ළමයින්ගේ සුරක්ෂිතතාව පෙර අන් කවරදාටත් වඩා අද බහට ලක්ව තිබේ. සුරක්ෂිත හෙට දවසක් ළමයින්ට උදාකර දීම පිණිස රජය ද විශේෂ අවධානයක් යොමුකරමින් වැඩපිළිවෙළ රැසක් දියත් කරමින් සිටියි. පොලීසිය, ළමා රක්ෂණ අධිකාරිය ඇතුළු අංශ ගණනාවක් ඒ වෙනුවෙන් පෙනී සිටින අතර ළමුන් පාසැල් ගත කිරීම, අතවරයන්ට ලක්වීම, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවීම ඇතුළු කරුණු ගණනාවක් ඔස්සේ එය ක්‍රියාත්මක වෙයි. මෙලෙස මල් මෙන් ආරක්ෂා කරන දරුවන් දවසේ ගෙවෙන පැය විසි හතරක කාලයෙන් හතරෙන් එකක් පමණම ගෙවා දමන්නේ පාසලේය. පැය වලින් කියතහොත් එය පැය 06 කට ආසන්නය. නිවසේ සිට උදෑසනම පාසල් කරා පිටත් කර හරින දරුවාට පාසල තුළ නිසි ආරක්ෂාවක් පවතින බව මවු්පියන්ගේ විශ්වාසයයි.
එහෙත් පාසල් තුළ බලධාරීන්ගේ යම් යම් නොසැලකිලිමත්කම් නිසාදිවි අහිමිවූ දරුවන් පිළිබඳ තොරතුරු මෙයට පෙර අවස්ථා කිහිපයකදීම වාර්තාවී තිබේ. එහි ආසන්නතම සිදුවීම පසුගියදා වාර්තාවූයේ ගුන්නෑපාන සිරිමල්වත්ත මහා විද්‍යාලයෙනි.වාසනාවකට කිසිදු දරුවකුගේ දිවි පැහැර ගැනීමට බලධාරීන්ගේ නොසැලකිල්ලට නොහැකිවූ නමුත් සිසුන් 21 දෙනකුට හා ගුරුවරියකට රෝහල් ගතව ප්‍රතිකාර ගන්නට තරම් නම් එය ප්‍රබල විය.
දශක අටක පමණ ඉතිහාසයක් ඇති සිරිමල්වත්ත මහ විදුහලේ මුල්කාලයේ ඉදිකළ ගොඩනැගිල්ලක වහළය පසුගිය 30 දා පෙරවරුවේ පහ වසර සිසුන්ගේ හිසමත කඩා පාත්වූයේ මහා පරාලද සමඟය.අධ්‍යාපනයට වෙන්කරන මුදල් නිසි ලෙස පාසැල් ගොඩනැගිලි සංවර්ධනය සඳහා අධ්‍යාපන බලධාරීන් වියදම් කරන්නේද යන සැකය යළිත් ජනිත කරමින් මෙම ගොඩනැගිල්ලේ වහළය සිසුන් මත කඩාපාත් වූයේ ඔවුන් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටයදීය.මෙවර පහවසර ශීෂ්‍යත්ව විභාගයට පෙනීසිට නගරයේ සියලු පහසුකම් ඇති අධ්‍යාපන බලධාරීන්ගේ දූලා පුතාලා අධ්‍යාපනය ලබන පාසලකට ඇතුළුවීමේ සිහින දකිමින් වහල බිමට පාත්වීම වැළැක්වීමට මුක්කු ගැසූ ගොඩනැගිල්ල තුළට වී ප්‍රශ්න පත්‍රය ලියමින් සිටි දරුවන්ට අවසානයේ සිදුවූයේ විභාගය පසෙක තබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නටය.
මේ ගොඩනැගිල්ල කඩාගෙන වැටෙයි කියලා අපි කීපාරක් කිව්වද.. ගානකට ගත්තේ නැහැ... වහළෙට මුක්කු ගහලා තිබ්බේ මහත්තයෝ.. අපේ ළමයි මැරුණත් ඔච්චර තමයි.. මවක එසේ පැවසුවේ පාසල් බලාධාරීන්ට දැඩි අප්‍රසාදය පළකරමිනි. ළමුන් 500 ක පමණ පිරිසක් අධ්‍යාපනය ලබන උසස් පෙළ දක්වා පන්ති ඇති සිරිමල්වත්ත මහ විදුහලේ විදුහල්පතිනිය නම් මේ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ පාසලට සිදුවූ හානියටත් වඩා වැඩි හානියක් යමක් ප්‍රකාශ කරන්නට ගොස් අධ්‍යාපන බලධාරීන් ගෙන් ඇයට සිදුවනු ඇතැයි සිතාද යන්න සැක සහිතය. මෙයට ඉහත ඒ ආකාරයෙන් බලධාරීන් විවේචනය කරන්නට ගොස් හොම්බ බිම ඇනගත් විදුහල්පතිවරුද මධ්‍යම පළාතේ නැතුවා නොවේ.
සිද්ධිය සියැසින් දුටු අනුරාධ බණ්ඩාර... මම පාසල ආසන්නයේ බැම්මක් බඳිමින් හිටියේ. එකපාරටම ලොකු ශබ්දයක් ආවා.එතකොට තමයි දැක්කේ මේ ගොඩනැගිල්ලේ වහළය මැදින් පාත්වෙනවා.
ළමයි මරළතෝනි දුන්නා.අපි වැඩ කරකර හිටය අය එතන්ට දිව්වා.
ඇතුළට එකපාරටම යන්න බය නිසා ටිකක් හිටියා. ළමයි එළියට ගන්න විදිහක් මුලින් තිබ්බේ නැහැ.
වහලය පාත්වුණාට පස්සේ අපි දෙන්නෙක් ඇතුළට රිංගුවා. ලීකණු වලට හා ඩෙස් පුටු වලට ළමයි යටවෙලා හිටියේ.ටීචර් කෙනකුත් හිටියා තුවාල වෙලා. ළමයි එක්කෙනා එක්කෙනා එළියට ගෙනවා.ඔක්කොහ ගෙනාවට පස්සේ ඇතුළෙන් කෙඳරිලි හඬක් ආවා. මම ආයෙත් ගිහින් බැලුවම ලී ගොඩට යටවෙලා ළමයෙක් ඉන්නවා දැක්කා. එයාවත් කොහොම හරි එළියට ගෙනත් රෝහලට අරන් ගියා. තුවාල වෙච්ච ළමයි ඔක්කොම 20 ක් විතර හිටියා..
මධ්‍යම පළාතේ අධ්‍යාපන බලධාරීන්ගේ තේමා පාඨය දරුවා කාගේද නොව කාගේ වුවද දරුවෙකි යන්න තේමා කරගත් මධ්‍යම පළාත තුළ පාසල් 1574 ක් ඇත.
මින් 54 ක් ජාතික පාසැල්ය. ළමයි 531063 කට ඉගැන්වීම පිණිස ගුරුවරු 31302 දෙනෙක් සිටිති.අවම පහසුකම් මධ්‍යයේ සිසුන් අධ්‍යාපනය ලබන පාසල් සිය ගණනක් මධ්‍යම පළාතේ තිබේ.බොහොමයක ගොඩනැගිලි දිරිපත්ව තිබේ.
මධ්‍යම පළාතේ අධ්‍යාපනය ඵලදායිතා සම්මාන ලැබුවත් පාසැල් ගොඩනැගිලි මෙසේ හිමිහැටියේ දරුවන්ගේ හිසමත කඩා පාත්වීම නම් සුළුවෙන් තැකිය හැකි වරදක් නොවේ. මේ නිසාම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අදාළ සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම්දී තිබේ.
පන්තියේ ඉන්නකොට එකපාරටම දඩබඩාන් ගාලා වහළේ කඩාගෙන වැටුණා.උළුකෑට පහළට වටෙනකොට අපි මේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරිව දුවන්න හැදුවා.ඒත් වහළේ බිමට කඩාගෙන වැටුණා..මගේ ඔළුවේ මොකක්දෝ වැදුණා..
ඇතුළේ හිරවෙලා හිටපු මාව ඉස්කෝලේ අනෙක් පන්තිවල හිටිය අයයි ගමේ අයයි එකතුවෙලා එළියට ගත්තා... සිද්ධියෙන් තුවාල ලැබ මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබන දැරියක එසේ පැවසුවේ සිදුවූ දෙය පිළිබඳ තවමත් හරිහැටි නොදැනය.
මේ පාසැලේ කඩාවැටුණු ගොඩනැගිල්ල සම්බන්ධව පළාත් ඉංජිනේරු සේවා අංශයෙන් පරීක්ෂණයක් කරනවා.ගොඩනැගිල්ල සම්බන්ධව කියන්න මට ඉංජිනේරු දැනුමක් නැහැ. ඉංජිනේරු එකේ කට්ටිය බලලා තමයි මේකේ තත්ත්වය අපිට කියන්න ඕන.
මේ වගේ අවධානම් ගොඩනැගිලි තිබෙනවා නම් වහාම අපිව දැනුවත් කරන්න කියලා අපි විදුහල්පතිවරුන්ට කියලා තිබෙනවා.
සේෆ්ටි ඔඩිට් කියලා අපේ තියෙනවා. ඒකට තොරතුරු ගෙන්වා ගන්නවා.මේ ගොඩනැගිල්ල අවදානම් කියලා අපි දන්නේ නැහැ. බාහිරව බැලුවම මේ ගොඩනැගල්ල හොඳ මට්ටමක තිබෙන බව පේනවා.කුලුනක් ඇද වෙලා එතනින් යටලීය පාත් වෙලා.
ඉංජිනේරු අංශයේ නිර්දේශය අනුව කඩා ඉවත් කිරීම හෝ අලුත්වැඩියා කිරීමක් කරනවා....මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා පවසයි.