ලක්ෂ තුනක් වටිනා පාව­හන් යුගලක් තැනූ රණ­විරු පුතා | Page 2 | සිළුමිණ

ලක්ෂ තුනක් වටිනා පාව­හන් යුගලක් තැනූ රණ­විරු පුතා

කාන්තා පාවහන් යුවළක් රුපියල් තුන් ලක්ෂ දස දහසක මිලකට ‍අලෙවි වේ. පුවත් පතක පළවී තිබුණු මේ පුවත අපට විමතියක් ගෙන ආවේය. දහ අට හැවිරිදි ශ්‍රව්‍යාබාධිත තරුණයකු වන අශේන් වන්නිආරච්චි විසින් සාදන ලද පාවහන් යුගලක් මේ තරම් විශේෂ වූයේ කුමක් නිසාදැයි අපි සෙවීමු. ඒ ඔස්සේ අපට දැන ගන්නට ලැබුණු කතාව පිටු පස තවත් කතා ගොන්නක්ම ඇත්තේය.

අශේන් ඉෂාර උදයංග වන්නි ආරච්චි උපදින්නේ 1999 වසරේදීය . ඔහුගේ පියා ක්‍රියාන්විතයේදි ආබාධිත බවට ලක් වුයේය. ඒ ‍අශේන් මවු කුස පිළිසිඳ සිටියදීය. කෙසේ වෙතත් අශේන් මෙලොවට බිහි වන්නේ ශ්‍රව්‍යාබාධිත දරුවකු ලෙස වුවද කිසිවකුවත් ඔහු අත්හැර නොදැමූහ. මේ අත් හැර නොදැමීම නිසාම ඔහුට ජීවිතය ගොඩ නඟා ගැනීමට ස්වයංව නැඟී සිටිමට ශක්තිය ලැබුණේය. පවුලේ වැඩිමලා වු අශේන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන රණවිරු සේවා අධිකාරිය හා ක්‍රියාත්මක වන සෙනෙහස අධ්‍යාපන හා සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයට ඇතුළත් වී වෙනස්ම ගමනක් යන්නට වුයේය . ඒ ගමනේ අවසානය වු‍ෙණ් අශේන් ස්වාධිනව නැඟී සිටිමය.

මෙහිදි අශේන්ගේ පුහුණුකරු වුයේ දේශ රණසිංහ මහතාය. 'ඩෙරී ෂූස් 'ආයතනයේ පුර්ණ අනුග්‍රහය ඇතිව අශේන් ඇතුළු තවත් දාසය දෙනෙකුට වෘත්තිය පුහුණුව ලබා දෙන ලදී. ඒ පුහුණුවේ ප්‍රතිඵලය වුයේ අශේන් ශිල්පය හොඳින් ප්‍රගුණ කිරීමය. ඔහු තම දැනුම අවබෝධය මෙන්ම කුසලතාව ද පෙරට ගෙන කාන්තා පාවහන් යුගලක් නිෂ්පාදනය කළේය . ඉකුත් දා සෙනෙහස ආයතනයේ පැවැති උත්සවයකදී මෙම පාවහන් යුගල රුපියල් තුන් ලක්ෂ දස දහසක මුදලකට අලෙවි වුයේය . මෙම මිලදී ගැනීම කරන ලද්දේ මෙම ආයතනයේ ඉගෙනුම ලබන දරුවන්ට දිරි දීමක් වශයෙන් එම දරුවන්ගේ මවුපියන් විසින් වීම වි‍ශේෂිතය.

මේ පිළිබඳව අදහස් දක්වන සෙනෙහස අධ්‍යාපන හා සම්පත් ආයතනයේ ප්‍රධානී ලුතිනන් කර්නල් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“මෙම පාවහන් යුගල සඳහා උසස්ම අමුද්‍රව්‍ය යොදා තිබෙන්නේ. ඒ වගේම පාවහන් යුවළ සඳහා මාස හයක වගකීමක් තිබෙනවා. අශේන් කියන්නේ යුද්ධයෙන් බිහි වු දරුවෙක්. ඔහුගේ ආබාධිත බවට යුද්ධය බලපාලා තියෙනවා. රණවිරු පවුල්වල සිටින මෙවැනි දරුවන් රැක බලා ගැනීම අපේ වගකීමක් යුතුකමක්. ඒ යුතුකම ඉටු කිරීමට තමයි අනෝමා ෆොන්සේකා මහත්මිය රණවිරු සේවා අධිකාරිය හරහා සෙනෙහස අධ්‍යාපන හා සම්පත් ආයතනය ආරම්භ කළේ. අද වන විට අපේ අශේන්ට ‍හොඳ වටිනාකමක් තිබෙනවා. 'ඩෙරි ෂුස් ' ආයතනය අපට දන්වා තිබෙනවා අප කියන වැටුපකට අශේන්ගේ සේවාව ඔවුන් ලබා ගැනීමට සුදානම් බව. ඒ වගේ අශේන් අපත් සමඟ පවසන්නේ ඉදිරියේදී අශේන් නමින් පාවහන් ව්‍යාපාරයක් පවත්වා ගෙන යෑමට සුදානම් බවයි. අද අපට විශාල සතුටක් දැනෙනවා .මෙවැනි දරුවෙකුට ස්වඋත්සාහයෙන් නැඟී සිටිමට අවස්ථාව ලබාදීමට පුළුවන් වීම ගැන. ඒ වගේම මෙම ආයතනයේදී රණවිරු පවුල් වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මෙන්ම සාමාන්‍ය පවුල්වල දරුවන්ටත් අප ආයතනය සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා. මෙම පාවහන් යුගල අලෙවි කීරීමෙන් ලද මුදලින් අශේන් සඳහා යම් මුදලක් වෙන් කළ අතර ඉතිරිය ආයතනයේ සුබ සාධන කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. ”ඒ වගේම කොළඹින් බැහැර ප්‍රදේශවලදි මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබාදීමට කටයුතු කරන බවද තම ආයතනයෙන් කෙරෙන සේවා පිළිබඳව ලුතිනන් කර්නල් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා එසේ පවසන්නේය.

කෙසේ වෙතත් අශේන් තරුණයා සිටින්නේ තමන් ලද ජයග්‍රහණය පිළිබඳව සතුටිනි. යුද්ධයෙන් ආබාධිත වු පියාගේ වැටුපෙන් පමණක් යැපෙන තම පවුල නංගිලා දෙදෙනාගේ අනාගතය සියල්ල සුරක්ෂිත කිරීමේ හැකියාව තමන්ට ඇතැයි ඔහු සිතන්නේය . ඔහු සැබැවින්ම මෙම ආයතනයට තුති පුදන්නේය . ඒ තුති පිදීමේ අරුමය අප දුටුවේ ඔහුගේ දෑතින් නිම කළ අගනා පාවහන් යුගල වැඩිම මිලට අලෙවි වුදා ඒ දෑසේ නැගී සතුටු කඳුළු දැකීමෙනි.

යුද්ධයෙන් ආබාධිත වූ රණවිරු පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වෘත්තීය පුහුණුව හා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දීමේ අරමුණින් සෙනෙහස ආයතනය පනාගොඩ යුද හමුදා ජනපදයේ දී ආරම්භ කෙරුණේ 2006 වසරේදීය. මුලින්ම දරුවන් සිවු දෙනකුගෙන් ආරම්භ වූ මේ ආයතනය අද වනවිට දරුවන් විශාල සංඛ්‍යාවකට වෘත්තීය පුහුණුව ලබාදී ඇත්තේය.

 

Comments

පිටු