යටත් විජිතවාදීන් මෙරට බටහිර සංස්කෘතිය පැළපදියම් කිරීමට තැත්දැරූ සමයක නිදහස් අරගලය ඔස්සේ ඉදිරියට පැමිණි සිංහල බෞද්ධ නායකයන් මෙරට අනාගත පුරවැසියා තැනීමේ මහඟු කාර්යය ආරම්භ කළේ බෞද්ධ අධ්‍යාපනයෙනි. ඒ අනුව විද්‍යාලංකාර පිරිවෙන මුල්කර ගනිමින් 1875 දී විදුලකර විශ්වවිද්‍යාලය ඇරඹි අතර, පෑලියගොඩ විද්‍යාලංකාර සංඝ සභාව ‘ගුරුකුලය’ නමින් පිරිවෙන් භූමිය තුළ ඉංග්‍රීසි මාධ්‍ය මිශ්‍ර පාසලක් ආරම්භ කළේ 1948 වසරේ ජූලි මස පළමු වැනිදාය.
නිදහස් සටනට අභීතව නායකත්වය දුන් යක්කඩුවේ පඤ්ඤාරාම, රත්මලානේ ධර්මාරාම, නාත්තන්ඩියේ පඤ්ඤාකර, කිරිවන්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර, කොටහේනේ පඤ්ඤකිත්ති, බැඹරැන්දේ සිරිසීවලී ආදී මහ සඟරුවනගේ අරමුණ වූයේ අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවූ බෞද්ධ සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් අනාගත පරපුරක් බිහි කිරීමය. ගිහි පැවිදි ශිෂ්‍යයන් 14 දෙනකුගෙන් ආරම්භ වූ ගුරුකුලය, 1961දී රජයේ පාසලක් බවට පත්විය. වර්ෂ 1964 දී එම විද්‍යාලය කැලණිය දුම්රියපොළ පාරේ පත්තායම්වත්ත නමින් හඳුන්වනු ලැබූ වත්මන් භූමියේ ස්ථාපිත විය. එදා ටකරන් සෙවිලි කළ ඒ කුඩා පාසලේ පළමු විදුහල්පතිවරයා වූයේ බී. ජේ. ප්‍රනාන්දු ය. 1996 ජූලි 26 වැනිදා ජාතික පාසලක් බවට පත්ව භෞතික සහ මානව සම්පත්වලින් පොහොසත් වූ ගුරුකුල මාතාවගේ ගුණනැණ සුරුවිරුකම්වලින් පෝෂිත පුරවැසියන් බිහිකිරීමේ අභිමානවත් ඉතිහාසයට 2023 වසරේදී හැත්තෑපස් වසක් සපිරුණි.
75 වසරක් පුරා රටට වැඩදායි විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් බිහි කළ අපූරු විද්‍යාගාරයක් බඳු ගුරුකුල මාතාව විසල් කලා පරපුරක් ද දැයට දායාද කර ඇත. වරක් ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගුරුකුලය හැඳින් වූයේ ‘හෙළදිව කලා කෙත’ නමිනි. හෙළයේ මහා නිළි රැජන මාලනී ෆොන්සේකා ඇතුළු රංගන ශිල්පීන්, සංගීතඥයන් ඇතුළු කලාකරුවන් රැසක් ගුරුකුලයේ ආදි සිසුන්ය. බෞද්ධ සිරිත් විරිත්වලට සහ පිළිවෙත්වලට ද මුල්තැන දීම ගුරුකුල සම්ප්රදායේ වැදගත් ප්‍රතිපදාවක් වන අතර, සිසු ගුරු දෙපාර්ශ්වය එක්ව සිදු කරන පෙර පෝය වන්දනාව එදා මෙන් අදත් අඛණ්ඩව සිදු කෙරේ.
1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිදු කෙරෙන මිශ්‍ර පාසලක් වන ගුරුකුලයේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ මොහොතේ සිට දක්නට ඇත්තේ කලාකාමී සිතකට අවැසි මානසික ඒකාග්‍රතාව ඇතිකරවන තුරුලතාවලින් සුසැදි නිහඬ නිස්කලංක පරිසරයකි. 6 ශ්‍රේණියේ සිට සිංහල මාධ්‍යයට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද අධ්‍යයන කටයුතු සිදු කෙරෙන අතර, උසස් පෙළ කලා, වාණිජ සහ විද්‍යා විෂයය ධාරාවන්ගෙන් ක්‍රියාත්මක වේ.
2025 වන විට ශ්‍රී ලංකාවේ හොඳම මිශ්‍ර පාසල වීමේ අරමුණු පෙරදැරි කරගත් ගුරුකුල විද්‍යාලයට පරිපාලන නායකත්වය දෙනු ලබන්නේ වත්මන් විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු විසිනි. විදුහල්පති ඇතුළු සහකාර විදුහල්පතිවරුන් වන ධර්මවර්ධන අධිකාරි සහ එන්. රාජපක්ෂ, නියෝජ්‍ය විදුහල්පති චන්දිමා සිරිවර්ධන, 6 ශ්‍රේණි ප්‍රධානි අගුණකොළ වැව පදුම හිමි, 7 ශ්‍රේණි ප්‍රධානි මාවනැල්ලේ ඥානරංසි හිමි, 8 ශ්‍රේණි ප්‍රධානි දර්ශන මනුරංග, 9 ශ්‍රේණි ප්‍රධානී කතරගම පඥ්ඥානන්ද හිමි, 10 ශ්‍රේණි ප්‍රධානී හාලිඇල සාරද හිමි, 11 ශ්‍රේණි ප්‍රධානී, සහකාර විදුහල්පති මාවුස්සාගොල්ලේ මුදිත හිමි, උසස්පෙළ අංශ ප්‍රධානී සහකාර විදුහල්පති හූරිගස්වැව රතනපාල හිමි, බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක මන්දාරම් නුවර ධම්මාරාම හිමි, විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති දීපිකා වීරමන්, අධ්‍යාපන සංවර්ධන සහකාර විදුහල්පති ඩබ්.ඒ.එම්.තරංගි, විද්‍යා අංශ ප්‍රධානී එන්.එම්.නානායක්කාර, වාණිජ අංශ ප්‍රධානී සමන්තා සුනන්දනී සහ ප්‍රාථමික අංශ ප්‍රධානි සහකාර විදුහල්පති බී.ඒ.අයි.එන්.බාලසූරිය විදුහලේ කළමනාකරණ කමිටුව වශයෙන් කටයුතු කරති.
සිසුහු 3,109 දෙනකුගේ අධ්‍යාපන අපේක්ෂා මුඳුන් පමුණුවාලීම සඳහා කැපවීමෙන් කටයුතු කරන 146ක් වන ආචාර්ය මණ්ඩලයට සාමාජිකයන් 37දෙනකුගෙන් සමන්විත අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන්, ආදි ශිෂ්‍ය සංගමයෙන් සහ පාසල් සංවර්ධන සමිතියෙන් ලැබෙන්නේ ඉතා අගනා සහයකි. එම සහාය ජාතික මට්ටමේ විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සිසුන්ට විශාල රුකුලකි. වසර 2007 සිට 2021 දක්වා ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ අනිල් ගීතලාල් අබේගුණවර්ධන සිසුන්ගේ ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට සහ පාසලේ විනය ඉතා යහපත් මට්ටමක පවත්වාගෙන යෑම සඳහා විශාල සේවයක් ඉටු කර ඇත.
මෑතකාලීන විභාග ප්‍රතිඵල අතර, 2022 ශිෂ්‍යත්ව විභාගයට ගුරුකුල සිසුන් 112ක් පෙනී සිටි අතර, එයින් 35ක් සමත් විය. එහි ප්‍රතිශතය 31.25% කි. ලකුණු 70ට වඩා ගත් සිසුන්ගේ ප්‍රතිශතය 99.10ක් වන අතර, සමස්ත ප්‍රතිඵලය අනුව කැලණිය කොට්ඨාසයේ සියලුම පාසල් අතර ඉහළම ප්‍රතිඵල ලබාගත් පාසල වන්නේ ගුරුකුලයයි. එමෙන්ම කැලණි කලාපයේ දෙවැනි ස්ථානය ද ගුරුකුල විද්‍යාලයට හිමි විය. 2021 සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 350ක් පෙනී සිටි අතර, ඉන් සිසුහු 326ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූහ. සමත්වීමේ ප්‍රතිශතය 98% කි. A සාමර්ථ්‍යය 9ක් ලැබූ සිසුන් සංඛ්‍යා 42ක් සහ A සාමර්ථ්‍යය 8ක් ලැබූ සිසුන් සංඛ්‍යාව 30කි. සිසුන් 36ක් A සාමර්ථ්‍යය 7ක් ලබා ඇත.
කෙටි කලකින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවූ පාසලක් ලෙස කොට්ඨාසයේ පාසල් අතර ප්‍රකට වීමට ගුරුකුල විද්‍යාලයට හැකි වූයේ ඒ වෙනුවෙන් ගත් විශේෂ ක්‍රියාමාර්ග හේතුවෙනි. සා.පෙළ සිසුන් සඳහා අමතර ඉගැන්වීම් මෙන්ම එක් එක් විෂයයන් සඳහා එම විෂයය ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලැබූ දේශන සහ වැඩමුළු පැවැත්වීම මෙන්ම දුර්වල සිසුන්ගේ ගැටලු හඳුනාගෙන ඒ වෙනුවෙන් විශේෂ ප්රතිකාර්යය වැඩසටහන් ද පවත්වනු ලැබිණ. කොවිඩ් වසංගත සමයේදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදු කෙරුණු අතර, ඒ සඳහා සමස්ත සිසුන්ගෙන් 60%කට වැඩි පිරිසක් සහභාගි විය.
විශ්ව ගම්මානයට පියනැඟීමට පරිගණක තාක්ෂණ දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සිසු දරුවන් සන්නද්ධ කරන අතර, ගුරුකුලයේ සෑම දරුවකුටම කුමන හෝ ක්‍රීඩාවක නිරතවීමට අවස්ථාව සැලසීමෙන් කායික හා මානසික සුවතාව මෙන්ම සිසුන් තුළ එකමුතුකම, කණ්ඩායම් හැඟීම, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සහ පරාජය හමුවේ නැඟී සිටීමේ ධෛර්යය යනාදිය ගොඩනැඟීමට අපේක්ෂිතය. අසූව දශකයේදී ගුරුකුලයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් අතර, බස්නාහිර පළාත් පාසල් අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පෙරමුණ ගැනීමට සමත් වී ඇත. නලින් විජේසිංහ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරන අතර, පාසල තුළ මලල ක්‍රීඩා, ක්‍රිකට් බාලක බාලිකා, එල්ලේ, චෙස්, වූෂු, දැල් පන්දු, අත් පන්දු, පාපන්දු, ටේබල් ටෙනිස්, කරාතේ වශයෙන් ක්‍රීඩා 15කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. ජවන හා පිටිය තරගවලින් කැලණි කලාපයේ පාසල් අතර ගුරුකුලය ඉහළ මට්ටමක සිටී. බොක්සින් සහ අංගම්පොර සටන් පුහුණුව ද මෑත කාලයේදී හඳුන්වා දුන් අතර, ජීවිතයේ අභියෝගවලට එඩිතරව මුහුණ දීමට හැකි පෞරුෂයක් සිසුන් තුළ ගොඩනැඟීම එහි මූලික අරමුණයි. පාසලේ පෙරදිග සහ අපරදිග තූර්ය වාදක කණ්ඩායම් ද සුවිශේෂී දක්ෂතා දක්වති. විෂය බාහිර ක්‍රියාකාරකම් 18ක් විදුහල තුළ ක්‍රියාත්මක අතර, පරිසර නියමු, ශිෂ්‍ය භට, බාලදක්ෂ, ශාන්ත ජෝන් ගිලන් රථ සේවය, තාරකා විද්‍යාඥ සංගමය, බෞද්ධ සංගමය, සමාජ විද්‍යා සංගමය, නව නිපැයුම් කවය, ඵලදායිතා සංගමය, ඡායාරූප සංගමය, රිය නියාමක සංගමය, බලශක්ති සංගමය, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, ඉලෙක්ට්‍රොනික් සමාජය, යුනෙස්කෝ සමාජය, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, ජීවිතය වෙනස් කරන දේශන, සෞඛය හා පෝෂණ වැඩසටහන සහ මානව පුස්තකාලය ඊට අයත් වේ.
විද්‍යාලයේ 75 වැනි සංවත්සරය ඉකුත් 30 වැනිදා උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර, ඊට සමගාමිව තවත් වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. ගුරුකුල විද්‍යාලය කැලණිය ධර්මාලෝක විදුහල සමඟ පළමු වරට පවත්වනු ලබන විස්සයි20 ක්‍රිකට් තරගය ලබන අගෝස්තු 13 වැනිදා තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත අතර, සැප්තැම්බර් 5,6, 7 දිනවලදී චිත්‍ර, මූර්ති හා ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී සැප්තැම්බර් 12 වැනිදා විද්‍යාලයීය කලා උලෙළ මහත් හරසරින් පැවැත්වීමට ද නියමිතය.
2021 වසරේදී ගුරුකුලයේ පරිපාලනය භාරගත් වත්මන් විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු විසින් විද්‍යාලයේ උන්නතියට නව සංකල්ප රැසක් හඳුන්වා දුන් අතර, මානව පුස්තකාල (හියුමන් ලයිබ්‍රරි) සංකල්පය ඒ අතර සුවිශේෂී වේ. ආදි ශිෂ්‍යයන්ගෙන් සැදුම් ලත් විවිධ ක්ෂේත්රවල සිටින ප්‍රවීණයන් පාසලට කැඳවා ඔවුන්ගේ වෘත්තීය දැනුම හා අත්දැකීම් සිසු දරුවන්ට ලබා දීම ඒ යටතේ සිදු වේ. සිසුන්ගේ අනාගත වෘත්තීය ජීවිතය වෙනුවෙන් විවිධ අංශ සඳහා නායකත්ව පුහුණු වැඩසටහන් දියත් කරන අතර 'පඤ්ඤා උදපාදි' විද්‍යාලයීය ආදර්ශ පාඨය ඔස්සේ දැයේ දරුවන් ප්‍රඥාවන්තයන් සහ මානව ප්‍රේමයෙන් පිරි මිනිසුන් බවට පත් කිරීම වෙනුවෙන් ගුරුකුලය එදා මෙන්ම අදත් හෙටත් ක්‍රියාකරනු ඇත.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න