානායක මහත්මිය පෙන්වා දී ඇත.

වායු දූෂණය පිළිබඳව කථා කරන විට ගේ ඇතුළත වායු දූෂණය පිළිබඳව ද අවධානය යොමුකළ යුතුය.

නිවාස ඇතුළත වන වායු දූෂණය නිසා ආසියා ශාන්තිකර කලාපයේ පුද්ගලයන් ලක්ෂ 190ක් 2012දී මරණයට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක දැක්වේ. ඉන් ලක්ෂ 30ක් මරණ ඇතිවී ඇත්තේ නිවාස ඇතුළත දර ළිප නිසා බව ද පැවැසීම අපි අවධානය යොමුකළ යුතු කරුණකි.

මේ අනුව කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය පිළිබඳ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පවසන්නේ අපේ රටේ නිවාසවල දර ළිප් දුම, මදුරු දඟර දුම හා සිගරට් දුම මෙන්ම නිවාස අසල පොලිතින් හා කසළ පිළිස්සීම නිසා නිවාස ඇතුළත වායු දූෂණය වැඩි වී ඇති බවයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තිරසර ජෛව ස්කන්ධ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්පත් රණසිංහ මහතා පැවසුවේ සිගරට් දුමේ විෂ වායු වර්ග හා අවලම්බිත කාබන් අංශු වර්ග 4000ක් ඇති බවයි. ඉන් වැඩි ප්‍රමාණයක් පිළිකා කාරක බවත් ඔහු පවසයි. එවැනි සිගරට් 135 කින් නිවස ඇතුළත නිකුත් කරන අවලම්බිත කාබන් අංශු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් එක් මදුරු දඟරයක් නිවසක් තුළ දැල්වීමේදී නිවස ඇතුළට පිටවන බව ඔහු අවධාරණය කරයි. ඒ සමඟම මදුරු දඟරයකින් නිකුත් කරන ෆෝමැල්ඩිහයිඩ් ප්‍රමාණය සිගරට් 51 කින් නිකුත් කරන ප්‍රමාණයට සමාන බව ද ඔහු කියයි. ඒ සමඟම සමහර ආයතන හා අංශ ප්‍රධානින් තම කාමරය ඇතුළත තබාගෙන ඇති පරිගණක, ඡායා පිටපත්, ෆැක්ස් යන්ත්‍ර නිසා ද කාර්යාල ඇතුළත නිහඬ වායු දූෂණයක් ඇතිවෙන බව ද රණසිංහ මහතා පවසයි.


සුපිරි ඉන්ධනවලින් හා ගස් වවා වායු දූෂණය වළක්වනවා

පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජනක ගුණවර්ධන

අපේ රටේ වායු දූෂණය වැඩි වීමක් පිළිබඳව පසුගිය කාලයේ විවිධ වාර්තා ඉදිරිපත් වීමත් සමඟ ඊට විසඳුම් දීමට අපි අදාළ පාර්ශ්ව සියල්ල ගෙන්වා විද්වත් සාකච්ඡාවක් පැවැත්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි මෙරට වායු දූෂණය වැළැක්වීමට කෙටිකාලීන - මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් සැලැසුම් කර තිබෙනවා. විශේෂයෙන් මහනුවර නගරයේ වායු දූෂණය පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ අනුව ‘ගුඩ් ෂෙඩ්’ බස් නැවතුම් පළ වැව රවුම යන ස්ථානවල ප්‍රබල වායු දූෂණයක් සිදුවෙන බවට පර්යේෂණ මගින් පෙන්නුම් කර තිබෙනවා. ගුඩ් ෂෙඩ් නැවතුමේ බස් රථ පිටවීම විධිමත් නොවීම බස් රේස් කර කර යන්නේ නැතුව තිබීම වැඩිපුර බස් නවත්වා තිබීම වැනි ක්‍රියා නිසා එහි වායු දූෂණය වැඩි වී තිබෙනවා. වැව රවුමේ පාසල් 5 – 6 ක් තිබෙනවා පාසල් අරඹන හා ඇරෙන වෙලාවට වායු දූෂණය අධිකයි.

මේකට කෙටිකාලීන විසඳුම් ලෙස ගුඩ් ෂෙඩ් බස් නැවතුමට එන බස් රථ ප්‍රමාණය අඩු කළ යුතුයි. පේරාදෙණිය - දිගන එක බස් මාර්ගයක් කළ යුතුයි. ඒවා වැඩිවෙලා නගරය ඇතුළත නවත්වා තැබිය යුතු නැහැ. ඒ සමඟම මහනුවර හරහා දුර ගමන් යන සියලු වාහනවලට අතුරු මාර්ග ඔස්සේ තම ගමනාන්තයට යාමට මාර්ග උපදෙස් පොලිසිය ලබාදිය යුතුයි. නගරය ඇතුළට තනි පුද්ගලයකු පමණක් එන වාහනවලින් යම් මුදලක් අය කළ යුතුයි. නගරය ආසන්නයේ පෞද්ගලික වාහන නැවතුම්පළ සකස් කළ යුතුයි. නගරය තුළ ඇති තට්ටු 3 ක වාහන නැවතුම් පළ පාවිච්චියට ගැනීමට දැඩි පියවර ගත යුතුයි.

ඒ සමඟම මහනුවර ලියාපදිංචි කරන විදුලි මෝටර් ‍රථවලට දෙමුහුන් රථවලට යම් සහනදායි ගාස්තු ක්‍රමයක් සකස් කිරීම, මහනුවර හා අවට ප්‍රදේශවල සුපිරි ඩීසල් හා සුපිරි පැට්රල් (ඔක්ටේන් 95) පමණක් සාමාන්‍ය මිල ගණන් වලට ම ලබාදීම හා දුම් දමන වාහන ඇල්ලීමට පොලිසියේ ජංගම සේවා පැවැත්වීම නග‍රය ඇතුළත බස් රථ ලොරි රථ නවත්වා තැබීම අවම කිරීම කළ යුතු බව අපි අදාළ අංශවලට දන්වා සිටිනවා.

ඒ සමඟම මහනුවර ප්‍රධාන මාර්ග දෙපස වාහන නැවැත්වීම තහනම් කර ඒ දෙපස විශාල අතු වැවෙන පැළ සිටුවීමටත් අපි උපදෙස් දී තිබෙනවා.

මීට අමතරව කොළඹ ගම්පහ නුගේගොඩ කොහුවල හා කොළඹ ප්‍රධාන පාසල් අසල හා ප‍ෑලියගොඩ පාලම අසල ප්‍රදේශවල සිදුවන වායු දූෂණය අවම කිරීමට නව ගුවන් පාලම් සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ නගරයට හා මහනුවර නගරයට විදුලි දුම්රිය සේවය ආරම්භ කිරීමටත් බස් රථවලට සීමා වූ මං තීරු ක්‍රමය ප්‍රධාන නගරවල වාහන තදබදය ඇති ස්ථානවල තවත් ඇති කිරීමටත් පියවර ගැනීමට අදාළ අංශවලට අපි යෝජනා කර තිබෙනවා. ඒ සියලු ආයතනවල උදවු උපකාර ලැබුණොත් ර‍ෙට් ප්‍රධාන නගරවල වායු දූෂණය අඩු කිරීමට අපට පුළුවන් වේවි.


මහනුවර වායු දූෂණය වැඩිවෙලා කොළඹ අඩුවුණා ආයිත් වැඩිවෙනවා

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ - ජ්‍යේෂ්ඨ විද්‍යාඥ එච්.ඩී.එස්. ප්‍රේමසිරි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මෙහෙයවීමෙන් මෙරට ප්‍රධාන නගරවල වායු දූෂණය පිළිබඳ ගවේෂණය කරනවා. ඒ අනුව ප්‍රධාන ලෙස මහනුවර, කොළඹ, කුරුණෑගල, ගාල්ල, මාතර, අනුරාධපුරය, රත්නපුර නගරවල අපි වායු මට්ටම් පරීක්ෂා කළා.

මේ අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණය වැඩිම ස්ථානය මහනුවර ‘ගුඩ් ෂෙඩ්’ බස් නැවතුම බව අප සොයා ගත්තා. එහි බස් නැවත්වීම වගේ ම අසල කෝච්චි එන්ජින් පණ ගන්වා නවතා තිබීමත් ඒ වායු දූෂණයට හේතුවක්. ඊට අමතර මහනුවර ඔ‍රලෝසු කණුව අසල හා කොළඹ වීදියේ වායු දූෂණය ඉතා ඉහළ යන මට්ටමක පවතිනවා. ඒ ස්ථානවල වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට වඩා වැඩියි. 2012 – 14 වකවානුවේ කොළඹ වායු දූෂණය ඉහළම මට්ටමක තිබුණා. නමුත් පසුගිය වසරෙ අඩු වුණා. නමුත් පසුගිය මාසයේ වැඩිවෙලා. බොරැල්ල, මරදාන, පෑලියගොඩ, වැල්ලවත්ත, පුරහල වැනි ප්‍රදේශවල වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති ඉක්මවා යනවා.

මීට අමතරව කුරුණෑගල හා රත්නපුර නගර ඇතුළත වායු දූෂණය ඉහළ මට්ටමක තිබෙනවා අනුරපුරයේ වායු දූෂණය අඩුයි.

මහනුවර වුවත් ඉහත ස්ථානවලත් වැව රවුමෙත් හැරුණු විට අනික් තැන්වල වායු දූෂණය සියයට 50කටත් වඩා අඩුයි. දළදා මාලිගය අවට කියන තරම් වායු දූෂණයක් නැහැ. මහනුවර වායු දූෂණය ඉක්මනින් අඩු කිරීමට දුම්රිය එන්ජින් ගුඩ් ෂෙඩ් බස් නැවතුම අසල ක්‍රියාකාරී මට්ටමේ තැබීම තහනම් කළ යුතුයි. එවැනි එන්ජින් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ තබා අවශ්‍ය වෙලාවට පමණක් මහනුවර දුම්රිය ස්ථානයට ගමන් කිරීමයි විසඳුම.

Comments