රටෙන් සියයට 14ක් රකින්න ඉන්නවන ජීවි නියාමකයන්ට පැය අටේ ‘ඩියුටියක්’ | Page 2 | සිළුමිණ

රටෙන් සියයට 14ක් රකින්න ඉන්නවන ජීවි නියාමකයන්ට පැය අටේ ‘ඩියුටියක්’

වනජීවි සංරක්ෂණ දිනය පසුගිය සිකුරාදාට යෙදී තිබිණි. ඒ අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වසර 66ක් පිරීම වෙනුවෙන් සුවිශේෂී උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

එසේ වුවත් මෙරට වනජීවි ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ සුවිශේෂී සේවයක් කරන වනජීවි නියාමක නිලධාරීන් එම උත්සවය වර්ජනය කළ බව සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය අපට පැවැසීය. එයට හේතුව වනජීවි ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් නොදීමයි.

වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු එලෙසම පැවතුණත් වනජීවි දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා තම අවුරුදු 66 සමරන උත්සවය මහ ඉහළින් කොළඹදී පැවැත්විණි.

එහිදී සිදුවූ ප්‍රධානම කටයුත්ත වූයේ වනජීවි සංරක්ෂණය වෙනුවෙන් කැපවූ බාහිර පුද්ගලයන්ට වනජීවි නිලධාරීන්ටත් සම්මාන ප්‍රදානය කිරීමයි. නමුත් පරිසර සංවිධාන හා වනජීවි ලෝලිහු පවසන්නේ බාහිරව සිටින වනජීවි සම්මාන ලැබිය යුතු බොහෝ අයට සම්මාන ලබා නොදුන් බවයි. මෙරට ඇත් අතුරු සෙවණේ නිර්මාතෘ හා අලි සංරක්ෂණ ක්ෂේත්‍රයේ මහ මෙහෙයක් කළ දොස්තර නන්දන අතපත්තු, අලි ඇල්ලීමට ගොස් ජීවිතය පූජා කළ මන්සුර් හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ විල්සන් දඩයක්කරුවන් නිසා යාලදී දිවිපිදු කුමාරසිංහ ඇතුළු පිරිසකට ද මෙහිදී සම්මාන දිය යුතුව තිබූ බව වනජීවි ලෝලීන්ගේ මතය වී තිබේ.

මේ අතර පසුගිය දිනවල වනජීවි ක්ෂේත්‍රයේ පැවැති විශාලතම ගැටලුව වූයේ මෙරට වනජිවි ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ විශාලතම සේවය කරන සමස්ත ලංකා වනජිවි නියාමක නිලධාරීන් විසින් ක්‍රියාවට නැංවූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයයි. ඒ අනුව වසර 15ක් තිස්සේ ඔවුන් කළ ඉල්ලීම ඉටු නොවීම නිසා පසුගිය 23 වැනි දින පස්වරු 4.15න් පසු එම වනජීවි නියාමක නිලධාරීන් සිය සියලුම රාජකාරි සේවාවලින් බැහැරවය. යළි සේවයට වාර්තා කළේ 27 දිනයේ උදේ 8.30 ටය.

සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා ඉහත දින තුන ඇතුළතදී වනජීවි අපරාධ 164 පමණ සිදුවී ඇත. අලි ගම් වැදීම් හා අලින්ට වෙඩි තැබීම් වගා පාළු වීම්, දිවියන්ට වන සතුන්ට හානි කිරීම ආදිය ඒ අතර විය. ඊට අමතරව අම්පාරේදී අලියකුට ද වෙඩි තබා තිබේ. නැගෙනහිර වනජිවි කලාපයේ දේපළ හානිකිරීම් රැසක් වාර්තා වී තිබිණි. දුටුවැව ප්‍රදේශයේදී ද ඒ දිනවල අලියකුට වෙඩි තබා පසුව මරණයට පත්වී ඇත.

මෙවැනි දින තුනක් සේවයෙන් ඉවත් වුණේ ඇයිදැයි අප සමස්ත ලංකා වනජිවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ඒ. එම්. ඩී. පී. අත්තනායක මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමක නිලධාරීන්ට බලපා ඇති වසර 15ක් තිස්සේ නොවිසඳී පවතින ගැටලුවලට බලධාරින් තවමත් නිසි විසඳුම් ලබා දුන්නේ නැති නිසා තම සාමාජිකයෝ 700ක් කැපකිරීමෙන් ඉටුකරනු ලබන රාජකාරිවලින් ඉවත් වූ බවයි.

එම ඉල්ලීම් අතර ප්‍රමුඛත්වය ගත්තේ ක්ෂේත්‍ර නිලධාරින්ගේ වැටුප් විසමතාව ඉවත් කිරීමයි. ඒ අනුව වනජිවි නියාමක නිලධාරින්ගේ වැටුප MN-3 වැටුප් තලයේ පිහිටුවිය යුතු බව සංගමයේ සභාපති අත්තනායක මහතා පවසයි.

ඒ සමඟම ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදෙන නිල ඇඳුම්වල අඩුපාඩු සම්පූර්ණ කිරීම හා ක්ෂේත්‍ර නිලධාරීන්ට අදාළ දිරි දීමනාව ගෙවීම ද වහාම කළ යුතු බව සංගමය පවසයි.

මේ පිළිබඳව අපි පසුගිය මාසයේ දින දෙකක් වනජීවි සංරක්ෂණ ජනරාල් පතිරත්න මහතා සමඟ කථා කළා. ඊට පසුව වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ සාකච්ඡා කළා. නමුත් විසඳුම් ලැබුණේ නැහැ. ලේකම්තුමා පොරොන්දු වූ දේවල් ද ඉටුවුණේ නැහැ.”

මේ නිසා පසුගිය දින තුනකදී අපි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගත්තා. අපි වනජීවි නියාමක නිලධාරීන් ලෙස වැඩ කළත් අපිට දීලා තිබුණේ අර්ධ පුහුණු කම්කරු වැටුප් තලය. ඊට පස්සේ අපිට පැය අටේ ලිපිකරු වැනි සේවාවක් වූ ‘කළමනාකරණ සහකාර’ නම් තනතුරක් දාලා, අලුත් පත්වීම් හා වැටුප් තල ලබා දුන්නා. නමුත් ඒ තනතුර පැය 8 සේවාවක් කරන තනතුරක්. මෙවැනි තනතුරක් මේ ක්ෂේත්‍රයට ආවේ ප්‍රථම වරට. නමුත් අපි කරන්නේ පැය 24ක ක්ෂේත්‍ර රාජකාරි කටයුතු. අපි කළමනාකරණ සහකාරනම් අපි පැය 24ක් ක්ෂේත්‍ර කටයුතු කිරීම අවශ්‍ය නැහැ. ඒ තනතුර කළමනාකරණ හා ලිපිකරු ශ්‍රේණි තනතුරක්. ඒ අනුව තමයි පසුගිය 24, 25, 26 දිනවල රාජකාරියෙන් ඉවත්වෙලා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නීත්‍යනුකූලව අපි 650ක් විතර ගත්තේ. අපි ඉල්ලන්නේ අපට ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස අලුත් වැටුප් මට්ටමක් ලබා දෙන්න කියලයි. අවුරුදු 15ක් තිස්සේ මේක ඉල්ලනවා.

අපිට තාම අපේ ඉල්ලීම්වලට ස්ථිර විසඳුමක් ලබා දුන්නේ නැහැ. ඉදිරියට ඒවා ලැබුණේ නැත්නම් අපි අකුරට වැඩ කිරීම කරනවා. ඊට පසු දෙපාර්තමේන්තුවේ අනිත් වනජීවි නිලධාරින් එක්ක දීප ව්‍යාප්ත වර්ජනයකට යාමට සැලසුම් කරගෙන ඉන්නවා. මේක කිසිම දේශපාලන බලපෑමක් ඇතිව කරන වැඩක් නෙමේ. වැඩිවන ජීවන වියදම හා වසර 15 - 20 සේවය කරපු නිලධාරින් එකම වැටුප් තලයක තිබීමේ වැරැද්ද වැනි කටයුතු අනුව අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක්. අපේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලදී වනජිවි සංරක්ෂණයට බාධා එල්ල වෙනවානම් ඊට වගකිවයුතු වන්නේ දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්. අත්තනායක මහතා කීය.

මේ පිළිබඳව කරුණු දැක්වූ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරත්න මහතා පැවසුවේ වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් සියල්ලම ඉටුකිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව එම නිලධාරීන්ට අදාළ දිරි දීමනාව ලබා දීමට මාර්තු මාසයේ සිට කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල් මහතා පවසයි.

ඊට අමතරව MN-3 වැටුප් තලයේ පිහිටුවීමට අදාළ ඉල්ලීම තමන් වැටුප් කොමිසමට ඉදිරිපත් කළ නමුත් කොමිසම එය ප්‍රතික්ෂේප කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කෙසේ වුවත් මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ හා වැටුප් කොමිසම සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් පතිරත්න මහතා පවසයි.

වනජීවි නියාමකයන් කියන්නේ පොලීසියේ පීසීලා වගේ කට්ටියක්. ඒ අයට සාජන් බලතල දෙන්න බැහැනේ. කෙසේ නමුත් දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියකුටම සේවකයකුටම 2016 වෙනුවෙන් රුපියල් 140000ක පමණ නව සේවා දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. මෙවැනි දීමනාවක් ඉතිහාසයේම ලබා දී නැහැ.” ඒ මහතා කීය. වනජීවි නියාමක නිලධාරීන් තමයි ක්ෂේත්‍රයේ රාජකාරි කරන්නේ ඒ අය සාම නිලධාරීන් ලෙසයි කටයුතු කරන්නෙ. ඒ අය තමයි අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදු කරන්නේ. ඒ වගේ අවස්ථාවල නිල ඇඳුම ඇඳ සිටීම අත්‍යවශ්‍ය දෙයක්. තම තනතුරේ අභිමානය ඉහළ නැංවීමටත් අනෙක් අය නිලධාරින්ට පක්ෂපාති බව හා ගෞරවය දැක්වීමටත් නිල ඇඳුම අත්‍යවශ්‍යයි. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් පතිරත්න මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වී. බී. එන්. සඳරුවන් මහතා පැවසුවේ පසුගිය වසර 10 - 15 සිටම වනජීවි නියාමකයන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවයි. අපි රටේ සියයට 14 වර්ග ප්‍රමාණයක් රකින්න ඕනැ. ඒත් අපේ මුල්ම පත්වීමට වැටුප දෙන්නේ අර්ධ පුහුණු කම්කරු කියලා. ඊට පස්සෙ ඒක පැය 8 ක ලිපිකරු සේවයක් වන ‘කළමනාකරණ සහකාර’ තනතුරක් කළා තාම තියෙන්නෙ එහෙම තනතුරක් වනජීවි නියාමකයන්ට දැන් දීලා තියෙන්නෙ පැය අටේ ඩියුටියක් තියෙන තනතුරක්. මේ අලුත් තනතුරේ ගැටලු නිසා පැය අටේ රාජකාරි කරන ගැටලුවකට තමන් මැදිවූ බව ද ලේකම්වරයා පවසයි.

“අපි දන්නවා මේ රාජකාරිය පැය 24ක් කළ යුතුයි කියලා. නමුත් දැන් අපිට දීලා තියෙන්නෙ කළමනාකාර සහකාර තනතුරක්. ඒක අනුව වැඩ කරන්න ඕනෑ පැය 8යි අපි ඉල්ලන්නෙ ක්ෂේත්‍ර නිලධාරී තනතුරක තබා අපිට නව වැටුප් තලයක පිහිටුවන ලෙසයි.

මේ ඉල්ලීම් ඉටුවෙන්නෙ නැතිකොට තමයි අපි පසුගිය 24, 25, 26 දිනවල කැපවීමෙන් කරන සේවාවලින් බැහැර වුණේ. අනිත් එක මේ වනජීවි සංරක්ෂණය හමුදාව දමලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද වනජීවි සංරක්ෂණය හරියට කිරීමට පරිසර හිතකාමී, වනජීවි හිතකාමී මානසිකත්වයක් තිබිය යුතුයි. යුද මානසිකත්වය තිබෙන අයට ඒක කරන්න අමාරුයි. වනජීවි සංරක්ෂණයට ඕන වනජීවින් නිලධාරීන් සංරක්ෂණ ක්‍රියාදාමයක්.

පසුගිය දවස්වල අපි සේවයෙන් අයින් වුණු කාලයේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා අපේ ඉහළ නිලධාරීන් පවසනවා. වනජීවි ප්‍රදේශ බලන්න යන අය පමණක් ජීප් රථ රියදුරන් හා ස්වෙච්ඡා මඟපෙන්වන අය එක්ක පමණයි යවලා තිබෙන්නෙ. ඒ තත්ත්වය ඉතා භයානක තත්ත්වයක්. හදිසියේ අලියෙක් එළවාගෙන ආවොත් ලොකු අනතුරක් වෙන්න ඉඩ තිබෙනවා. ජාතික වනෝද්‍යාන බලන්න ජනතාව යවන එක පමණක් නොවෙයි වනජීවි සංරක්ෂණය කියන්නෙ. ඒ දවස් තුනට වනජීවි සංරක්ෂණයට අදාළ ලොකු අපරාධ ගොඩක් වෙලා තිබෙනවා. රටේම වූ වනජීවි අපරාධ ගණන සේරම 200කට වැඩියි. අපි කියන්නෙ අපේ සංගමයේ ඉන්න වනජීවි නියාමකයන් 800 ක්ෂේත්‍ර නිලධාරී වැඩ කළේ නැත්නම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවිනුත් රටේ පරිසරයත් ජනතාවත් අනතුරේ කියලයි. අපි මේ කළේ සුළු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් පමණයි. ඒකට විසඳුම් නොලැබුණොත් උසස්වීම් නොලැබුණු සහකාර අධ්‍යක්ෂවරුත් හා වනජීවි අඩවි සහකාරවරුත් එකතු කරගෙන දීප ව්‍යාප්ත වර්ජනයකට යනවා. එදාට බලාගත හැකි වෙන දේ.

අපි මේ දේවල් කරන්නෙ වනජීවින්ට ආදරේ නැතිව නෙමෙයි. නමුත් වනජීවින් සුරැකීමට අපි ජීවත්විය යුතුයි. දැන් ජීවන වියදම ඉහළයි. පැය 24ම අපි රාජකාරි කරනවා. ඕවර් ටයිම් නැහැ. නමුත් පඩිය ක්ලාක් කෙනෙක්ගේ වගේ. නඩුවලට හොරු අල්ලන්න අපි තුවක්කු අරන් යන්න ඕනැ. ජීවිතය පරදුවට තියා වැඩ කරන්න ඕනෑ. මිනීමරු අලි මෙල්ල කරන්න ඕනෑ. නමුත් සොච්චම් පඩියක් විතරයි ලැබෙන්නෙ. ඇයි රජය වනජීවි ක්ෂෙත්‍රයට මෙහෙම සලකන්නෙ. අපේ 800 තමයි මේ රටේ සියයට 14ක භූමි භාගයේ ක්ෂේත්‍ර රාජකාරිවල යෙදෙන්නෙ. අපි නැත්නම් මේ රටේ වනජීවි සංරක්ෂණයක් කරන්න බැහැ” සංගමයේ ලේකම් සඳරුවන් පැවැසීය.

මේ පිළිබඳව අප කළ විමසුමකදී අපට අදහස් පළ කළ වසර 30ක් වනජීවි ක්ෂේත්‍රයේ කටයුතු රැසක් කළ හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පැවසුවේ මේ රටේ වනජීවි ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස වැඩිම සේවය කරන්නෙ වනජීවි නියාමකයන් බවයි. ඔවුන්ගේ කැපවීම් නැතිව රටේ වනජීවි සංරක්ෂණය කරන්න බැහැ. ඔවුන් පිරිස අර්ධ කම්කරු වැටුප් තලයේ තැබීම සුදුසු නැහැ. ක්ෂේත්‍රයේ රාජකාරි කරන සමයේ අප සමඟ දරුණු අලි අල්ලන්න පවා උපරීම කැපවීමෙන් වනජීවි නියාමකයන් වැඩ කළා. හැබැයි ඉතින් මේ වනජිවි ක්ෂේත්‍රයට ආවොත් ඇපකැප වීමෙන් දිවා රාත්‍රී නොබලා සතා-සීපාවාට ආදරයෙන් කටයුතු කරන්න ඕනැ.

1970 මං වනජීවි දෙපාර්තමේන්තුවට රාජකාරියට එක්වෙන විට දෙපාර්තමේන්තුවේ හිටියේ 600ක් විතර. දැන්නම් 2000ක් විතර ඉන්නවා. නවීන සන්නිවේදන උපකරණ අලුත් වාහන තිබෙනවා. ඒත් වනජිවි අපරාධ වැඩියි. අලි මරනවා වැඩියි. අලි මිනිස්සු මරනවා වැඩියි. ඒකට විසඳුම් දීමට දෙපාර්තමේන්තු සේවකයන්ට තෘප්තිමත් ලෙස වැටුප් හා දීමනා ලබාදිය යුතුයි.

වනජීවි නියාමකයන් සමඟ ඉහළ නිලධාරීන් කැත්තට පොල්ල වගේ ඉන්නෙ නැතිව සහයෝගයෙන් වැඩ කළ යුතුයි. ඒ අයට දීමට හැකි වරප්‍රසාදයක් ලබාදිය යුතු” යැයි ද නන්දන අතපත්තු මහතා පැවැසීය.

මේ අනුව බලන විට වනජීවි ක්ෂේත්‍රයේ ඇගැයීම් කරමින් සම්මාන උත්සව තිබ්බට වනජීවි සංරක්ෂණය දැන් හරියට සිදුවන්නේ නැත්නම් එය ගැටලුවකි. පහළම නිලධාරියා වන වනජීවි නියාමක නිලධාරීන්ට හොඳ පඩියක් දී ඔවුන් ක්ෂෙත්‍ර නිලධාරී මට්ටමේ තබාගන්නවානම් එය වනජීවි සංරක්ෂණයට කරන මහඟු සේවයක් බව අපි කියමු.

නමුත් මෙහිදී ආයතන සංග්‍රහය වැටුප් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි රටේ ප්‍රධාන ආයතනවල අදහස්වලට ද ගරු කළ යුතුය. කෙසේ වුවත් අවසන් ප්‍රතිඵලය විය යුත්තේ වනජීවීන්ට මෙන්ම ඒ අය සුරැකීමට සිටින නිලධාරීන්ට ද ආරක්ෂාකාරී ජීවිතයක් ලබාදීමයි.

 

Comments