යාප­නය හැඩ කරන විහඟ ගිනි සිළු | Page 2 | සිළුමිණ

යාප­නය හැඩ කරන විහඟ ගිනි සිළු

“මම පක්ෂි විදුවරයෙක් නොවෙමි. කුරුල්ලන් ගැන හසළ දැනුමක් හෝ අත්දැකීම්ද මා තුළ නැත. එහෙත් මේ සුවිශේෂ සත්ත්ව කොට්ඨාසය සෑම කල්හීම සිතෙහි ආනන්දයක් ඇති කිරීමට සමත් විය. එබැවින් අවස්ථාවක් ලද සෑම විටෙකදීම කුරුල්ලන්ගේ ජීවිත තුළට එබී ඒ ජීවිත තුළ ඇති සරල බව අත්විඳින්නට මා ‍පොලඹවන්නේ ඒ ආනන්ද ජනක හැඟීමයි.”

 

ඇමෙරිකානු ජාතික කවියකු වන ලෝං‍ෆෙලෝ වරෙක විහඟුන් පිළිබඳ දැක්වූ අදහසකි.

බැලූ බැලූ සැමතින්ම දිස් වන්නේ තම දිගු බෙලි වකුටු කර ගෙන දිගු කකුල්වලින් දණමතක් රැඳි කලපු දියෙහි බැස, ලැසි ගමනින්, එක පෙළට පා තබමින්, හැල්මේ දියඹ ආක්‍රමණය කරනා සුදු පවුරක් හා සමවු දැකුමක් සිහිගන්වනා පක්ෂීන් සමූහයකි. මේ පක්ෂී දැකුම ශ්‍රී ලාංකික අපට නම් ආගන්තුකය. මන්ද යත් අපේ රටේ ජීවත් වන විහඟ මිතුරන්ගෙන් පහසුවෙන් වෙන් කර හඳුනා ගත ගත හැකි ශාරීරික හැඩ රුවින් සේම ඔවුන්ටම ආවේණික වු ඇවැතුම් - පැවැතුම්වලින්ද මේ අමුත්තන් විශේෂිත වීමය.

යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව ව්‍යාප්තව ඇති කලපු පරිසර පද්ධතිය ජලචර පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි කදිම ස්ථානයන් වශයෙන් ප්‍රකටය. කයිට්ස්, පොයින්ට් පේදුරු, නාගර් කෝවිල්, නාගදීප, කන්කසන්තුරේ, කෝපායි, මණ්ඩතිව්, ඩෙල්ෆ්, චුණ්ඩිකුලම්, අලිමංකඩ, නන්දිකඩාල්, නයාරුබ සහ කෝකිලායි ආදි වු ප්‍රදේශ ආශ්‍රිත කලපු පාරිසරික කලාප මේ දිනවල සංක්‍රමණික පක්ෂීන් ආක්‍රමණය කර හමාරය. නානා විධි භාෂාවන්ගෙන් සමන්විත වූ‍ කුරුලු කූජනයන්ගෙන්මේ දිනවල මුළු මහත් යාපන කලපු ප්‍රදේශ නින්නාද වේ.

අදින් වසර අටකට පමණ පෙර මේ ප්‍රදේශ ගිල ගත් කුරුරු යුද්ධයේ වගක්වත් ඉතිරි නොකොට ඒ සියලු අඳුරු මතක නිමේෂයකින් අකා මකා දැමීමට මේ විහඟුන් සමත්ව ඇති අන්දම ඔබ යාපනය ආශ්‍රිතව සංචාරය කරන්නේ නම් දැකගත හැකි වනු ඇත.

කලපු පරිසරය අභියසින් දිව යන මාර්ගයන්හි ගොරහැඩි රථ වාහන ශබ්ද නෑසූ කන්ව දියඹෙහි බැස ගත් වනම පසු වන ජලජ පක්ෂීහු එක සීරුවට හිරු උදාවේ සිට හිරු බැසයන යාමය දක්වාම එහි ගැවසෙති. ඉන්පසු රාත්‍රිය උදාවත්ම කලපු ආශ්‍රිත උස් ගොඩැලි වැනි ස්ථානයන්හි ලැගුම් ගනිති. ඒ සැවොම එක් ස්ථානයකට ඒක රාශි වෙමිනි. මේ පක්ෂීහූ නිතරම නන්නාඳුනන රටක ගත කරන කාලයේ සිය ආරක්ෂාව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වෙති.

ඉංග්‍රීසි ව්‍යවහාරයේදී Flamingo වශයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂීන් සිංහල ව්‍යවහාරයේදී සියක්කාරයා වශයෙන් හැඳින්වේ. අධික රංචු වශයෙන් ගැවසීම සහ එම පක්ෂීන් ආහාර සෙවීමේදී ජලයෙහි බැස සැවොම එක්ව එක පෙළට තම දිගු ගෙල නවා ගෙන ගැමි වහරෙහි එන පරිදි සී සෑමක් සිහිපත් කරමින් ක්‍රියාත්මක වීම නිසා මේ පක්ෂීන්ට එම නම ව්‍යවහාරවීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. ශරීර ප්‍රමාණයෙන් අඩි පහමාරකට ආසන්න උසක් ඇති මේ පක්ෂීන් සුදු පැහැතිය. පිල් රෝස සහ රතු පාට මිශ්‍ර වු වර්ණයකින් හැඩව ඇත. පියාසර පිහාටු යටි කොටස කළු පාටකි. කකුල් රෝස පාටකි. දිග බෙල්ල, දිග කකුල් සහ නැමි හොට ප්‍රකට ශාරීරික හැඩගැසීම් වේ. කලපු දියෙහි බැස දිගු කකුල්වලින් මඩ කලතන අතරේ දිගු බෙල්ල කකුල් අතරේ රුවා මඩ අතරේ සැඟවුණු කුඩා සතුන් හා ජලජ ශාක ප්ලාවාංග ආදිය ආහාර සේ ගනිති. නැමි හොටය පිහිටා ඇත්තේ මඩ සහිත ජලය තුළ ඇති ආහාර පෙරා වෙන් කර ගත හැකි අයුරිනි. එබැවින් විහඟ ලොව පෙරා බුදින්නන් වශයෙන් මොවුන් ප්‍රකටය.

යාපනය කලපු පරිසරය සරසන ප්‍රමුඛ පෙළේ විහඟුන් ලෙස මේ සියක්කාරයන් හැඳින්විය හැකිය. මේ දිනවල යාපනය ආශ්‍රිතව සංචාරයේ යෙදෙන ඔබට රංචුවක සිය ගණනේ සිට දාහ, දෙදාහා, විසි දහ සහ තිස් දාහ ආදි වශයෙන් වු විසල් සියක්කාරයන් රංචු දැක ගත හැකිවනු ඇත.

මෙවර අප රටට පැමිණි පක්ෂීන් අතරේ තාරාවන්ට ද හිමි වන්නේ විශේෂී ස්ථානයකි. අප දන්නා තරමින් නම් ගෘහාශ්‍රිතව ඇති දැඩි වන තාරාවන් යනු බොහෝ අලස තරබාරු සිරුරකට හිමි කම් කියනා කුරුලු විශේෂයක් වුවත් සංක්‍රමණික තාරාවන් යනු සැතපුම් දස දහස් ගණනක් වුවද පියාසර කළ හැකි දක්ෂ පියාසැරියක් හිමි පක්ෂීන්ය. මේ තාරාවෝ ද ස්වකීය ජන්ම බිම් ආශ්‍රිතව පවතින අහිත කර පාරිසරික සාධක මඟහරිමින් ගොදුරු බිම් සොයා පැමිණෙන්නෝය.මෙවර යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව පර්යටනික පක්ෂී සමය අළලා අප සිදු කළ අධ්‍යනයේදී එබදු තාරා වි‍ශේෂ කිහිපයක්ම දැක බලා ගැනීමේ අනගි අවස්තාව උදා විය. මෙහිලා විශේෂ වන්නේ මින් පෙර එනම් වසර තුනකට පමණ පෙර සංක්‍රමණික යැයි කුරුලු නිරීක්ෂකයන් සිතා සිටි තිත් හොට තාරාවා (Spot – Billed Duck) වර්තමානයේදී අප රටේ නිත්‍ය නේවාසිකයින්ගේ තත්වයට පත්ව සිටීමය. මන්ද යත් තුඩා පැටවුන් පිරිවරා ගත් තිත් හොට තාරා මව්වරුන් කිහිප දෙනෙක්ම කයිට්ස් ආශ්‍රිත කලපු දියෙහි පිහිනා යන සොඳුරු දසුන් කිහිප අවස්ථාවකදීම අප ට නිරීක්ෂණය විය. තිත් හොට තාරාවුන් අප රටේ ස්වකීය අභිජනන කටයුතු සිදු කරනවාය යන්න සැබැවින්ම සෙසු රටවල් වෙත රැගෙන යන්නේ ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වය සුරකින රටක්ය යන පණිවිඩය නොවන්නේද?

තිත්හොට තාරාවුන්, මහ තඹ සේරුවන්, රත් සක්වලයන්, පත්තුඩු තාරාවන්, බැම සුදු තාරාවුන්, රන් කිරුළු තාරාවුන්, උල් පෙද තාරාවුන්, පොදු තාරාවුන්, හීන් තඹ සේරුවන් අතරේ සරනා හැදි අලාවන්, හිස කළු දෑ කොකුන්, සිලුටු දෑ තුඩුවන්, කළු හිස් ගොලුවියන්, පොදු කිතලුන්, කළු පිය ඉපල්පාවන්, කහ යටි මල් කිරළුන්, සිලුටු දෑ තුඩුවන්, විවර තුඩුවන්, ඇඹල කොකුන් සහ පැස්තුඩුවන් ආදී එකි මෙකී නොකී දෙස් විදෙස් කුරුල්ලන් එකම බිමක සමාදානයේ කල් යවනා අයුරු කෙතරම් අපූරුද?

වසරේ ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වී එළැඹෙන වසරේ අප්‍රෙල් - මැයි මාස අප රටේ නතර වී හිඳිනා මේ ආගන්තුකයන් අතරින් ජලජ පක්ෂීහූ වෙරළබඩ කලපු පරිසර ඇසුරේ සහ වනගත පක්ෂීන් ගංගා නිම්න ඔස්සේ රට අභ්‍යන්තරයට පියාසර කරමින් ආහාර සෙවීමේ කාර්යයේ නිරත වෙති. ස්වකීය ජන්ම බිමෙන් සැතපුම් ගණනාවක් දුර ගෙවා පැමිණෙන මෙම පියාසැරියේ ඉලක්කය වන එනම්, නිවර්තන උණුසුම් ප්‍රදේශ ආශ්‍රිත ගොදුරු බිම් සොයා පියාඹීමේ ඉලක්කය වෙත ළඟා වීමේ ජන්ම පුරුද්දක් සොබා දහම විසින් මෙම පක්ෂීන් වෙත ලබා දී ඇත. උදාහරණයක් වශයෙන් සියක්කාර යුවළක් ගන්න. එම කුරුලු යුවළට දාව උපදින කුළුදුල් පැටවාද ජන්ම පුරුද්දෙන්ම මවු පියන් හා සමව මවු‍පියන් පර්යටනය කරන ගොදුරු බිම් වෙතම තම රැළ හා සමග සංක්‍රමණය කිරීම සිදු කරයි.

මෙහිදී දිවා රාත්‍රී සිදුවන පර්යටනය සඳහා පෘථිවියට සාපේක්ෂව සූර්යයා, සඳු හා තරු පිහිටන කෝණ ඔවුන්ගේ ඉලක්කය වෙත ළඟා වීමෙහිදී ප්‍රයෝජනයට ගන්නා බව පක්ෂි විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත.

සංක්‍රමණික පක්ෂින්ගේ ප්‍රකට ගමන් මාර්ගය වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ පහළට පියාසරමින් පැමිණ කැලමියර් තුඩුව සහ රාමේශ්වරම් අතර වෙරළින් නික්මී මෙරට යාපනය, පේදුරු තුඩුව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වෙරළබඩ සීමාවෙන් හෝ ආදම්ගේ පාලම ඔස්සේ පැමිණ වාන්කලෙයි හරහා මන්නාරමින් මෙරටට පිවිසෙන පර්යටන මාර්ගයයි. මෙලෙස පැමිණෙන්නේ හිමාලය කඳු වැටියට ඔබ්බෙහි රටවල වෙසෙන සංක්‍රමණික පක්ෂීන් මෙන්ම නැගෙනහිර සයිබීරියාව, මොංගෝලීයාව හා ටිබැටය යනාදී රටවලින් පැමිණෙන පක්ෂීන්ය. ඊශාන පියාසර මාර්ගය වශයෙන් හඳු‍න්වනු ලබන අන්දමන් දූපත් ඔස්සේ පැමිණෙන කුරුල්ලන්ගේ පියාසර මාර්ගය අප්‍රකට මාර්ගයක් වශයෙන් හැඳින් විය හැකිය. ඒ මාර්ගය තෝරා ගනු ලබන්නේ දුර්ලභ සංක්‍රමණිකයින් වශයෙන් ගැනෙන ඈත පෙරදිග සංක්‍රමණික විහඟුන්ය. මේ පක්ෂීහූ චුණ්ඩිකුලම් අභය භූමිය ආශ්‍රිත වෙරළ තීරය ඔස්සේ මෙරටට ඇතුළු වන අතර අනතුරුව ගංගා නිම්න ඔස්සේ රට අභ්‍යන්තරයට ප්‍රවිශ්ට වෙති.

සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණ මාස අටකට ආසන්න කාලයක් ගතකරමින් අපේ දේශගුණික තත්වයන්ට අනුගත වෙමින් කාලය ගත කර යළිත් තම නිජ බිම් වෙත පිටත්ව යන්නේ පැමිණි සමයේ තිබූ ශාරීරික පෙනුමට හාත් පසින්ම වෙනස් වු ශාරීරික වර්ණයන් සහ තරබාරු ගතක්ද සහිතවය. අඳුරු වර්ණ දැරූ පක්ෂීන් අප රටින් පිටව යන්නේ වර්ණවත් පිහාටු ගොමුවකින් පැහැපත්වය. විශේෂයෙන්ම සංක්‍රමණික තාරා විශේෂ මෙහිලා විශේෂිතය. රජ සියක්කාරයා ද සුදු පැහැයෙන් අප රටට පැමිණියත් පිටත්ව යනුයේ ගිනි සිළුවක් හා සමවූ රෝස රත් පැහැයක් සහිතවය. එයට කලපු ආශ්‍රිතව ඔවුන් ලබා ගන්නා ආහාර ද බලපායි. Flamingo යන්න ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ලතින් සහ ස්පාඤ්ඤ වචන දෙකක එකතුවකිනි. එහි තේරුමද ගින්දර හා බැඳී ඇත.

අප රටේ කෙටි කාලයක් ගත කර උන් යළිත් මෙරටින් නික්ම යනුයේ ස්වකීය අභිජනන කටයුතු ජන්ම බිමේදීම සිදු කරන අටියෙනි. නිසි කාලය එළැඹෙත්ම පිටත්ව යන මේ පක්ෂීහූ උපන් බිමට ගොස් කැදලි තැනීම අරඹති. මොවුන් කෙටි කාලයකට අප රටට පැමිණියද මේ රටත් තම ජන්ම බිම හා සමව අලංකාරත්වයකින් පිරවීමට සමත්කමක් දැක්වීම කෙතරම් අපූරුද?මනසින් උසස් යැයි පාරම්බානා මිනිසුන්ට මෙන් මේ පක්ෂීන්ට රටක් හෝ වැටක් හෝ කඩොල්ලක් නොමැත. ඇත්තේ මේ මුළු මහත් මහිතලය පමණි. ප්‍රශ්න නොමැත. ගැටුම් නොමැත. උන්ට අවශ්‍ය ඒ මොහොත සතුටින් ගත කර සිය වර්ගයා බෝ කිරීමට පමණය. ඉදින් මේ මිහිතලයේ සැබෑ උරුමකරුවන් ඔවුන්ම නොවන්නේද?

  

Comments