ජරාජීර්ණව තිබූ ගුවන්විදුලිය අද පිරිසුදුයි: ලාබයි | Page 9 | සිළුමිණ

ජරාජීර්ණව තිබූ ගුවන්විදුලිය අද පිරිසුදුයි: ලාබයි

පසුගිය දා පැවැති රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලෙළේදී ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව සුවිශේෂි ජයග්‍රහණ රැසක් අත්පත්කර ගැනීමට සමත් වුයේය. පිරිනැමුණු සම්මාන ගණනින් අඩකටත් වැඩා දිනා ගත්තේ ගුවන් විදුලි සංස්ථාවයි. යුගයක් බැබළවු ශ්‍රී ලංකා ගුවන් විදුලිය කලක් මහජනතාවගෙන් ඈත්ව තිබුණේය. නමුදු දැන් තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවති. විවිධ ගුවන් විදුලි නාලිකා විසින් ගුවන් විදුලි ශ්‍රාවකයන් තම තමන්ගේ ග්‍රහණයට හසුකරගනිමින් සිටින යුගයක ගුවන් විදුලි මහ ගෙදර ලැබූ ජයග්‍රහණය පිළිබඳ විමසන්නට අද අප සමඟ එක් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නිතීඥ නන්ද මුරුත්තෙට්ටුව මහතාය.

යුග ගණනාවක් ගුවන් විදුලිය සමඟ රැඳීසිටි ශ්‍රාවකයෝ කලක් ගුවන් විදුලියෙන් ඈත්ව සිටි තත්ත්වයක් පැහැදිලිවම දකින්නට ලැබුණු දෙයක්. අද වන විට ඔබට පුළුවන් වී තිබෙනවා ද මේ තත්වය යම් පමණකට වෙනස් කිරීමට.

2015 ජනවාරි 08 ට පෙර ඒ කියන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට පෙර ජාතික ගුවන් විදුලිය පිළිබඳ ජනතාව තුළ තිබුණ මතය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. උදෑසනට ජාතික ගුවන් විදුලියෙන් යම් යම් හඬ ඇසෙන විට ගුවන් විදුලිය වසා දමන්න ‍අසන්නා පෙලඹි සිටියා. කොටින්ම කිව්වොත් ජනතාවගේ සුබ සාධනයට, රස වින්දනය, දැනුම ලැබීමට තිබු ගුවන් කාලයය තමයි දේශපාන ඕනෑ එපාකම් සඳහා ඒ යුගයේ ප්‍රයෝජනයට ගෙන තිබුණේ.

ඒ යුගයේ ගුවන්විදුලිය මහින්ද කරණය වෙලා තිබුණේ. කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ මේ ආයතනය ලාභ උපයන ආයතනයක් කිරීමට. කඩාවැටිලා තිබුණ ආයතනයක් තමයි අපට භාර ගන්නට සිදු වුණේ.

ඔබ සභාපතිධුරය භාර ගන්නා විට කඩා වැටිලා තිබුණ ගුවන් විදුලියේ අද තත්ත්වය කෙබදුද?

මම පැහැදිලිවම මේ දේ කියනවා . අද වන විට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා ශ්‍රි ලංකා ගුවන් විදුලිය දේශපාලනීකරණයෙන් තොර ආයතනයක් බවට පත්කිරීමට. ජාති ආගම් බේද වපුරන්නේ නැති ව ජනතාව කෑලි කෑලිවලට බෙදා වෙන් කරන ගුවන් විදුලියක් වෙනුවට ජාතික සමඟිය වඩන ගුවන් විදුලියක් බිහිකිරීමට අපට පුළුවන්කමක් ලැබී තියෙනවා. ඒ වගේම ගුවන් විදුලි පරිසරය බොහෝම අපිරිසුදු වෙලා තිබුණේ. ඇතැම් ගුවන් විදුලි මැදිරි කුණු දූවිලි වැටිලා මකුළු දැල් බැඳි ජරාජීර්ණ වෙලා තිබුණේ. අද ගුවන් විදුලියේ කොරිඩෝ දිගේ ප්‍රිය මනාපව ඇවිද ගෙන යන්න පුළුවන්කම තියෙනවා.‍

කාලයක් තිබුණා ගුවන් විදුලිය කලාකරුවන්ගෙන් , විද්වතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් වියුක්ත වෙච්ච. ජාතියටම මඟ පෙන්වපු ජීවය දුන්න යතිවරුන් ගුවන් විදුලියට පය නොතිබු යුගයක් තිබුණේ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඒ වගේම සේවකයන්ට නිදහසේ සේවය කරන්න පුළුවන්කම තියෙනවා.

අපේ රටේ මොන තරම් ගුවන් විදුලි නාලිකා තිබුණත් අත්දැකිමෙන් මෙන්ම භෞතික සම්පත් වලින් තවමත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොහොසත්. නමුත් මේවායින් ගුවන් විදුලිය උපරිම ප්‍රයෝජන ලබාගන්නවාද?

දකුණු ආසියාවේ හොඳම ගුවන් විදුලි මැදිරි තිබුණේ අපට. නමුත් මේ මැදිරි දිරාපත් වෙලා තිබුණේ. අද වන විට සංරක්ෂණය කරලා හොඳම යන්ත්‍රෝපකරණවලින් සවිබල ගන්වා හොඳම මැදිරි බවට පත්කරලා තියෙනවා. ජාතික ගුවන් විදුලියට තිබෙනවා හැටකට ආසන්න සාමාජිකයන් පිරිසක් සහිත වාදක මණ්ඩලයක්. ඉදිරියේ දී මේ වාදක මණ්ඩලයෙන් ආදායම් ඉපැයිමේ වැඩ පිළිවෙළක් ඇති කිරිමේ කටයුතු අරඹා තිබෙනවා. පසුගිය කාලයේ මෙහි තිබු ඇතැම් සංගීත භාණ්ඩ තැන් තැන්වල අතහැර දමා තිබුණා. දූවිලි වැදිලා විනාශවී ගොස් තිබුණේ.

එවැනි එක් භාණ්ඩයක් තමයි වෛයිබ්‍රෆෝන් නම් භාණ්ඩය. මේ භාණ්ඩය වාදනය කරන්න දන්න ශිල්පියෙක් අද ගුවන් විදුලියේ නැහැ. මේ සම්බන්ධව කලක් ගුවන් විදුලියේ සේවය කළ ටියුලින් ජයරත්න මහත්මයාව අපි නැවත ගෙන්නුවා. ඔහු දැන් මෙය සංගීත අංශයේ ශිල්පීන්ට උගන්වනවා. ඒ වගේම පැත්තකට දමා තිබූ තවත් සංගීත භාණ්ඩයක් තමයි ඔරැන්ගල් එක. ඒ භාණ්ඩය වාදනය කරන්න දන්න නාවික හමුදාවේ සිටි විශ්‍රාමික ශිල්පියකු අපි ගෙන්නුවා. ඔහු ඒ භාණ්ඩයේ දුවිලි පිසදමා අපට වාදනය කර පෙන්නුවා. මේ සංගීත භාණ්ඩ දශක දෙක තුනකට වැඩි කාලයක් ඉවත දමා තිබු ඒවා. ඉදිරියේ දි ගුවන් විදුලියේ තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමත් අසන්නන්ට හොඳ සේවාවක් ලබා දීමයි අපේ අරමුණ.

හැට හැත්තෑව දශක වල ගුවන් විදුලියෙන් බිහි වූ ගීත තමයි අදටත් අප රස විදින්නේ. එතනින් එහා හොඳ ගීත සාහිත්‍යයක් බිහි කිරිමේ වගකීම අද වන විට ජාතික ගුවන් විදුලිය පැහැර හැරලා ද?

නැහැ. කිසිසේත්ම නැහැ. ගීත බැංකුව යළිත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කටහඩ පරීක්ෂණයෙන් සමත් වී සිටින නවක ගායක ගායිකාවන්ට සරල ගී ගැයිමට අවස්ථාව, ඒවා පටිගත කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. එහි ආරම්භයක් ලෙස ගුවන් විදුලියට භාර දෙන නව ගීත ප්‍රචාරය කිරිමත් අවම වශයෙන් ඒවා ප්‍රචාරය වන වේලාවල් පිළිබඳ ඒ නිර්මාණ ශිල්පියාට පස් වතාවක්වත් දැනුම් දෙන්න යැයි කියා මම දන්වා තිබෙනවා. මොකද ජාතික ගුවන් විදුලිය කියන්නේ ගායකයාගේ හෝ ඒ නිර්මාණ ශීල්පියාගෙන් මුදල් අරගෙන ඔවුන්ගේ නිර්මාණ ප්‍රචාරය කරන ගුවන් විදුලි නාලිකාවක් නොවෙයි. සැබැවින්ම අපි යළිත් හොඳ ගීත සාහිත්‍යයක් බිහිකිරීමේ සංගීත සාහිත්‍යයක් බිහි කිරීමේ යුතුකම ඉටු කරනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලියට ලෝකයේ ඕනෑම රටකට ගුවන් විදුලි විකාශයන් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා නේද? එයින් ප්‍රයෝජන ගැනීමට නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙනවා ද?

ජාතික ගුවන් විදුලියට අ‍ෙමරිකාව කැනඩාව සහ ඒ තීරයේ රටවල් හැරුණ විට අනිකුත් සියලුම රටවල් වලට විකාශනය කිරිමේ හැකියාව තිබෙනවා. අද වන විට අප ලෝකයේ විවිධ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා මේ සම්පත මුදල් කිරිමේ හැකියාව පිළිබඳ. දැනටමත් අප ඉන්දියාව ප්‍රධාන ආසියාතික රටවල් කිහිපයකට , ලෝකයේ වෙනත් සංවිධාන හා ආයතන වලවැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. මෙයින් අපි විශාල මුදලක් උපයනවා.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි, භාෂාවන්ගෙන් හැරුණ විට තෙළිඟු, මලයාලම්, කණ්ණඩ, හින්දු යන භාෂාවලින් ප්‍රාචාරය වන වැඩසටහන් සහිත ගුවන් විදුලි නාලිකාවක් තිබෙන්නේ අපට පමණයි. මෙය තවත් පුළුල් කිරිමයි අපේ අදහස.

පසුගිය කාලේ ගුවන් විදුලි සේවකයෝ මෙන්ම රටේ විදුවතුන් දේශපාලනඥයෝ පවා කිව්වේ ගවන් විදුලිය වැටිලා , පාඩුයි, ලාභ උපයන්නේ නැහැ කියලා. ඔය කියන විදිහට දැන් ගුවන් විදුලිය ලාභ උපයන ආයතනයක් බව‍ට පත්වෙලා ද?

පැහැදිලිවම ඔව් . දැන් ගුවන් විදුලිය ලාභ උපයනවා. කොටින්ම කිව්වොත් අද ගුවන් විදුලිය කියන්නේ මහජන මුදලින් තව දුරටත් යැපෙන ආයතනයක් නොවෙයි. මේ වන විට අප පසුගිය වසරවල තිබූ මහා ණය කන්ද ගෙවා අවසානයි. මේ යහපාලන කාලය තුළ සියලුම බදු මුදල් සහ අනෙකුත් ණය මුදල් ගෙවා අවසාන කිරීමට අපට පුළුවන්කම ලැබී තියෙනවා. දැන් අපේ අරමුණ ආදායම වැඩිකිරීම සඳහා ගුවන් කාලය අලෙවි කර ලබා ගන්නා ආදායමට අමතරව අනෙකුත් සම්පත් ප්‍රයෝජනයට ගෙන ගුවන් විදුලියේ වියදම පියවීමට මුදල් සෙවීමයි.

මම මෙහිදි අනෙකුත් වියදම් යනුවෙන් අදහස් කළේ ගුවන් විදුලියේ විදුලි බිලයි. ‍මේ වන විට ගුවන් විදුලිය එක් මසකට විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයත් අතර මුදලක් ගෙවනවා. මේ තරම් විශාල මුදලක් වැය වන්නේ විකාශන කටයුතු සඳහා විශාල මුදලක් වැය වෙන නිසයි. මීට විසඳුමක් ලෙස විදුලිබල අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා සුර්ය බලය සමඟ නිපදවා විදුලිය සඳහා ගෙවන මුදල් ප්‍රමාණය අවම කරගැනීමට කටයුතු කරමින් සිටින්නේ. මෙයින් අපට වසරකට රුපියල් මිලියන 100ක් පමණ ඉතිරි කරගන්නට පුළුවන්කම ලැබේවී කියලා හිතනවා.

පසුගියදා පැවැති රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් ලැබුණේ ශ්‍රීලංකා ගුවන් විදුලියට. ඉතින් ගුවන් විදුලියේ ඉදිරි ගමන කෙබඳුද?

ජාතික ගුවන් විදුලිය කියන්නේ ආසියාවේ පළමු ගුවන් විදුලිය වගේම ලෝකයේ තුන්වැනි ගුවන් විදුලිය. අපේ ගුවන් විදුලියට අවුරුදු අනු දෙකක් වයසයි. යළිත් ජනතාව අතර සිටින අපේ ගුවන් විදුලියට රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උලෙළේ දී මේසා සම්මාන ලැබීම අපට ආඩම්බරයක්. මෙහිදී මම මෙවැනි උත්සවයක් සංවිධානය කළ රජයට, ජනමාධ්‍ය ඇමතිතුමාට මෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුවට එහි අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මැතිනිය මෙන්ම මේ වෙනුවෙන් ඇප කැපවු සියලු දෙනාට මගේ ස්තුතිය ගෞවරවය පුදකරනවා.

අද වන විට අපේ රටේ විශාල ගුවන් විදුලි නාළිකා ප්‍රමාණයක් තිබෙනවා.නමුත් පසුගියදා පැවැති සම්මාන උලළේ දී ගුවන් විදුලියේ සැබැ ස්වරූපය මේ රටේ ජනතාව දැන ගත්තා. ජාතික ගුවන් විදුලිය තමයි කවදත් ගුවන් විදුලි නාට්‍ය වලින් ඉදිරියෙන් සිටියේ . භාෂාව උච්චාරණය කිරිම ශබ්ද කිරිම වගේම තෝරා බේරාගෙන භාෂාව හැසිරිම ගුවන් විදුලියේ රිතියක්.

මොන මොන ගුවන් විදුලි නාලිකා තිබුණත් මේ ගුණාත්මක බව නිසා තමයි අදටත් ඕනෑම රාජ්‍ය නොවන උත්සව වලට ගුවන් විදුලියෙන් නිවේදක නිවේදිකාවන් ගන්නේ. එදා ළමා පිටියෙන් බිහි වු අය අද හොඳ නිර්මාණකරුවන් වී සිටිනවා. යළිත් එවැනි යුගයක් ඇරැඹීම සඳහා අප වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. ගුවන් විදුලි නාට්‍ය අංශයට ශිල්පීන් බඳවා ගැනීමට කටයුතු කරනවා. අද පුහුණු ශිල්පීන්ගේ අඩුවක් තිබෙනවා. ‍මේ අඩුව පිරවීමට ගුවන් විදුලි පුහුණුආයතනය හා මාධ්‍ය ඇකඩමියක් තිබෙනවා.

මෙහිදි ඉංජිනේරු ක්ෂේත්‍රය, නිෂ්පාදන ‍ක්ෂේතය, නාට්‍ය ‍ක්ෂේත්‍රය,ප්‍රවෘත්ති ආදි අංශවලින් සුළු මුදලක් ගෙවා පුහුණු වීමට අවස්ථාව සලසා තිබෙනවා. ප්‍රාදේශීයව සිටින එවැනි හැකියාවන් ඇති අයට කොත්මගේ ගුවන්විදුලියේ දී පුහුණු වීමට අවස්ථාව තිබෙනවා. මේ පිළිබඳ ගුවන් විදුලි සංස්ථාවෙන් තොරතුරු ලබා ගන්නට පුළුවන්. අපේ අරමුණ අපේක්ෂාව ශ්‍රී ලංකා ගුවන් විදුලිය ජනතාවට බලෙන් අස්සන ගුවන් විදුලියක් නොකර ජනතාව අහන ගුවන් විදුලියක් බවට පත්කිරීමයි.

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

Comments

We see new horizons in the SLBC under its new chairman. We hope he has the capability of steering the SLBC towards another golden era. We still remember the heyday under Messrs Neville Jayaweera and Ridgeway Thilakaratne.

පිටු