මිනිසුන්ගේ සිතිවිලි වෙනස් නොකර ගබ්සාව නීති­ගත කිරී­මෙන් පලක් නෑ | Page 2 | සිළුමිණ

මිනිසුන්ගේ සිතිවිලි වෙනස් නොකර ගබ්සාව නීති­ගත කිරී­මෙන් පලක් නෑ

 ආචාර්ය කෝකිලා ලංකාතිලක

ගබ්සාව නිතිගත කිරීම පිළිබඳ නැවත සාකච්ඡා වෙමින් පවති. ඒ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කෝකිලා ලංකාතිලක සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකැසෙයි.

මුහුදේ රළ නැගෙන්නා සේ වරින් වර ගබ්සාව නීතිගත කළ යුතු යැයි හඬ නැගිණ. ඒ සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි. එහි නිර්දේශ වී ඇත්තේ ව්‍යාභිචාර හෝ ස්ත්‍රි දූෂණ හේතුවෙන් වින්දිතයෙකු වන අවු 16 අඩු දැරියන්ගේ ගර්භනී භාවය අවසන්කීරිමට හා කළල දුබලතා සහිත අවස්ථාවකදි ගර්භනි භාවය අවසන් කරගැනීමට හැකිවන සේ දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නීති විධාන සංග්‍රහයට සංශෝධන ගෙන ආ යුතුය යන්නයි.

මේ වන විට දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තියෙන් මවගේ ජීවිතය ආරක්ෂා කිරීමට හැර ගබ්සාව හා ගර්භනී භාවය අවසන් කිරිම බරපතල අපරාධයක් සේ සැලකේ. වරින් වර කතා කෙරුණද අඛණ්ඩව කතිකාවක් ගොඩනැගී නොමැති බැවින් මේ කරුණ සම්බන්ධයෙන් නිති සම්පාදනය කළ ද එය සමජය තුළ ස්ථාපිත නොවනු ඇත. මිනිසුන්ගේ සිතිවිලි සකස් නොකොට දේශපාලන අවශ්‍යතා මත නීති සම්පාදනය යෝග්‍ය නොවේ.

1970 දශකයේ සිට මේ දක්වා ගබ්සාව නීතිගත කළ යුතු යැයි කතා කෙරුණ ද ප්‍රධාන වශයෙන් විද්වත් කතිකාව තුළ අවධානය යොමු කෙරුණේ නෛතික හා නෛතික නොවන හා ආරක්ෂිත හා ආරක්ෂිත නොවන සෞඛ්‍ය හේතූන් මත ගබ්සාව සඳහා යොමු වීම පිළිබඳවය. මෙහිදී අවධානය යොමු වන්නේ සමස්ත ගැටලුවෙන් 15% පිළිබඳවය. එහෙත් ගැටලු වෙන් 75% ආවරණය වන්නේ ‍දේශපාලන, සමාජ, සංස්කෘතික, ආගමික අංශයන් වෙතිනි.

ගබ්සාව සඳහා නීති සම්පාදනයේ දී සං ස්කෘතික හා සමාජිය කරුනු නොසලකා හැරිය නොහැක. නීතිමය කතිකාවකට යාමට පෙර තිරණ ගන්නා ස්ථානයන් හි මේ පිළිබඳ සාකච්ඡා කිරිම වැදගත් වේ. එසේ නොකොට ආගම සදාචාරය වැඩක් නැතැයි නෙසලකා හැරීම නොකල යුතුය. ගබ්සාව ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ විශාල වරදක් ලෙස දකී. එමෙන්ම මුස්ලිම් හා කතෝලික ආගමික මත වාදයන්යට අනුව ගබ්සාව සිදු නොකළ යුත්තකි. බෞද්ධ දර්ශනයට අනුව ප්‍රාණගාතය අකුසලයකි. එබැවින් ගබ්සාව නීතිගත කිරීමේදී බෞද්ධ රටක් ලෙස වි‍ශේෂ අවධානයක් යොමු කළ යුතුවේ.

ශ්‍රී ලංකාවේ මාතෘ මරණ සංඛ්‍යාව දකුණු ආසියාවේ අනෙක් රටවල් හා සසඳද්දි අවම අගයක් ගනී. ලංකාවේ ක්‍රමිකව වර්ධනය වූ ළමා හා මාතෘ සායන ක්‍රමය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති ඊට හේතුවිය. අනාරක්ෂිත ගබ්සා වල දී මාතෘ මරණ විශාල සංඛ්‍යාවක් සිදවන්නේද යන්න පිළිබඳ නිශ්චිත අවධානයක් යොමු කළ යුතුවේ. එහෙත් ඒ සඳහා සංඛ්‍යා ලේඛණ දත්ත සොයා ගැනීම පහසු නොවේ. මක්නිසාද යත් ලංකාව තුළ සිදුවන නීත්‍යානූකූල නොවන ගබ්සා සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නේයැයි වාර්තා වන බැවිනි.

ශ්‍රී ලංකාවේ ගබ්සාවට යොමුවන්නේ ව්‍යභීචාරය හේතුවෙන් හෝ ස්ත්‍රිදුෂණය හේතුවෙන් ගැබ් ගන්නා කාන්තාවන් පමණක් නොවේ. නීත්‍යානුකූල විවාහය තුළ තමන්ට ලැබෙන්නට සිටින දරුවා ගබ්සා කොට මාතෘත්ත්වය අවසන් කර ගන්නෝ ද සිටිති. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අංශ පවුල් සැලැසුම් පිළිබඳ පුළුල් දැනුවත් කිරිමක් කළ ද අනවශ්‍ය ගැබ්ගැනීම් සඳහා කාන්තාවන් ගොදුරුවන්නේ මක් නිසාද යන්න පිළිබඳ නැවත විමසා බැලිය යුතු වේ.

මේ තත්තවයන් මඟ හරවා ගැනීම සඳහා දරුවන්ට කුඩා කල සිටම ලිංගික දැනුම ක්‍රමානුකූලව ලබාදිය යුතුය. එය පාසල් අධ්‍යාපනය ඔස්සේ ක්‍රමානුකූලව කළ යුතු අතර ඉන් තවත් වාසි දෙකක් සැලැසේ. ඉන් එකක් වන්නේ දරු දැරියන් අනවශ්‍ය ලෙස අපයෝජනයට ලක්වීම වළක්වා ගතහැකි වීමයි. අනෙක දැරියන් ව්‍යභිචාරයන්ට ‍ගොදුරු වීම පාලනය කර ගත හැකි වීමයි. එහෙත් මේහි හොඳ මෙන්ම නරක ප්‍රතිපලද තිබේ. ගැහැනු දරුවකු වැඩිවිය පත් විගස තමන් මවක් වීමට ඇති හැකියාව හා ලිංගික කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් ලබාදීම ඉතා වැදගත්ය.

ව්‍යභිචාරය හා ස්ත්‍රි දුෂණය ලංකාවේ අපරාධ නීතිය තුළ බරපතල වැරැදි වේ. ඒවා පාලනයට හෝ වළක්වාලීමට තදබල නීති සම්පාදනයට හෝ පවත්නා නීති බලාත්මක කිරීමට කටයුතු නොකෙට හා එය වැළැක්වීමට සමාජ කතිකාවක් ගොඩනොනගා කාන්තාවන්ට හා දැරියන්ට තම ගැබ ඉවත් කරගැනීමට නීතියෙන් ඉඩ සලසා දීම කටයුතු කිරීම යෝග්‍ය නොවේ. උදාහරණයක් ලෙස දුම් බීමවළක්වා ලීම සඳහා ලංකාවේ දශකයක පමණ කාලයක් තුළ ගොඩනගන ලද සමාජ කතිකාව මෙන් ප්‍රබල සමාජ කතිකාවක් ගබ්සාව, ස්ත්‍රි දූෂණය හා ව්‍යභිචාරය වෙනුවෙන් ද ගොඩනැගීමේ අවශ්‍යතාව පවතී.

වර්තමානයේ පවත්නා වෛද්‍යමය හා තාක්ෂණික දියුණුව භාවිත කරමින් මානසිකව හා ශාරීරික නොවැඩුණු දරුවන් හා රෝගි දරුවන් මෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වය සලකා කළල අවස්ථාවට පෙර (early dignosis of feature malformation) ඉවත් කරීමේ ක්‍රමවේදයන් පවති. එම තාක්ෂණය හා වෛද්‍ය ක්‍රමවේද අප රටක් ලෙස භාවිත කිරීම මවගේ, සමාජයේ යහපතට හේතුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන ලද සති නවයක් තුළ භාවිත කිරීමෙන් කළල අවස්ථාවට පෙර ගැබ ඉවත්කිරීමේ ඖෂධ පවතී. ඒවා භාවිත කිරීමෙන් 95% ප්‍රතිපල ලැබිය හැකි ය. නීති සම්පාදනයට පෙර එවන් විකල්ප කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්වේ.

කෙසේ වුවද ගබ්සාව නීතිගත කළද එය අවසන් විකල්පය විය යුතුය. එසේ නොවි ගබ්සාව නීතිගත වූ විට එය සමාජය තුළ ප්‍රථම විකල්පය නො‍වේ යැයි කීමට රජය, අධිකරණ අමාත්‍ය වරයා, හෝ නීති සම්පාදනය කරනු ලබන ආයතනදෙනු ලබන සහතිකය කුමක්ද යන්න පිළිබඳ ශ්‍රී ලාංකේය සමාජය අවධාරණයෙන් බලා සීටී. කොතරම් නීති රට තුළ පැවැතියද එවායෙන් රිංගා යන මිනිසුන් කාන්තාවන් අපහරණය සඳහා ගබ්සාව නීතිගත කිරීම මගින් වන නෛතික අයිතිය භාවිත කරනු ඇත. අනවශ්‍ය ගැබ් ගැනීමකදී මාතෘත්ත්වයෙන් නිදහස්වීම කාන්තාවකගේඅයිතියකි. එහෙත් ව්‍යභිචාරයේ දි හෝ ස්ත්‍රී දුෂණයේ දී හැර අනෙක් සෑම අවස්ථාවකදීම ඒ සඳහා විකල්ප හා ආරක්ෂිත ක්‍රමවේදයන් තිබේ. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වටී.

 

Comments