
ගිනි සුළං හමයි දිය උල්පත් සිදෙයි
මෑත ඉතිහාසයේ රස්නය වැඩිම දින කිහිපය ළඟ ළඟම එයි
හෙට මාර්තු 27 දා සඳුදා පෙරවරු 07.38 සිට හට ගන්නා ග්‍රහ චලිතය සමඟ ම පරිසරයේ උණුසුම ක්‍රමයෙන් ඉහළ නැංවෙන අතර අප්‍රේල් මස මැද කාලයේදී එකී ගිනියම් කාලගුණය උච්ච මට්ටමට පත්වෙයි. මේ කාලගුණ විපර්යාසය හේතු කොට ගෙන ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් දරුණු පීඩාවකට ගොදුරුවන බවත් ටොලමියානු ජ්‍යොතිෂ සූත්‍ර මගින් පෙන්නුම් කරයි.
පොළොවේ මතුපිට උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නැංවෙන අතර අප්‍රේල් 14-15-16-17 -18 සහ ඉන් පසුව එන දින කිහිපය තුළදී මහ පොළොව ගිනිගත්තාක් බඳු ස්වභාවයකට පත්වෙයි. මතුපිට පොළොව පමණක් නොව එකී තාපය පොළොවේ අභ්‍යන්තරය දක්වා ගමන් කරන හෙයින් භූගත ජල පරිමාව ශීඝ්‍රයෙන් පහත බැසීම සහ දිය උල්පත් සිඳී යෑමේ අවදානමක් ද ක්ෂණිකව ඉස්මතු වෙයි. පොළොවට සමාන්තරව වේගවත් තාප වායු ධාරා ගමන් කිරීමට පටන් ගන්නා හෙයින් පිපිරීම් සහ ලැව්ගිනි අවදානම ද උග්‍ර තත්ත්වයකට පත්විය හැක. සමස්තයක් වශයෙන් ගත්කළ මේ දැඩි ඌෂ්ණාධික කාලගුණය නිසා ගහ කොළ සතා සීපාවා පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනී ජනයා ද දැඩි අවදානමකට ගොදුරු විය හැකිය. ආසන්න වශයෙන් එකී පීඩාදායක කාල පරිච්ඡේදය මැයි මස මුල සතිය දක්වා පවතින හෙයින් කොයි කවුරුත් ග්‍රීෂ්ම කාලයක් සඳහා කල්තබා සූදානම්වීම ඉතා වැදගත් වෙයි.
විශ්ව කේන්දරයේ ගිනි මර්මස්ථාන ත්‍රිත්වය ම [ 1 F + (+s -me) / 5 F+ ( + R) / 9 F + ( +s )] එකවර වායුකාරක ග්‍රහයන් දෙදෙනකු සහ පඨවිකාරක ග්‍රහයකු වෙතින් උත්තේජනය වීම සහ ගිනි බලැති රවි ග්‍රහයා ද ගිනි රාශියක ගිනිකාරක ක්ෂූද්‍ර සූක්ෂ්ම කලාපයක ගමන් ගැනීම නිසා බොහෝ රටවල් සහ සාගර ද ඒවායේ පවතින සජීවී අජීවී සියල්ල ද අසාමාන්‍ය උණුසුමකට ගොදුරු වෙයි. එකී පීඩාව එක් එක් රටවලට දැනෙන අකාරය වෙනස්වන අතර අපි මුලින් ම ශ්‍රි ලංකාව පිළිබඳ විමසා බලමු.
ශ්‍රී ලංකා වායූ බලැති කේන්දරයේ 03 - 07 සහ 11 යන ප්‍රති පෝෂක ත්‍රිකෝණස්ථාන එකවර උත්තේජනය වෙයි. එයින් අංක 03 දරණ ගිනි රාශිය තුළ නිර්මාණය වන්නේ විපරිවර්තන බලයකි. එය රටට පීඩාදයක වන මුත් 07 සහ 11 යන රාශී දෙක තුළින් එතරම් පීඩාදායක තත්ත්වයක් නිර්මාණය වන්නේ නැත. එහෙත් 03 වැනි රාශිය තුළින් පැන නඟින පීඩාව නිසා ශ්‍රී ලංකාව ද මේ ගිනිකාරක කාලගුණික විපර්‍යාසයේ අඩු අවදානම් ගොදුරක් බවට පත්වෙයි. ඒ අතර කැපී පෙනෙන්නේ විදුලිය - විදුලි සංදේශ - වනාන්තර - කඳුකරය - සාගරය - වායුගෝලය සහ විශේෂයෙන්ම පොළොව මතුපිට යන ස්ථාන ආශ්‍රිතව වැඩි වශයෙන් පීඩාවන් මතුවිය හැකි බවයි. පිපිරීම් සහ ගිනි ගැනීම් කැපී පෙනෙයි. මේ කාලයේදී ගිනි අනතුරු ඉහළ යෑම කෙරෙහි වැඩි අවකාශයක් නිර්මාණය වන හෙයින් ගිනි දැල්වීම් සම්බන්ධයෙන් සහ වැසි රහිත අකුණු අනතුරු ආදියෙන් පරෙස්සම්විය යුතුව තිබේ.
එසේම ගංගා ඇළ දොල සහ දිය උල්පත් සිඳී යෑමට අමතරව පරිසරයේ අධික උණුසුමක් නිර්මාණය වන හෙයින් එයින් ඇතිවිය හැකි හානිය අවම කැර ගැනීමට දැන් සිටම සූදානම්වීම ඉතා වැදගත් වෙයි.
ඉන්දියාව එංගලන්තය ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට මේ අධි උණුසුම් කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවන්ට සහ විනාශයන්ට මුහුණ දීමට සිදුවන බවත් මොනවට පෙන්නුම් කරයි. ගහ කොළ සතා සීපාවා මෙන්ම ඇතැම් ප්‍රදේශවල මිනිසුන් ද අධික උණුසුමට ගොදුරුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිත හානිවලට ද ලක්වනු ඇත. විශේෂයෙන්ම මාර්තු 27 සිට ජූනි 02 දක්වා වූ කාලය ලොව පුරා අමුතු වසංගත රෝග ව්‍යාප්තියකට මුහුණ දෙනු ඇති බවත් පුරෝකතනය කළ හැකිව තිබේ. මෑත ඉතිහාසයේ අධික ම උෂ්ණත්වය වාර්තා වූ අප්‍රේල් මාසය ලෙස මේ කාලය ඉතිහාසයට එක්වනු ඇත.