රජ්නිකාන්ත්ගේ යාපනේ ගමනින් තමිල්නාඩුව රත් වෙයි | සිළුමිණ

රජ්නිකාන්ත්ගේ යාපනේ ගමනින් තමිල්නාඩුව රත් වෙයි

 දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි නළු රජ්නිකාන්ත් අප්‍රේල් මාසයේ යාපනයේ සහ වවුනියාවේ සංචාරය කිරීම පිළිබඳ වාර්තාවීමත් සමඟම තමිල්නාඩු දේශපාලනය තුළ එය උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ අවතැන්ව සිටින දෙමළ ජනයා වෙනුවෙන් ඉන්දියාවේ ඥානම් පදනම විසින් ඉදිකරන ලද නිවාස 150ක් ජනතාවට ලබාදීමේ උත්සවයක් වෙනුවෙන් රජ්නිකාන්ත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එහිදී අප්‍රේල් 9 දින යාපනයේදී ද, අප්‍රේල් 10 වැනි දින වවුනියාවේ දී ද මෙකී නිවාස ජනතාවට බාරදීමට යෙදී ඇත. මෙය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟම දකුණු ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරීන් බොහෝමයක් විරෝධය දැක්වීමට පටන්ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ටී. තිරුමාවලාවන් ප්‍රකාශ කර සිටියේ රජ්නිකාන්ත් ශ්‍රී ලංකාවට සංචාරය නොකළ යුතු බවයි.

ඔහු ශ්‍රි ලංකාවට යෑම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට බලපාන බවත්, බොහෝ කණ්ඩායම් යුද අපරාධ ගැන ශ්‍රී ලංකාවට චෝදනා කරන අතර රජ්නිකාන්ත් ශ්‍රී ලංකාවට යෑමෙන් ශ්‍රී ලංකා රජය දෙමළ මිනිසුන් වෙනුවෙන් සේවය කරන බව තහවුරු වීමක් සිදුවන බවත් එමනිසා එය ‍නොකළ යුතු යැයි ඔහු අවධාරණය කර සිටී. රජ්නිකාන්ත් හමුවී ලංකාවට නොයන ලෙස ඉල්ලා සිටීමට තමා බලාපොරොත්තු වන බව ද කියා ඇති තිරුමාවලන් තවදුරටත් කියා සිටියේ ඔහුට බලපෑම් කරමින් විරෝධතාවක් මෙහෙයවන බවයි.

දකුණු ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ලයිකා සමාගමේ සභාපතිවරයා වන සුබාස්කරන් අලිරාජා මහතාගේ මවගේ මැදිහත්වීම මත මේ නිවාස ඉදිකෙරේ. ලයිකා සමාගම යටතේ ඥානම් පදනම ක්‍රියාත්මක වන අතර නිවාස සඳහා ඔවුන් වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 22ක් පමණ ය. මීට පෙර අවස්ථාවලදී ද මේ ඥානම් පදනම උතුරු නැ‍ඟෙනහිර විනාශ වූ පාසල් නවීකරණය වෙනුවෙන් උදව් උපකාර කර තිබේ.

දකුණු ඉන්දියාවේ සුපිරි නළුවකු වූ එම්.ජී. රාමචන්ද්‍රන්ගෙන් පසුව තමිල්නාඩු සුපිරි තරුවක් ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයි වේ. ලංකාවට පැමිණෙන රජ්නිකාන්ත් එහිදී ජනහමුවක් ඇමතීමට ද නියමිතව ඇත. 

Comments