අපේ දරුවන් තාත්තලා ඉල්ලා හඬ­නවා | Page 4 | සිළුමිණ

අපේ දරුවන් තාත්තලා ඉල්ලා හඬ­නවා

මොරගහකන්ද හා කළු ගඟ ජලාශ මෙරට ජනතාව පෝෂණය කිරීම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෑත කාලයේ ඉදිවෙන දැවැන්තම වාරි ව්‍යාපෘතියයි. ඒ සඳහා බොහෝ දෙනෙක් තම වතුපිටි ගේදොර පරිත්‍යාග කළහ. මෙම ව්‍යාපෘතීන් පිළිබඳව පසුගිය කාලයේ අප කතාබහ කළේ මේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙනි.

මොරගහකන්ද ජලාශයට සමගාමීව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් මාතලේ දිස්ත්‍රික්කයට අයත් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළු ගඟ හරස්කොට කළු ගඟ මහා ජලාශයේ ඉදිකිරීම් මේ දිනවල ලහි ලහියේ සිදුවෙමින් පවතී.

ඒ සංවර්ධන කටයුතු අතරේ පසුගිය 26 වැනි දින උදෑසන අසන්නට ලැබුණේ හදවත් සසල කළ දුක්මුසු ඛේදවාචකයක තොරතුරකි. එම තොරතුරෙන් කියැවුණේ කළු ගඟ ජලාශ ඉදිකිරීම් සඳහා අවශ්‍ය කළු ගල් ලබාගැනීම සඳහා යොදාගත් විශාල ගල් කන්දක් කඩා වැටී එහි සේවක පිරිසක් යටවී ඇති පුවතයි. මේ සිද්ධිය වාර්තා වී අප එම ප්‍රදේශයට යද්දී අපට දැකගත හැකි වූයේ කඩා වැටුණු මහා කළුගල් තොගයකට යටවූ යානවාහන ඇතුළු කළුගල් ගොඩකි. ඒ වන විටත් විශාල කළු කුට්ටිවලට යටවී බේරාගැනුණු එතැන සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව දැනගන්නට ලැබිණි. එතැන දොඹකරයක සේවය කළ රියැදුරකු එම ස්ථානයේම මියගොස් එම මළසිරුර හත්තොට අමුණ රෝහලට රැගෙන ගිය බවත් තවත් කාර්මික ශිල්පියකු විශාල ගල්පර හා කැටපිලර් යන්ත්‍රයක් ඇතුළේ සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින බවත් දැනගත හැකි විය.

එසේ සිරවී සිටි කාර්මිකයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා මෙහි කොන්ත්‍රාත්කරුවන් වන චීන ජාතික සමාගම යටතේ සේවය කරන ශ්‍රී ලාංකික සේවකයෝ වෙහෙසෙන්නට වූහ. උදෑසන 9 සිට ඔවුන් සිය සගයා බේරා ගැනීමට උත්සාහ කළ ද එම විශාල කළු ගල් පර ඉවත් කිරීම අසීරු විය. මන්ද එම ගල්පර ඉවත් කිරීම ද අවදානම් සහගත වීමය. පසුව ලග්ගල පොලීසිය මැදිහත් වී වෛද්‍ය කණ්ඩායම් මෙන්ම තවත් සහන කණ්ඩායම් එතැනට කැඳවීය. මේ වෙද්දී පැය ගණනාවක් ගතව තිබිණ. කාගේත් ඒකායන වෑයම වූයේ සිය සහෝදර සේවකයාගේ දිවි බේරා ගැනීමය.

ගල් අතර සිරව සිටි ඔහුගේ ජීවිතයේ වටිනාකම තේරුම් ගත් බලධාරීහූ වහාම මේ බැරෑරුම් කටයුත්ත සඳහා යුද හමුදාවේ සහාය පැතූහ. 53 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු විශේෂ භට කණ්ඩායමක් සේවකයා බේරා ගැනීමේ මෙහෙයුමට එක්වූයේ ඉන් පසුවය.

එතැනට පැමිණි වෛද්‍යවරු හා යුද හමුදා සාමාජිකයෝ හැකි අයුරින් යටවී සිටි පුද්ගලයාට ප්‍රතිකාර ලබා දෙමින් ඔහුගේ දිවි රැක ගැනීමට උත්සාහ ක‍ෙළා්ය. එහෙත් සේවකයා ගලවා ගැනීමේ කටයුතු සංකීර්ණ වෙද්දී රජයේ උපදෙස් පරිදි ගුවන් යානා දෙකකින් කොළඹ සිට කොමාන්ඩෝ භට කණ්ඩායමක් ද අනතුර සිදුවූ ස්ථානයට ළඟා විය. මේ සියලු දෙනාගේ එකම උත්සාහය වූයේ මේ අහිංසක ජීවිතය බේරා ගැනීමය. උදේ 9ට ආරම්භ කළ මේ මහා මෙහෙයුම අවසන් වූයේ හරියටම සවස 5.15ටය. ඒ වන විට ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මෙම කාර්මික ශිල්පියා ගිලන් රථයකින් දඹුල්ල මූලික රෝහලට රැගෙන යන අතරමඟදී මෙලොවින් සමුගත්තේ කාගේත් සිත් කම්පා කරවමිනි.

එම ස්ථානයේ සිටි සේවකයෝ ඒ වෙද්දීත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට සහ චීන ජාතික කොන්ත්‍රාත් සමාගමට දොස් පරොස් නඟමින් සිටියහ. ඔවුන්ගේ චෝදනාව වූයේ විශාල ගල් බෝර දැමීම නිසා කන්ද පුපුරා ඉහළින් ඉරි තළාගොස් කඩා වැටීමේ අවදානමක් තිබෙන බව සේවකයන් මීට දින දෙක තුනකට ඉහත දී පෙන්වා දී තිබියදීත් ඊට විසඳුම් ලෙස ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය නොකර ඉරි තළා ගිය පැලුම් මාර්ග කම්කරුවන් යොදා පස් දමා වසා කන්ද පහළින් ගල් ලබා ගැනීම සඳහා සේවකයන් යෙදවූ බවය. මෙදින ඉරිදා දිනයක් වීම නිසා සිදුවූ අනතුරේ බරපතළකම අඩුවී ඇති බවත් බැරි වෙලාවත් සතියේ දිනක මෙය සිදුවූයේනම් අනිවාර්යයෙන්ම මියයන හා ගල්පර අතර අතුරුදන් වන සේවක සංඛ්‍යාව කිසිවකුටත් සිතා ගැනීමටවත් නොහැකි වන බවට ද සේවකයෝ චෝදනා නැඟූහ.

මේ චෝදනාවලට පිළිතුරු දුන්නේ කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතාය. ඔහු පැවසුවේ තමන් ද මේ ස්ථානයේ භූ පැල්ම හා අවදානම් තත්ත්වය හඳුනාගෙන තිබූ බවයි. මේ ස්ථානයට සේවකයන් නොයොදවන ලෙසට චීන කොන්ත්‍රාත් සමාගමට දැනුම් දී තිබියදීත් සේවකයන් යොදවා තිබෙන බව ද ඔහු පැවැසීය.

මෙම අවාසනාවන්ත ඉරණමට ලක්වූයේ ලග්ගල මොරතැන්න හත්තොටඅමුණ ප්‍රදේශයේ කුලී නිවෙසක තම තුන් හැවිරිදි දියණිය හා ආදරණීය බිරිය සමඟ කල් ගෙවූ කාර්මික ශිල්පියකු වූ එම්. එම්. සුසිත ප්‍රියංකර (26) මහතා සහ මැදිරිගිරියේ ජී. පී. එස්. හන්දිය ලිපිනයේ කුඩා කාමර දෙකක පදිංචිව සිටි දෙදරු පියකු වූ ඩී. ඩබ්ලිව්. ජී. දයාරත්න (39) මහතාය.

“මගේ මහත්තයා මැරුණා කියලා මම දැනගත්තේ රෑ රූපවාහිනිවල ප්‍රවෘත්ති බලනකොට. එතකල් මම හිතාගෙන හිටියේ එයා බේරිලා කියලා. ඔක්කොමලා මට කිව්වේ අමාරු නැහැ කියලා. මට එතනට යන්න දුන්නෙ නැහැ. දෙයියනේ මට මොනවා ලැබුණත් වැඩක් නැහැ මගේ මහත්තයා නැතිව.” මොරගහකන්ද කළුගඟ ජලාශයේ ඉදිකිරීම් භූමියේ පස් හා කළු ගල් කන්දට යටවී පැය අටක පමණ මෙහෙයුමකින් පසුව ගොඩගෙන රෝහලට රැගෙන යද්දී මියගිය කාර්මික ශිල්පී එම්. එම්. සුසිත ප්‍රියංකර මහතාගේ බිරිය වන ලක්මිණි ප්‍රදීපිකා (25) මහත්මිය දඹුල්ල රෝහලේදී පැවැසුවේ හඬා වැලපෙමිනි.

“මගේ මහත්තයා උදේ හයට විතර තමයි වැඩට යන්න ගියේ. අම්මලාගේ ගෙදරට කෑම වගයකුත් අරගෙන තමයි ගියේ. උදේ නමයට විතර මිනිස්සු කතා වුණා කළුගඟ ගල් බැම්මක් කඩා වැටිලා කියලා. අපි ඔක්කොමලා ඒ පැත්තට දිව්වා. එතැනදි කට්ටිය කිව්වා මගේ මහත්තයටත් සුළු තුවාල තියෙනවා. එයාව රෝහලට අරගෙන යනවා කියලා. ගෙදර යන්න කියලා. මට එතැනට යන්න දුන්නේ නැහැ.”

පස්සෙ කීවා එයා ගල් ගොඩක හිරවෙලා ඉන්නවා තුවාල නැහැ බේරාගන්න කටයුතු කරනවා කියලා. හවස් වෙනකල් අපි බලාගෙන හිටියා. අන්තිමට රෑ ප්‍රවෘත්තිවලින් තමයි මම දැනගත්තේ එයා නැතිවෙලා කියලා.”

“එයා එතන රැකියාවට ගියේ අපිටම කියලා ගෙයක් දොරක් හදාගන්න. අපි තවම ඉන්නෙ අපේ මාමා කෙනෙක්ගෙ ගෙදර. මට අවුරුදු තුනක දුවෙක් ඉන්නවා. මාස 10ක් වෙනවා වැඩට ගිහිල්ලා. මම කියන්නෙ අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න කියලයි.”

“මම දන්නවා මගේ මහත්තයාගේ ජීවිතය ඉල්ලුවට දෙන්න බැහැනේ. ඒ නිසා මම දුවට උගන්වාගෙන නිවෙසක් හදාගෙන ඉන්න තමයි අවශ්‍ය වෙන්නෙ” යැයි ඇය කීවාය.

මේ සිද්ධියෙන් මියගිය අනෙක් සේවකයා මැදිරිගිරියේ පදිංචි ඩී. ඩබ්ලිව්. ජී. දයාරත්න මහතාය.

“මගේ මහත්තයා කළුගඟ ජලාශයේ නැවතිලා වැඩ කරන්නෙ එයා උදේම මට කෝල් කරලා කිව්වා දුව පන්ති යවන්න කියලා. උදේ 10 ට විතර අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක් ගෙදර ඇවිල්ලා මට කිව්වා ප්‍රවෘත්තිවලට කිව්වා කියලා කළුගඟ ගල් කන්දක් කඩා වැටිලා කියලා. එතකොට තමයි මම දන්නෙ මේ විත්තිය. පස්සෙ මම එයාට කෝල් ගත්තා පොලීසියේ මහත්තයෙක් කතා කරලා කිව්වා එයාට පොඩි තුවාලයක් වෙලා තියෙනවා රෝහලට එන්න කියලා. ඒ ආවට පස්සෙ තමයි දැනගත්තෙ මගේ රත්තරං මියගිහින් කියලා දෙයියනේ...”

පස් හා ගල් කන්ද කඩා වැටීමෙන් පළමුවෙන්ම මියගිය මැදිරිගිරිය ජීපීඑස් හන්දියේ පදිංචි ඩී. ඩබ්ලිව්. ජී. දයාරත්න (39) මහතාගේ බිරිය බී. ජී. විජිතා ප්‍රියංගිකා කුමාරි (35) දෙදරු මව හඬා වැටෙමින් දඹුල්ල රෝහලේදී පැවැසුවාය.

“අපි රෝහලට ආවත් එයාගේ මූණවත් බලන්න බැරි වුණා. මගේ ලොකු පුතා මේ සැරේ ශිෂ්‍යත්ව විභාගය ලියන්නෙ. පොඩි පුතාට අවුරුද්දයි මාස පහයි. අපි ඉන්නෙ කාමර දෙකක පොඩි නිවෙසක මගේ මහත්තයා දිවා රෑ නැතිව වැඩ කළේ ගෙදර වැසිකිළිය හදාගන්නයි. එයා දැන් වැඩට ඇවිල්ලා වසර දෙකක් වෙනවා. එයා ඉස්සර ඉඳලම බැකෝවල තමයි වැඩ කළේ.”

“මම කල්පනා කරන්නෙ මගේ දරුවෝ දෙන්නා ජීවත් කරගන්නෙ කොහොමද කියලයි. අපි හරිම අහිංසකව ජීවත්වන මිනිස්සු. මම කවදාවත්ම හිතුවේ නැහැ මේ වගේ විපතක් අපිට වෙයි කියලා. හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා කියලයි අපි කියන්නෙ. පුංචි දරු පැටවු දෙන්නා අඬනවා තාත්තා ඉල්ලලා. මම කොහොමද ඒ දෙන්නට තාත්තා දෙන්නෙ.” යැයි ඇය කීවාය.

කෙසේ වෙතත් මෙම ඛේදවාචකයෙන් අසරණ වූ පවුල් දෙකට පිහිටවන්නට රජය තීරණය කර තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පවුල් දෙකට අවමඟුල් කටයුතු කර ගැනීම සඳහා පසුදිනම රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් ලබාදීමට තීරණය විය. ඊට අමතරව කොන්ත්‍රාත් සමාගම විසින් සේවක රක්ෂණයේ වන්දි ප්‍රතිලාභය උපරීමය ලබාදීමටත් පවුල් දෙකටම නව නිවාස දෙකක් ඉදිකැර දීමටත් මියගිය දෙන්නාගේ බිරින්දෑවරුන් දෙන්නටම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ රැකියා ලබාදීමටත් කටයුතු කරන බව කළුගඟ ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී. බී. විජේරත්න මහතා පැවැසීය. 

Comments