සන්ධ්‍යාව විසි­තු­රුය භෝජන ද රස­වත්ය | Page 2 | සිළුමිණ

සන්ධ්‍යාව විසි­තු­රුය භෝජන ද රස­වත්ය

සන්ධ්‍යාව එළැඹෙමින් තිබිණ. විශ්ව විද්‍යාලයේ වෙනදා දකින නිහඬ කලබලකාරී බව පහව ගොසිනි. කොලෙජ් හවුසියේ පඩිපෙළ නොනැඟ ම මම බලා සිටියෙමි. අනුන්ගේ මඟුල් ගෙදරකට අනාරාධිතව පැමිණියාක් වැනි හැඟිමක් මසිත නළියන්නට විය. පාළු ගොඩනැගිල්ලේ තුන්වැනි මහල කරා යද්දී සවනත වැකු‍ෙණ් වීදුරු ගැටෙන හඬකි. උත්සවයට සහභාගීවීමේදී තම රටවල ඇඳුමින් සැරසී සිටිය යුතු බව මා අත වූ ආරාධනා පතෙහි සඳහන්ව තිබිණ. මගේ ඇඳුම කිසිම සංස්කෘතියකට අයත් නොවන බව වැටැහුණේ කොරිඩෝවේ සිටියදීය.

සියුම් ලජ්ජාවක් සමඟ දුකක් ද සිතට ගලා ආවේය. එය සිතින් ඉවත් කර දමනු ලැබූයේ අග දඟර පාමින් කෝටුවක් ද අතැතිව ගෝත්‍රික ඇඳුමින් සැරැසී පැමිණි නයිජිරියානු තරුණයාය. “ඔබ හරිම ලස්සනයි“ කීමට මම දෙතොල් පමණක් නොව දෑස් ද භාවිත කළ බව වැටැහී ගියේ ඔහු ද මට ඉඟි බසින් කතා කළ විටදී ය. මම ඔහු පසුපස කාන්දමක් සේ ඇදී යද්දී අප ජායාරූප ශිල්පී තුෂාර ද මා පසුපසින් ඇදී ආවේය.

මේ අතර නයිජීරියානු තරුණයා බොහෝ කලබලයකින් මෙන් ඔහු අත වූ අහාර වර්ගයක් මේසය මත තැබුවේ ය. තබා තමා රැගෙන ආ ආහාර වර්ගය පිළිබඳ කෙටි හැඳින්වීමක් ද කළේය. එම ආහාර හැරුණුවිට විවිධ සංස්කෘතින්ට හා විවිධ ජාතීන්ට අයත් තවත් ආහාර වර්ග රැසක් ඒ මේසය මත ඇති බව හඳුනා ගත හැකිවිය. නයිජීරියානු තරුණයා තමා රැගෙන ආ ආහාර වර්ගය තමා විසින්ම සකසන ලද්දක් බව පවසා එය සකසා ගන්නා අයුරු හා ඒ සැකසීම සඳහා අවශ්‍ය දෑ ද මා හා විස්තර කළේය. ඔහු සකසා තිබුණේ නයිජීරියාවේ පරසිදු සුප් වර්ගයකි. ආහාර රස බලන මොහොත තෙක් ඉවසා සිටි මම ඔහුගේ සුප් බිඳක් තොල ගෑවෙමි. සැබවින්ම මා දිව පිනා ගියේය.

ලෝකය කොතරම් විසිතුරුද සොඳුරුද යන්න ශාලාව සිසාරා බලද්දී මට වැටහිණ. මේ ඔවුන්ගේ සන්ධ්‍යාවයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය සිසුන්ගේ හමුවයි. ' COLOMBO POT LUCK DAY ' ලෙස නම් කර තිබූ සංස්කෘතික සුහද හමුව සංවිධානය කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අංශය මගිනි. එහි අධ්‍යක්ෂිකා කෝකිලා කෝණසිංහට අනුව මෙය අලුත් සංකල්පයක් නොවේ.

එහෙත් මේ කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වරට පවැත්වූ සුහද හමුව වීම විශේෂත්වයකි. කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා මෙන්ම කෝණසිංහ මහත්මියද විදේශ විශ්ව විද්‍යාලයන්හිදී මේ අත්දැකීම විඳි අය වූහ.

ඔවුහූ තම විශ්ව විද්‍යාලයේ සිසුන්ටද ඒ අත්දැකීම ලබන්නට අවස්ථාව සකසා දුන්හ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විවිධ රටවලට අයත් සිසුහූ 150ක් පමණ ඉගෙනුම ලබති. ඒඅතරින් භූතාන සිසුහු 50ක් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබති.

" අපේ රටේ වෛද්‍ය විද්‍යාලයක් නැහැ. අපේ රටෙන් වෛද්‍ය විද්‍යාව හදාරන්න සිසුන් විශාල සංඛ්‍යාවක් ලංකාවට එනවා. මේ රට හරිම සුන්දර රටක්. අපි මේ රටටත් මේ රටේ ජනතාවටත් කැමතියි." යනුවෙන් අප රටේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට භූතානයෙන් පැමිණි යෙෂිංත්ෂරින් පැවසීය.

එදා එතැන සිටි සිසුන් අතර කළමණාකරණය, ආර්ථික විද්‍යාව , මනෝවිද්‍යාව සහ රසායන විද්‍යාව හදාරන්නෝද වූහ. උත්සවය උණුසුම් මුහුණුවරක් ගත්තේ විවිධ රටවල සංස්කෘතික අංග ඉදිරිපත් කරද්දීය. ඔවුන් ඉතා උද්යෝගිමත්ය. ප්‍රීතිමත්ය. ජවාධික තාරුණ්‍යයෙන් යුතුය. හෙට ලෝකය දරා සිටිනුයේ මේ තරුණ තරුණියන්ය. එතැනට රැස්ව සිටියේ සෑම රටකින්ම වසරේ දක්ෂ සිසුන් ලෙස නම් කරන ලද සිසුන්ය. ඔවුන්ට ‍අප රටේ ඉගෙනීම සඳහා ශීෂ්‍යත්ව ලැබී තිබිණ.

පශ්චාද් උපාධි හදාරන්නෝ තම වියදමින් ඉගෙනුම් කටයුතු කරගෙන යති. ඒ අතර ලංකාවේ විදේශ තානාපති සේවයේ යෙදෙන විදේශිකයෝද වූහ. තනතුරු බරක් ඔවුන්ට නැත. ඔවුහූ සියල්ලෝම එතැනදී සිසුන් ම වූහ. සංස්කෘතික දැක්ම අවස්ථාවේදී ජපන් තරුණියෝ මුළු සභාවම තමන්ට නතු කර ගත්හ. ඉන්දුනිසියානුවෝ 'සතේ' හා 'ලම්පා' නමැති ඔවුන්ගේ රටේ කෙටි ආහාර විශේෂ පිළිගන්වා සැවොම රසවත් කළේය. ශ්‍රී ලාංකික සිසුහු ද උඩරට පහතරට සංස්කෘතික අංගවලින් සභාව කුල්මත් කළහ.

ඉන්දුනීසියානුවන් සිය රටේ භාෂා 600ක් වහරන බව සභාවේ දී ප්‍රකාශ කළේ සතුටිනි. ඒ ගැන ඔවුන් ආඩම්බරයෙන් පවසද්දී ද්වි භාෂා රටක ජීවත්වන මා සිතේ ඇති වූයේ මඳ දුකකි. සැබවින්ම එතැනදී අප දුටු සියල්ල අපට ආගන්තුකය. එතැනින් නික්ම එද්දී මා සිතේ ඇති වූයේ මා රටවල් කීපයක සංචාරය කර පැමිණියාක් වැනි හැඟීමකි.

"අපි සහජීවනය ගැන කතා කරනවා. රට ඇතුළේ සහජීවනය නැහැ කියනවා. කොහොමද එහෙම කියන්නේ අපි ජාත්‍යන්තරයත් එක්ක සහජීවනයෙන් වෙසෙන රටක්. අපි අනෙක් ජාතීන් සමග සහයෝගයෙන් සහජීවනයෙන් ඉන්නවා විතරක් නොවෙයි, අපි ඔවුන්ගේ සංස්කෘතියත් අගය කරනවා. එවන් පිළිගැනීමක් ලංකාවට ලැබීම ආර්ථික දේශපාලන වශයෙන් ද වැදගත් බව අමතක නොකළ යුතුයි. ඒත් අපි මේ අවස්ථාවෙ උත්සාහ දරන්නේ අනෙක් සංස්කෘතින්වලට ද අප ගරු කළ යුතු බව සමාජ ගත කිරීමටයි.

එක් එක් පීඨවල සිටින විදේශීය සිසුන් ගේ සංස්කෘතිය හඳුනාගනිමින් ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ සංස්කෘතියට ගරුකරන බව ඇඟවීම අපේ පරමාර්ථයයි. දැනුම මුල්කරගත් ආර්ථිකයේ දි බුද්ධිමය ප්‍රාග්ධනයට තමයි වැදගත් තැනක් හිමිවෙන්නේ . අපි ඒ අනුව සැකැසෙමින් අපට එවන් ප්‍රාග්ධනයක් හිමි බව ලෝකයට කිය යුතුයි. මේ සිසුන් තම රටවලට ගිහින් අපේ පණිවිඩය ඒ රටවල ප්‍රචලිත කරයි.

ඉන් අපේ කොළඹ විශ්වවිද්‍යාලය ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස ගෞරවයට පාත්‍ර වෙනවා. එය තව දුරටත් තහවුරු කර ගැනීමත් අත්දැකීම් හුවමාරු කර ගනිමින් අපේ සිසුන්ට ලෝකය වීවෘත කර දීමත් අපේ අරමුණයි." යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා අප හා අදහස් දක්වමින් පැවසීය.

එම අවස්ථාව අපට මිහිරි අත්දැකීමකි. ඒ මිහිරි අත්දැකීම සියලු ලක්වැසියන් භුක්ති විඳින දවසේ ඇත්තටම ලක්බිම සුරපුරක් වනු නියතයිි.

 

Comments